– ලංකාව ගැන ‘බග්ජී බ්ලූ’කුරුල්ලාගේ අනාවැකිය හරියයිද?
– සුපිරි අට වටයෙන් තෝරු මෝරු විසිවෙයිද?
දෙවසරකට වතාවක් ලෝක ක්‍රිකට් පිටියේ කෙටි මුහුණුවර යටතේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය මෙවර අන් කවරදාටත් වඩා වැඩි අවධානයට ලක් වී ඇත. ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් ක්‍රීඩාවට කෝඩුකාර අමෙරිකාවේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන බැවින් අමෙරිකානු ජනතාව අතරත් වැඩි අවධානයක් යොමු වී තිබේ. ලොව නොම්මර එකේ ක්‍රිකට් කණ්ඩායම් 10ක්, වැඩි අත්දැකීම් නැති තවත් කණ්ඩායම් 3ක් සමඟ කෝඩුකාර කණ්ඩායම් 8ක් අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය දූපත් හි තරග වදින 9 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දැන් පැවැත්වෙන්නේ මූලික වටයේ තරග පෙළය. කරට කර තරග වදින අතිශය උණුසුම් සුපිරි අට වටයේ තරග ආරම්භ වන්නේ මේ මස 19 වැනිදාය. අවසන් පූර්ව වටයේ තරග පෙළ ගැස්ම ජූනි 27 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ජූනි 29 දා පැවැත්වීමට නියමිතය.
වැඩි කලබලයකින් තොරව පසුගිය 2 වැනිදා සත්කාරක අමෙරිකාව සහ කැනඩාව අතර තරගයෙන් ආරම්භ වූ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පෙරේදා වන තුරු පැවැතියේ ඇල්මැරුණු ස්වරූපයකිනි. එසේ වූයේ පසුගිය සිකුරාදා වනතුරු මුල් තරග කිහිපයම පැවැත්වූයේ ප්‍රබල කණ්ඩායම් සහ කෝඩුකාර කණ්ඩායම් අතර වීම නිසාය. නිව්යෝක් නුවරදී 3 වැනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර මේ දක්වා පැවැති එකම තරගය විය. ශ්‍රී ලංකාව පරාජයට පත් වූ එම තරගය ද අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වීම නිසා එතරම් උණුසුම් වූයේ නැත.
එහෙත් පෙරේදා ටෙක්සාස්වලදී ප්‍රබල පාකිස්තානය පරාජය කරමින් කෝඩුකාර අමෙරිකාව ජය ගැනීම නිසා හිටිහැටියේම නින්දෙන් අවදි වූවාක් සේ ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන් අතර කුතුහලයක් සහ උණුසුම් වාතාවරණයක් පැතිරී ගියේය. ඇරත් තරගය සුපිරි ඕවරය දක්වාම ඇදී යෑම නිසා උණුසුම දෙගුණ තෙගුණ විය.
මේ ලිපිය ලියැවෙන්නේ සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ පාකිස්තාන බලාපොරොත්තුව අවදානමට තබමින් තරගාවලිය උඩු යටිකුරු කරවන ආකාරයේ ජයග්‍රහණයක් අමෙරිකාව අත්කර ගැනීමත් සමඟ සෙසු කණ්ඩායම් අතර පැතිරී ගිය පෙර නොවූ විරූ ආකාරයේ උනන්දුව මැදය. එම ජයග්‍රහණය අමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශිෂ්ටතම ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණය වූවා පමණක් නොව කෝඩුකාර කණ්ඩායම් ගැන අවතක්සේරුවට ලක් නොකරන ලෙස සුපිරි අට වටයේ බලාපොරොත්තු පොදි බැඳ තබාගෙන සිටින සෙසු ප්‍රබල කණ්ඩායම්වලට කළ අනතුරු ඇඟවීමක් ද වේ.
මෙවර විස්සයි20 ලෝක කුසලානය අත්කර ගනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අනාවැකි අතර සිටි පාකිස්තානයට මේ ඉරණමට මුහුණ පෑමට සිදුවීම එක් අතකින් සුපුරුදු ලෝක කුසලාන අවාසනාව තවමත් ඔවුන් පසුපස ලුහුබඳින බව තවදුරටත් පෙන්නුම් කිරීමකි. අනිත් අතට ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියකට එක්වීමේදී ‘ගෙදර වැඩ‘ පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රතිවාදීන්ගේ ක්‍රිකට් ඉතිහාසය නොව වඩාත් වැදගත් වන්නේ එදා දිනයේ ඔවුන් ක්‍රීඩා කරන ආකාරය ගැන අවධානය යොමු කිරීමත් අතිශය වැදගත් සාධකයක් බවත් නැවත නැවතත් කියා පෑමකි.
කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4ක් යටතේ තරග වදින මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලැබිමට නම් අඩුම තරමින් මූලික වටයේ තරග 4න් තුනක්වත් ජය ගත යුතුය. ඒ සඳහා ලකුණු ලබා ගැනීමේ වේගයද වැදගත් සාධකයක් වේ. ඉන් සෑහීමකට පත් නොවී තරග 4ම ජයගන්නේ නම් කිසිදු දෙගිඩියාවකින් තොරව සුපිරි අට වටයේ තම ස්ථානය වෙන් කරගැනීමට අවස්ථාව උදාවනු ඇත. තරග දෙකක් ජය ගැනීමෙන් සිදු වන්නේ හිස් අතින් ආපසු නිවෙස් බලා යෑමටය. එක් තරගයක ජයග්‍රහණය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
ඒ අතින් බැලූ විට ‘ඒ කාණ්ඩයෙන් තරග වදින බාබර් අසාම්ගේ පාකිස්තාන පිලට දැන් සිදුවී ඇත්තේ දෙලොවක් අතර වල්මත් වීමටය. ඔවුන්ගේ ඊළඟ තරගය අතිශය තීරණාත්මකය. එම තරගය අද (09) නිව්යෝක් නුවර පැවැත්වෙන්නේ ආසියාවේ සාම්ප්‍රදායික ක්‍රිකට් පසමිතුරන් වන ඉන්දියාව සමඟය. දැනටමත් ලෙහෙසියෙන් ජයගත හැකි බවට පෙනුණු තරගයකින් අමෙරිකාව හමුවේ පරාජයට පත්වී සිටින පාකිස්තානයට ඉතිරි තරග තුනම සුපිරි අටට තීරණාත්මක බැවින් අද තරගය ජයගත යුතුම තරගයකි. ඉතිරි තරග දෙක පැවැත්වෙන්නේ කැනඩාව සහ අයර්ලන්තයට එරෙහිවය. එබැවින් අද තරගයෙන් පරාජයට පත්වන්නේ නම් ඉතිරි තරග දෙක ජයග්‍රහණය කළත් වැඩක් නැත. අද පැවැත්වෙන තරගය පාකිස්තානයට අභියෝගයක් වී ඇත්තේ එය ඉන්දියාවට එරෙහිව පැවැත්වීම නිසාය. දැනටමත් අයර්ලන්තය පරාජය කිරීමට සමත්වී සිටින රෝහිත් ෂර්මාගේ ඉන්දීය පිල මේ තරගයෙන් පරාජයට පත්වූවද, කැනඩාව සහ අමෙරිකාව සමඟ පැවැත්වෙන ඉතිරි තරග 2 ජයගැනීම සුපිරි අටට යෑමට ප්‍රමාණවත් වනු ඇත. එහෙත් අපායට ගියද මුලින් යා යුතු වීම නිසාත්, ජයග්‍රහණය වැදගත් වූවත් නැතත් සාම්ප්‍රදායික පසමිතුරන්ට පරාජය වීම ලෝක කුසලානය පරාජය වීමටත් වඩා ලජ්ජාසහගත නින්දාවක් වීම නිසාත් අද තරගය ඉන්දියාවට ලෝක කුසලාන අවසන් තරගයකටත් වඩා වැදගත්ය. අනිත් අතට පාකිස්තානය පරාජය කිරීමට සමත්වූ සත්කාරක අමෙරිකාව අඩු තක්සේරුවට ලක් කිරිමේ ප්‍රතිඵලය භයානක විය හැකි බවත් රෝහිත් ෂර්මලා හොඳින්ම දැන සිටිති.
‘ඒ‘ කාණ්ඩයේ තරගවලදී මේ දෙපිලටම අභියෝගය වී ඇත්තේ සත්කාරක අමෙරිකාවය. ඔවුන් දැනටමත් තරග 2ක් ජයගෙන හමාරය. ඉතිරි තරග දෙක පැවැත්වෙන්නේ ඉන්දියාව සහ අයර්ලන්තයට එරෙහිවය. පෙනෙන හැටියට සුපිරි අටට යෑමට අමෙරිකාවට තවත් එක් ජයග්‍රහණයක් හොඳටෝම ප්‍රමාණවත් ය. ඉන්දියාවට අභියෝගයක් ද, පාකිස්තානයේ ඉරණම විසඳන කණ්ඩායමක් ද බවට පත්වී සිටින අමෙරිකාව සුපිරි අටට සේන්දු වන්නේ නම් එය අනිකුත් කාණ්ඩවලින් එම වටයට පිවිසෙන කණ්ඩායම්වලට ද අභියෝගයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබේ.
‘ඒ කාණ්ඩයේ තත්ත්වය එසේ තිබියදී බටහිර ඉන්දීය දූපත්හි පැවැත්වෙන ‘බී‘ කාණ්ඩයේ තරගවල තත්ත්වය ඊට වඩා සංකීර්ණය. එසේ වූයේ එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර බාබඩෝස්හි පැවැති තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමෙනි. එහි ප්‍රතිඵලය වූයේ දෙපිලටම ලැබුණු අතිරේක ලකුණු මතින් ස්කොට්ලන්තය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණට පත්වීමය. සුපිරි අටේ ඉරණම තීන්දු වීමට එම අතිරේක ලකුණු තීරණාත්මක සාධකයක් වීමට ද බැරි නැත. නැමීබියාව පරාජය කළ ස්කොට්ලන්තයට ඉතිරිව ඇති තරග දෙක පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිවය. මේ දෙපිලම කෝඩුකාරයන් අවතක්සේරුවට ලක් නොකරන කණ්ඩායම් ලෙස ප්‍රකට වී සිටින බැවින් සුපිරි අටට ‘බී‘ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගන්නා රටවල් දෙක තීරණය කිරීමට බලපානු ඇතැයි විචාරකයෝ කියති. එංගලන්තයේ ජයග්රහණයෙන් ඔස්ට්‍රේලියාවට ද, ඔස්ට්‍රේලියාවේ ජයග්රහණයෙන් එංගලන්තයට ද සුපිරි අටේ වාසනාව අහිමිවීමේ ඉඩකඩක් පවතින බැවින් මේ දෙපිලම පසුවන්නේ ‘හොරගල් අහුලන්නා‘ සේ ය. දැනටමත් ඕමානය පරාජය කර සිටින ඔස්ට්‍රේලියාවට තවත් තරග දෙකක ජයග්‍රහණ සුපිරි අටට මං විවර කරදීමට ප්‍රමාණවත් වුවද, ස්කොට්ලන්තය සමඟ පැවැති තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමෙන් වැඩිම අවාසිය සිදුවූයේ එංගලන්තයටය. දැන් ඔවුන් හමුවේ ඇත්තේ තරග 3ම ජයගැනීමේ අභියෝගය වන අතර, සෙනසුරාදා රාත්‍රියේ බාබඩෝස් හි පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය මෙවර ලෝක කුසලානයේදී එංගලන්ත පිලේ ඇතිවීම හෝ නැතිවීම තීරණය කරන තරගයක් බවට පත්වනු ඇත. විචාරකයන් කියන්නේ එම තරගයෙන් එංගලන්තය පරාජයට පත්වුවද, ඕමානය සහ නැමීබියාව පරාජය කරමින් සුපිරි අටේ වාසනාව උරගා බැලීමට එංගලන්තයට තවත් අවස්ථාවක් ඇති බවය. එවිට මූලික වටයේ තරග අවසන් වෙද්දී එංගලන්තය ප්‍රසාද ලකුණු 5කට හිමිකම් කියනු ඇත. එහෙත් ඒ වෙද්දී ඕමානය පරාජය කිරීමට ස්කොට්ලන්තය සමත් වන්නේ නම් ඔවුන් ද ප්‍රසාද ලකුණු 5කට හිමිකම් කියනු ඇත. ලකුණු ලැබීමේ වේගය වැදගත් වන්නේ මෙවැනි අවස්ථාවලදීය.
උගන්ඩාව පරාජය කරමින් ඇෆ්ගනිස්තානය ද, පැපුවා නිව්ගිනියා පරාජය කරමින් කොදෙව් පිල ද එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, ඉදිරියේදි ඇෆ්ගනිස්තානයට පැපුවා පිලත්, කොදෙව් පිලට උගන්ඩා පිලත් පරාජය කිරීමට හැම අතින්ම අවස්ථාව තිබේ. එබැවින් කවුරුත් මුල සිටම සිතූ පරිදි ‘සී‘ කාණ්ඩයේ සටන ඇත්තේ ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතරය. නිසැකවම සුපිරි අටට ‘සී‘ කාණ්ඩයෙන් යන එක් කණ්ඩායමක් තීන්දු කරන තරගය මේ දෙපිල අතර 17 වැනිදා සාන්ත ලුසියාහි පැවැත්වෙන තරගය බවට පත්වී තිබේ. එම කාණ්ඩයේ සිටින නොම්මර එකේ කණ්ඩායම වන නවසීලන්තය පරාජය කිරීම දැඩි අභියෝගයක් බව මේ දෙපිලම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන සිටීම නිසා දෙපිලම එම තරගය ඊළඟ වටයේ ඉලක්කයෙන් ඉවතට දමා ඇත්තේ තරගාවලියේ ආරම්භයටත් පෙර සිටමය. ‘සී‘ කාණ්ඩයේ කණ්ඩායම් සලකා බැලීමේදී නවසීලන්තයට සටනකින් තොරවම ඊළඟ වටයට යෑමේ අවස්ථාව උදා වී ඇතැයි විචාරකයන් කියන්නට වූයේ ද තරගාවලියේ ආරම්භයටත් පෙර සිටමය.
ශ්‍රී ලාංකිකයන් ලෙස අපට වැදගත් වන්නේ ‘ඩී‘ කාණ්ඩයේ මූලික වටයේ තරග පෙළ ගැස්ම ය. පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට පරාජයට පත් වූ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට ඉතිරිව ඇති තරග 3ම ජයගැනීමේ අභියෝගය කරපින්නා ගැනීමට සිදුවූ අතර, පිල මේ ලිපිය ලියැවෙන සිකුරාදා වන විට සූදානම් වෙමින් සිටියේ එහි පළමු ඉලක්කය වූ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය සඳහා ය. එම තරගය ටෙක්සාස්හි ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. ඊළඟට ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ නේපාලය සහ නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන තරග දෙක බැවින් බංග්ලාදේශය පරාජය කිරීම සුපිරි අටට යෑමට අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබිණි.
මේ අතර කොහෙන් ආවාදැයි කවුරුත් නොදන්නා ‘බග්ජී බ්ලූ‘ නමැති ලව් බර්ඩ්ස් වර්ගයේ කුරුලු විශේෂයක් පළ කරන තරග අනාවැකි පෙළක් ද ටික් ටොක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාල අතර වයිරල් වෙමින් පවතී. එය ශ්‍රී ලාංකිකයන් අතර වැඩි අවධානයට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇතිවීම හෝ නැතිවීම තීන්දු කරන බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ජයගන්නා බවට ‘බග්ජි බ්ලූ‘ කුරුල්ලා අනාවැකි පළ කිරීම ය. එය සිදු වන්නේ දෙපිලේම නම් සඳහන් කාඩ් පත් දෙකක් කුරුල්ලා වෙත දිගු කිරීමෙන් පසු ඌ එක් කාඩ්පතකට සිය හොටෙන් කෙටීමෙනි. මේ වන විට ලොව පුරා මිලියන ගණනාවක ක්‍රිකට්ලෝලීන් අතර වයිරල් වෙමින් පවතින මේ ‘බග්ජි බ්ලූ‘ අනාවැකි පෙළ අතර පසුගිය තරගවල ටක්කෙටම හරිගිය අනාවැකි පෙළක් ද, ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතව ඇති තරගවල අනාවැකි පෙළක් ද වේ. එම අනාවැකි පෙළ සමාජ මාධ්‍යජාලයට මුදා හැර ඇත්තේ ‘බග්ජි කිංඩම්‘ නමැති ගිණුමක් ඔස්සේ වන අතර, එය අයත් පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම සහ එය මුදා හැර ඇති රට ගැනත් කිසිදු හෝඩුවාවක් මෙතෙක් දැන ගැනීමට නැත.
ඒ අතුරින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සම්බන්ධ අනාවැකියට අමතරව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැනඩාවට එරෙහි තරගයෙන් අයර්ලන්තය ජයගන්නා බවටත්, නවසීලන්තයට එරෙහි තරගයෙන් ඇෆ්ගනිස්තානය ජයගන්නා බවටත් පළ වූ අනාවැකි ද වේ. මීට අමතරව නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගන්නා බවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයෙන් එංගලන්තය ජයගන්නා බවට බග්ජි බ්ලු කුරුල්ලා පළ කර ඇති අනාවැකි කොතෙක් දුරට සාර්ථක වන්නේදැයි කීමට වේලාසන වැඩිය. මේ අපූරු කුරුල්ලා මෙතෙක් පළ කර ඇති අනාවැකි පෙළ අතුරින් වැරදී ඇත්තේ අමෙරිකාවට එරෙහි තරගයෙන් පාකිස්තානය ජයගන්නා බවට පළ කළ අනාවැකිය පමණි.
කෙසේ වෙතත් ‘ඩී‘ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින දකුණු අප්‍රිකාව මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීම නිසා සුපිරි අට වටයට සුදුසුකම් ලැබිමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වී ඇති අතර, සටන ඇත්තේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ය. බංග්ලාදේශ තරගයේ තීරණය බග්ජි බ්ලූ පක්ෂියාගේ අනාවැකියට භාර කළද, නොකළද ඉතිරි තරග දෙක ජයගනිමින් සුපිරි අටට රිංගා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. නෙදර්ලන්තය ද අඩු තක්සේරුවට ලක් කළ නොහැකි අතර, ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට ද ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි විචාරකයෝ කියති.
ෆවුස් මොහොමඩ්