Home » බදුලු බසයේ හිත හොඳ සේවකයෝ

බදුලු බසයේ හිත හොඳ සේවකයෝ

by thanushika
June 8, 2024 12:30 am 0 comment

අද රට පුරා පෞද්ගලික බස් රථ සේවාවේ නිරතුරුවම අසන්නට – දකින්නට ලැබෙන්නේ බොහෝ බස් රථවල රියැදුරු, කොන්දොස්තරවරුන්ගෙන් මගී ජනතාවට සිදුවන තාඩන පීඩන හිරිහැර, අකටයුතුකම් මෙන්ම කෙනෙහිලිකම්ය. පෞද්ගලික බස් රථ සේවාවේ සුළු පිරිසක් මගීන්ට එසේ තාඩන පීඩන කෙනෙහිලිකම් සිදු කළද ඒ අතුරින් මෙම සේවාවේ යහපත් ගුණ ගරුක දෙවියන් වැනි රියැදුරු, කොන්දොස්තර මහත්වරුන් සිටීම ද ඇත්ත වශයෙන්ම ඇදහිය යුතුය.

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය යටතේ ධාවනය කෙරෙන බදුල්ල ස්ප්‍රිංවැලි බැද්දේගම පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර දෙදෙනා සැබැවින්ම මහත්මා ගතිගුණවලින් පිරි ආදර්ශවත් සේවක දෙපළකි.

ස්ප්‍රිංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය තුළ ඉදිරි පාපුවරුව අසල පොලිතින් කවරයක බහා ලේන්සුවකින් ඔතා වැටී තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අයිතිකරුවකු නොමැති රන් භාණ්ඩ තොගයක් අහුලාගත් මෙම ආදර්ශවත් සේවක දෙපළ එහි අයිතිකරු සොයා මෙම රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගය භාර දෙන්නැයි ඉල්ලා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ දිස්ත්‍රික් බස් රථ අධීක්ෂක චාමින්ද ප්‍රියදර්ශනගේ සහාය මත ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර, සාමාන්‍යාධිකාරී බණ්ඩාර යන නිලධාරින්ගේ සුරතට පසුගියදා භාර දුන්නේ සැබැවින්ම රටට, දැයට, ඌව පළාතට මෙන්ම මුළුමහත් පෞද්ගලික බස් රථ සේවාවටම ඉමහත් ආදර්ශයක් ගෙන දෙමිනි.

සැබැවින්ම මිනිස්කම මනාව පෙන්වමින් මෙම රටක් වටිනා ආදර්ශවත් සද්ක්‍රියාව සිදු කළ මෙම සේවක දෙපළ රටට, ජාතියට වටිනා සම්පතකි. මෙම ආදර්ශවත් සද්ක්‍රියාව සිදු කළ ස්ප්‍රිංවැලි බැද්දේගම පෞද්ගලික බස් රථ රියැදුරු 55 හැවිරිදි සරත් හෙන්නායක මෙසේ කීය.

“මගෙ තාත්තා තමයි එච්.එම්. ගංඇති. මේ බස් රථය තාත්තාගේ. මම එහි රියැදුරු. එදාත් මම ස්ප්‍රිංවැලි බැද්දේගම සිට බදුල්ල දක්වා බස් එක ධාවනය කළා. බස් රථයේ කොන්දොස්තරවර ලෙස .එස්.එම්. ඉන්දික සේවය කළා. අපි බස් එක බදුල්ල ප්‍රධාන බස් රථ නැවතුම්පොළට ආවාම ඉදිරි පාපුවරුව අසල බිම ලේන්සුවකින් ඔතා කිසිවක් වැටී තියෙනවා දැකලා අහුලාගෙන බැලුවා. බලන විට එහි කුඩා ඉටි බෑගයක දමා රන් භාණ්ඩ තොගයක් තිබුණා. අපිට හිතාගන්න බැරිවුණා. කොහොමත් ඒවා රු. ලක්ෂ 50ක් පමණ වටිනවා.

පසුව අපි දෙන්නා හිතාගත්තා මේක අයිතිකරු සොයා භාර දෙන්න. කාගෙ වුණත් ගින්දරක්නේ. ඒ අනුව බස් නැවතුම්පොළේ හිටපු චාමින්ද මහත්තයට කියලා අපි ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා හම්බවෙලා මේ රන් භාණ්ඩ තොගය අයිතිකරු සොයා භාර දෙන්න කියා දුන්නා. මීට කලිනුත් මේ බස් එක තුළ වැටිලා තිබුණු රුපියල් 750000, 50000 වැනි මුදල් ඒවායේ අයිතිකරුවන් සොයා භාර දී තිබෙනවා. පසුව මෙම රන් භාණ්ඩ තොගය විශ්‍රාමික යුවළකගේ බව හඳුනාගෙන එම යුවළට මෙම රන්භාණ්ඩ තොගය මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර භාර දී තිබුණා. ඇත්ත වශයෙන්ම අපි සතුටු වෙනවා මේ සද්කාර්ය සිදු කිරිමට හැකි වීම ගැන.”

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර,

“අපි නිරතුරුවම පෞද්ගලික බස් රථ රියැදුරු, කොන්දොස්තර මහත්වරුන්ව දැනුවත් කර තිබෙනවා බස් රථ තුළ වැටී තිබෙන අයිතිකරු නොමැති ඒවා ගන්න එපා… අයිතිකරු සොයා භාර දෙන්න කියලා. මේ එවැනි ආදර්ශවත් සේවක දෙපළක්. අපි ඇත්ත වශයෙන් ම සතුටු වෙනවා ඔවුන් දෙදෙනා මේ සිදු කළ ආදර්ශවත් ක්‍රියාව සම්බන්ධයෙන්. පෞද්ගලික බස් රථවල වැරදි කරන රියැදුරු කොන්දොස්තරවරු ඉන්නවා. ඒ අයටත් මේ රියැදුරු,කොන්දොස්තර මහත්වරුන් දෙදෙනා හොඳ ආදර්ශයක් ලබා දී තිබෙන්නේ.

සී. ගමගේ සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division