Home » ලංකාවේ සර්ප ගහනයට රක්වානෙන් හා නකල්ස්වලින් අලුතෙන්ම සොයා ගත් සර්පයන් දෙදෙනා

ලංකාවේ සර්ප ගහනයට රක්වානෙන් හා නකල්ස්වලින් අලුතෙන්ම සොයා ගත් සර්පයන් දෙදෙනා

by gayan
June 8, 2024 12:30 am 0 comment

අප ජීවත් වෙමින් සිටින්නේ අතිශය සශ්‍රීක වූ ජෛව විවිධත්වයක් සහිත ස්වභාවික සම්පත් සපිරි බිමකය. මේ භූමියේ ජීවයට ඒ ජෛව විචිත්‍රත්වයට ආදරය කරන ඒ වෙනුවෙන් ජීවිත කැප කරමින් එය රක්ෂා කිරීම පිළිබඳ විද්‍යාත්මක දැක්ම ජීවිත දර්ශනය කරගත් ගෞරවනීය මිනිස්සු වෙති. ඔවුහු සිය පර්යේෂණ කාර්යයන්හි අගපල ලෝකයට මුදා හරිමින් මේ රටේ සම්පත් පිළිබඳ ගැඹුරු අර්ථ විවරණයක නිරත වෙති.

මෙන්ඩිස් වික්‍රමසිංහ එවැනි විද්‍යාඥයන් අතළොස්ස අතරින් ප්‍රමුඛයෙකි. එහෙත් මේ සටහන ඔහු පිළිබඳ නොවේ. ඔහු ප්‍රමුඛ සිවු දෙනකුගෙන් යුත් විද්‍යාඥ කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබ ලෝකයට හෙළි කළ ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂ දෙකක් පිළිබඳ ය. ලංකාවට සහ ඉන්දියාවට ආවේණික Uropeltidae නමැති සර්ප කුලයක් වේ. සර්පයන් කී සැණින් සමාජ විඤ්ඤාණයේ පවතින්නේ මහා විෂඝෝර බිහිසුණු ව්‍යසනයකි. එහෙත් Uropeltidae කුලයේ සර්පයන් විෂ රහිත පොළොව යට ජීවත් වන අහිසංක සර්ප කොටසකි. ඔවුන් පොළොව යට සිය වාසස්ථානවලින් මතුපිටට එන්නේ රාත්‍රී කාලයට හෝ තද වැසි සහිත කාලවලදීය.

මෙම සර්පයන්ගේ ස්වරූපය මේ රටේ ගම්මු දනිති. ඔවුන් විෂ රහිත බවත් දනිති. එබැවින්ම ඉලක්ක කරගෙන විනාශ කිරීමට නොපෙලඹෙති. සාමාන්‍ය සර්පයන්ගේ හිස පෙදෙස මොට හැඩතිය (අර්ධ ඕවලාකාර හෝ රවුම් හැඩයක්). වලිගය ප්‍රදේශ උල් හැඩයක් ගන්නේය. නමුත් Uropeltidae කුලයේ සර්පයන්ගේ මොට ස්වරූපයක් ගන්නේ වලිගය කොටසය. එය පලිහක් සේය. හිස උල්ය. පොළොව හෑරීමටත් පොළොව යට ජීවත් වීමටත් විලෝපික ප්‍රහාරයෙන් හිසට ඇතිවන මාරක අනතුරුවලින් ගැලවීමටත් හිසෙහි උල් ස්වභාවය ඔවුන්ට ලැබී තිබිණි.

Uropeltidae සර්ප කුලයට අයත් Rhinophis ගණය පිළිබඳ මුල්ම විද්‍යාත්මක ප්‍රකාශනය සිදු වන්නේ වර්ෂ 1820 දී ය. Rhinophis සර්ප ගණයේ විශේෂ 24කි. එයින් 06ක් ඉන්දියාවට ආවේණිකය. අපට ආවේණික විශේෂ ගණන 18කි.

මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම සොයගෙන ලෝකයට හෙළි කරන්නේ මෙම Rhinophis ගණයට අයත් සර්ප විශේෂ දෙකකි. මෙම ඓතිහාසික සොයා ගැනීමත් සමඟ ලංකාවෙන් වාර්තා වන Rhinophis ගණයට අයත් සර්ප විශේෂ ගණන 20ක් දක්වා වැඩි වූයේය. මේ නව අනාවරණය පිළිබඳ විචිත්‍ර කතාව අසන්නට අපි සත්ත්ව විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහයන් හමු වුණෙමු. ඔහු ඒ වර්ණවත් කතාව අප හමුවේ දිගහැරියේය.

“මේ ක්ෂේත්‍රය ගැන පර්යේෂණ කරන අය දැනට පර්යේෂණ කර සොයාගෙන නාමකරණය කළ සියලුම සර්පයන් ගැන දන්නවා. ඒක පොදු දැනුමක්. ඒ දැනුමත් එක්ක තමයි මේ පර්යේෂණ ක්‍රියාවලිය වැඩි දියුණු වෙන්නේ. අපේ රටේ හඳුනාගෙන නාමකරණය කරලා විද්‍යාත්මකව ප්‍රසිද්ධ කළ Rhinophis ගණයට අයත් සර්ප විශේෂ 18ක් හිටියා. අපව මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයට යොමු කළ කාරණාවක් තිබුණා. ඒ තමයි සත්ත්ව විද්‍යාඥයන් විසින් ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා එකතු කළ Rhinophis නිදර්ශක අතර වෙනස් ස්වරූපයක නිදර්ශක අපට Smithsonian National Museum of Natural History කෞතුකාගාරයේ දී නිරීක්ෂණය වීම. එම නිදර්ශක ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ එක් දහස් නවසිය හැත්තෑ නවයේදී. සොයාගෙන යද්දි ලෝකයේ වෙනත් ස්වභාවික විද්‍යා කෞතුකාගාරවලත් මෙම නිදර්ශක තිබුණා.

බාහිර රූප විද්‍යාව අනුව ඒ නිදර්ශක මෙතෙක් සොයා ගෙන ඇති විශේෂ 18ට වඩා වෙනස් බව අපට මූලිකව පෙණුනා. ඒ අනුව තමයි ඩේවිඩ් ජේ. ගවර් (David J. Gower), ෆිලිපා එල්. සම්පායෝ (Flilpa L. Sampaio), දුලාන් රංග විදානපතිරණ සහ මම මේ පර්යේෂණ පදනම ගොඩනඟන්නේ. ඩේවිඩ් ගවර් සහ ෆිලිපා සම්පායෝ වැඩ කරන්නේ බ්‍රිතාන්‍ය ස්වාභාවික කෞතුකාගාරයෙ. ලංකාවෙන් මමත් දුලාන් රංග විදානපතිරණත් සම්බන්ධ වෙන්නේ අපේ පර්යේෂණය සිද්ධ කරන උරග හා උභය ජීවී පදනම හරහා. මෙම නිදර්ශක භාවිත කරමින් අප මේ සර්පයන් දෙන්නා සම්බන්ධව පර්යේෂණ කළා. ඉන් අනතුරුව ක්ෂේත්‍රයෙන් මේ සත්තුන්ගේ වාස භූමි සොයා ගත්තා.

සර්පයො දෙන්නාගෙන් එක්කෙනෙක් ඉන්නේ සිංහරාජ රක්වාන කඳුවැටි ආශ්‍රිතව. එයාව නම් කළේ මාටින් විජේසිංහ මහත්තයගෙ නමින්. අපි හැමෝම දන්න මාටින් අයියා. සිංහරාජයේ සිදු කළ පර්යේෂණ හා සංරක්ෂණ කටයුතුවලට ගැමියෙක් විදිහට විශාල වැඩ කොටසක් සිදු කළ ඔහුට ගෞරවයක් ලෙසයි අපි එතුමගෙ නමින් මේ සර්ප විශේෂය Rhinophis martin ලෙස නම් කළේ. අනිත් කෙනා හමුවෙන්නේ නකල්ස් කඳුකරයෙන්. ඒ විශේෂය අපි නම් කළේ Rhinophis dinarzardae නමින්. ඒ කියන්නේ ආචාර්ය ඩිනසාඩ් රහීම්ගෙ නමින්. ඩිනසාඩ් රහීම් දැන් රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. ඇය ලංකාවේ සහ දකුණු ආසියාවෙ ගොළුබෙල්ලන් ගැන විශාල පර්යේෂණ ප්‍රමාණයක් කළ, ලංකාව, ඉන්දියාව, ආසියානු කලාපයෙ ගොළුබෙල්ලන් විශාල සංඛ්‍යාවක් නාමකරණය කළ ලොව හොඳම විද්‍යාඥයන්ගෙන් කෙනෙක්. ඇය කාලයක් බ්‍රිතාන්‍ය ස්වභාවික කෞතුකාගාරයෙ වැඩ කළා. ආචාර්ය උපාධිය කළෙත් මහා බ්‍රිතාන්‍යයෙ. ඒ නිසා තමයි ඇගෙ නමින් මේ සර්පයාව නම් කරන්නේ. රයිනොෆිස් ගණයේ කිසිම සර්පයෙක් ගැහැනු කෙනකුගේ නමින් නම් කරලා තිබු‍ණෙ නෑ. කාන්තාවකගේ නමින් Rhinophis ගණයේ විශේෂයක් නාමකරණය වෙන්නේ පළමු වරට.

මේ පර්යේෂණ අතරේ රයිනොෆිස් මාටින්ගේ විතරක් නිදර්ශක කීපයක් අප එකතු කළා. අනෙක් සර්පයගෙ නිදර්ශක එකතු කළේ නෑ. මොකද එයාගෙ නිදර්ශක දැනටමත් ස්වභාවික විද්‍යා කෞතුකාගාරවල තියනවා. රයිනොෆිස් මාටින්ගේ නිදර්ශක එකතු කරගැනීමත් සිද්ධ වෙන්නෙ අහම්බෙන්. දවසක් මම රක්වාන ප්‍රදේශයේ බුරුස්ගල හරියෙන් යද්දි කාර් පාර්ක් එකකට බැකෝ යන්ත්‍රයකින් පස් කපනව දැක්කා. එතැන මම නවත්වලා බැලුවම පෙනුණේ බැකෝ එකේ කුල්ල පිරෙන්න පස් ප්‍රමාණය ගත්තම රයිනොෆිස් සර්පයො 15ක් 20ක් අහුවෙනවා කියලා. එතැන එච්චරම සුලබව ජීවත් වුණේ රයිනොෆිස් මාර්ටින් සත්තු. මැරිච්ච සත්තු, කැපිල ගිය සත්තු ඒ අතර හිටියා. ජෙනටික් සාම්පල් හොයන්න අපි එතැනින් ජීවි නිදර්ශක තුනකුත් එකතු කරගත්තා. ”

ඔහුගේ දීර්ඝ විස්තර කථනයට සාවධාන වු‍ෙණමි. ජීව විද්‍යා විෂය පථයට නව දැනුමක් එකතු වී තිබේ. ඒ අපේ විශිෂ්ටයන් දෙදෙනකුගේ නම් ද ඉතිහාස ගතවන ආකාරයට ලියැවී ඇත. එහෙත් අප සතුව ඇති මේ විචිත්‍ර ජෛව විවිධත්වය සහිත පරිසරය තුළ රයිනොෆිස් මාටින්ගේත්, රයිනොෆිස් ඩිනසාඩිගේත් පමණක් නොව, සමස්තයම මේ මොහොත වන විට අනතුරකය. මිනිස්සුන්ගේ අතාර්කික මැදිහත්වීම්, තීන්දු ගනු ලබන කණ්ඩායම්වල ඇති අසංවේදී නොදැනුම්වත්කම් විසින් කෙරෙන ව්‍යසනය මේ විචිත්‍ර පරිසරය රක්ෂා කරගැනීමට කැපවූ පිරිසකගේ ප්‍රාර්ථනා සහ ප්‍රායෝගික කාර්ය සාධනය ව්‍යසනයට ලක්වන ආකාරය මෙන්ඩිස් වික්‍රමසිංහ අපට පැහැදිලි කරන්නේ ඒ ව්‍යසනයේ බර ඒත්තු ගැන්වෙන අයුරිනි.

“රයිනොෆිස් සර්පයො පරිසරට හරිම සංවේදී පිරිසක්. ඒ අය දවල් කාලයේ එළියට ඇවිත් නිරාවරණය වුණොත් උෂ්ණත්වය දරාගන්න බැරිව මැරෙනවා. දවල් ඉන්න විලෝපිකයන්ට හසුවුණොත් උන්ව කනවා. මේ කාරණා නිසා තමයි ඒ අය පොළොව යට ඉන්නේ.

දේශගුණ වෙනස්වීම් වෙලා පොළොව රත් වෙනකොට, පොළොව යට ජීවත්වන මෙවැනි සත්තු සිය ගණන් එළියට ඇවිත් මැරෙන ආකාරය අපි දැකලා තියනවා. ඒ වගේම තමයි ගංවතුර. ගංවතුරක් ඇවිත් දින ගණනක් පොළොව මතුපිට වතුරෙන් යටවෙලා තියෙද්දී භූගතව ඉන්න සත්තුන්ට අත්වන ඉරණම ගැන අපි කිසිම වෙලාවක තක්සේරුවක් කරලා නෑ. ලංකාව වැනි ජෛව විවිධත්වය විශාල වශයෙන් වැඩි රටවල්වලට මේ දේශගුණ විපර්යාසය නිසා සිදුවන හානිය හිතාගන්නත් බෑ. ඒක අපි කවුරුත් කතා කරන්නේ නෑ. පොළොව රත් වෙද්දිත් ගැටලුවක් වෙනවා. වතුරෙන් යට වෙද්දිත් ගැටලුවක් වෙනවා. කඳු නායයෑම් වන විට මේ ව්‍යසනය සිද්ධ වෙනවා. ඒ වගේම ගොවියො වෙලේ වතුර බැඳලා කෘමි නාශක ගහලා තියෙද්දි ඒ අවට ජීවත්වන රයිනොෆිස් සත්තු විතරක් නෙමෙයි පොළොව යට ජීවත්වෙන බොහොමයක් ජීවීන් මිය ගිහින් සිටින ආකාරය ඉතාම සුලභව දකින්න පුළුවන්. ඒ වගේම අපේ ස්වභාවික වනාන්තර විනාශ කරලා මිනිසා විසින් සිදුකරන නොගැළපෙන වන වගා නිසා සිද්ධ වන පරිසර පද්ධති විකෘතියත් මේ වගේ සත්තුන්ගේ පැවැත්මට තර්ජනයක්. පද්ධති තුළ වර්ධනය වන ආක්‍රමණකාරී ආගන්තුක විශේෂයන්ගේ ව්‍යාප්තියත් කරන්නේ ලොකු විනාශයක්.

ඒ වගේම මිනිස්සුන්ගේ සර්පයන් පිළිබඳ තිබෙන අවිද්‍යාත්මක ආකල්පයත් මේ සත්තුන්ගේ විනාශයට හේතුවක්. අපේ පරණ ගැමියන් මේ සත්තු අහිංසකයි කියලා දන්නවා. ගොවිතැන හා බැඳුණු ඒ අය මේ සත්තුන්ට කිසිම ව්‍යසනයක් කළේ නෑ. නමුත් හැම සර්පයම විෂයි කියලා කල්පනා කරන පිරිස් අතින් මේ සත්තු මැරෙනවා. ප්‍රායෝගිකව බැලුවොත් අවුරුද්දකට අපේ රටේ සර්ප දෂ්ඨන අසූ දාහකට වඩා වාර්තා වෙනවා. ඉන් මරණයට පත් වන්නේ හාරසියක් විතර. ඒ මරණවලින් බොහොමයක් සිදු වෙන්නෙත් අනවබෝධය නිසා නිසි ප්‍රතිකාර ප්‍රමාද වීමෙන්. නමුත් අපි කල්පනා කරන්නේ නෑ අපි ජීවත් වෙන්නේ අවුරුද්දකට දෙදහස් පන්සීයක් පාරෙ සිදු වන රථවාහන අනතුරු හේතුවෙන් මැරෙන රටක කියලා. අප පරිසරය ගහකොළ, සතා සීපාවා ගැන අපේ යහපත් ආකල්ප වර්ධනය කර ගත යුතුයි”

අප ව්‍යසනයක් හමුවේ නම් ඉන් මිදෙන්නට කුමක් කළ යුතු ද? පුරවැසියන් ලෙස අපට මේ මොහොතේ ඇති ගැටලුව එයය. රටේ ජීව පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන්ම කැප කළ රාජ්‍ය ආයතන තිබේ. පරිසර, වන ජීවී, වන සංරක්ෂණ, වැනි ආයතන පිහිටුවා ඇත. ඒ ආයතන තුළ බොහෝ ළැදියාවක් සහිතව, තාක්ෂණික ඥානය සහ පරිනතිය සහිත සිය සේවයට කැපවූ බහුතර සේවක පිරිසක් වෙති. රාජ්‍ය නොවන ආයතන, කුඩා කණ්ඩායම්, පරිසර හිතවාදී සංවිධාන රාශියක් ද ක්‍රියාත්මකය. එහෙත් පොදු මිනිසාගේ ආකල්ප වෙනස් වී නැත. මේ පසුබිමේ දී නිර්මාණය වන්නේ බරපතළ ගැටලුවකි.

“ඒක ගැටලුවක් තමයි…” මෙන්ඩිස් වික්‍රමසිංහ කියන්නේය. රාජ්‍ය ව්‍යුහය බැලුවොත් රටක් විදිහට මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය සම්පත් අවමයි. මේ වගකීම් පැවරී ඇති අයට නියාමනය කරන්න වෙන භූමිය මහත් විශාලයි. ප්‍රමාණවත් සේවකයන් සහ සම්පත්වල අඩුවක් ක්ෂේත්‍රයට ගියාට පස්සේ අපි අත්දකිනවා. රටක් විදිහට අපට ගොඩයන්න පුළුවන් ක්ෂේත්‍ර ගැන නිසි තක්සේරුවක් කරල තියෙනවද යන ගැටලුව තියෙනවා. මේ රටට මේ වන විටත් විදේශ විනිමය උපයන ප්‍රධානම ක්ෂේත්‍ර වෙන්නේ අපේ විචිත්‍ර පරිසර පද්ධතිය සහ මුතුන් මිත්තන් ඉතිරි කර ගිය නටබුන් ටික. එහෙම නම් වෙන මොනම කාරණාව ගැන නොසැලකුවත් මේ ආර්ථික පදනම පිළිබඳ කල්පනා කරලා හරි රටක් විදිහට අපේ ජෛව පරිසරය ආරක්ෂා කරගන්න ඕන.

ඇත්තටම ඒ සඳහා අපට දියුණු මානව සම්පතක් ති‍ෙබනවා. මේ වන විට පෞද්ගලික ආයතන පවා තමන්ගේ සමාජ වගකීම් කොටසක් ලෙස පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතාම ඉහළ නීතිමය ආවරණයක් තියෙනවා. එහෙත් ඉතිහාසය ගෙන බැලුවත් දේශපාලනික වශයෙන් මේ ක්ෂේත්‍රය හසුරුවපු බොහෝ අයට මේ විෂයය ගැන ගැඹුරු සංවේදනාවන් තිබුණෙ නෑ. අධ්‍යයනයක්, අධ්‍යාපනයක් තිබුණෙ නෑ, ඔවුන් විසින් තීන්දු තීරණ ගන්න රටක පරිසරය රකිනවා කියන්නේ සරල කටයුත්තක් නෙමෙයි. “

මෙන්ඩිස් වික්‍රමසිංහ කියන්නේ ගැඹුරු කතාවකි. ඒ කතාව රයිනොෆිස් මාටින් හෝ රයිනොෆිස් ඩිනසාඩ් මුහුණ දෙන තර්ජනය සම්බන්ධ කතාවට වඩා බොහෝ පුළුල්ය. ඒ කතාවේ හරය අමතන්නට ජාතියක් ලෙස අප කටයුතු කරන්නේ නම් හෙට දිනය බොහෝ වෙනස් වනු ඇති බව විශ්වාසය.

ඡායාරූප – හැරී ටේලර් – මෙන්ඩිස් වික්‍රමසිංහ

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division