Home » ආදරය වෛරයට පෙරළුණා මැදියමේ ආදරිය මියගියා නිහඬවම කානුවේ

ආදරය වෛරයට පෙරළුණා මැදියමේ ආදරිය මියගියා නිහඬවම කානුවේ

by thanushika
June 8, 2024 12:30 am 0 comment

පසුගිය කාලයේ සිදුවූ මිනිස් ඝාතන රැසක් පිළිබඳව පොලිසිය සිදුකළ විමර්ශන ඔස්සේ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනිණි. යුක්තිය මෙහෙයුම නිසා දැඩි සේ කාර්යබහුලව සිටින පොලිස් නිලධාරීන් එවැනි ඝාතනවල විමර්ශනවලට ද එක්වෙමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ මහත් වෙහෙසක් දරමින් රාජකාරියට කැපවෙමිනි.

පසුගිය 28 වැනිදා අලුයම් කාලයේ සීදූව ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයකට අදාළ ප්‍රධාන සැකකරු එදින දහවල් ඝාතනය සිදුවී පැය පහක් යද්දී අත්අඩංගුවට ගැනීමට ඒ ගැන විමර්ශන සිදුකළ සීදූව පොලිසියේ නිලධාරින්ට හැකි විය. එදින අලුයම ඝාතනය වූයේ 36 හැවිරිදි උස්ගොඩ මානගේ තිසාරා මධුවන්තිය. සීදූව පොලිස් වසමේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානය හෙවත් ‘කැලෑ පල්ලිය‘ ආසන්න මාර්ගයේ කානුවක තිබූ ඇගේ මළසිරුර හමුවී පැය පහක් ඉක්ම යන්නටත් මත්තෙන් ඇගේ ඝාතකයා බවට සැක කරන අනියම් සැමියා වන 37 හැවිරිදි තරිඳු අමිල නිරෝෂන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ කිරිබත්ගොඩ හෝටලයක සිටියදීය.

තිසාරාගේ ඝාතක සැකකරු අත්අඩංගුවට ගෙන ඇගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගත් ආකාරය සීදූව පොලිස් ස්ථානයේ පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි. පසුගිය මැයි 28 වැනිදාට හිරු උදා වෙමින් තිබිණි. එදින පෙරවරු 6ට පමණ 119 ඔස්සේ සීදූව පොලිසියට ඇමතුමක් ලැබිණි.

“සර්… සීදුවේ කැලෑ පල්ලිය ගාව කාණුවේ කවුද ගෑනු කෙනෙක් වැටිලා ඉන්නවා… මැරිලාද කොහොමද කියලා දන්නෙ නෑ සර්… අපි 1990ටත් කෝල් කළා…“ යැයි පුද්ගලයකු සීදුව පොලිසිය දැනුවත් කළේය. එම පුද්ගලයා මේ සිද්ධිය වූ ස්ථානය අවට පදිංචිකරුවෙකි.

එම 119 පොලිස් හදිසි ඇමතුමට අනුව ක්‍රියාත්මක වූ සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජී. කුමාර ඇතුළු කණ්ඩායමක් ක්ෂණයෙන් එම ස්ථානයට ගියේ එම තොරතුර ගැන සොයා බැලීම සඳහාය..

පොලිස් කණ්ඩායම එම ස්ථානයට ළඟා වීමට පෙර ගොස් සිටි 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ නිලධාරීන් කාණුවේ සිටි එම තැනැත්තිය මාර්ගයට ගෙන තිබූ අතර සුවසැරිය නිලධාරීන් එම තැනැත්තිය පරික්ෂා කිරීමෙන් අනතුරුව කීවේ ඇය ඒ වන විටත් මියගොස් ඇති බවය.

ඒ සමඟම එම ස්ථානයට ගිය සීදූව පොලිසියේ නිලධාරි කණ්ඩායම එලෙස මරණයට පත්ව සිටි තැනැත්තිය කවුරුන් ද යන්න සොයා බලන්නට විය. ඒ අතර සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර එම කාන්තාවගේ මරණය පිළිබඳව මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරා දැනුම්වත් කිරීමත් සමඟ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායකගේ අධීක්ෂණයෙන් විමර්ශනයක් ඇරැඹිණි. එසේම එම කාන්තාවගේ මරණය පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කිරීමත් සමඟ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා එම ස්ථානයට පැමිණ එම මළසිරුර පරික්ෂාවක්ද සිදු කෙරිණි.

අනතුරුව සීදූව පොලිසියේ විමර්ශන නිලධාරින් කාන්තාවගේ මළසිරුර තිබූ කැලෑ පල්ලිය මාර්ගයේ සීසීටීවී කැමරා පරික්ෂා කරමින් සහ පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරුකරුවන් මාර්ගයෙන් තොරතුරු රැස් කරමින් විමර්ශන සිදු කරන්නට විය. එහිදී මිය ගොස් සිටි තැනැත්තිය ඒ අසල පිහිටි ජුබිලි මාවතේ බෝඩිමක සිටි කාන්තාවක බව අනාවරණය විය. එම බෝඩිම සොයා ගිය පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු හමු විය. ඔහු මියගොස් සිටි තැනැත්තියගේ බාල සොහොයුරා බව හෙළිදරව් විය. මළසිරුර තිබූ ස්ථානයට රැගෙන ආ එම පුද්ගලයා එම මළසිරුර හඳුනා ගත්තේ, “සර්… මේ මගේ අක්කා තමයි මැරිලා ඉන්නේ…“ යැයි කියමින් හඬා වැලපෙමිනි.

“තමුන් දන්නේ නැද්ද? අක්කට වුණේ මොකද්ද කියලා…?“ යැයි පොලිස් නිලධරයෝ ඔහුගෙන් ප්‍රශ්න කළහ.

“මං මේ මුකුත්ම දන්නේ නෑ සර්… හැබැයි සර්… ඊයේ රෑ අපි ඉන්න බෝඩිමේ පාටියක් තිබුණා… මහ රෑ 12ට විතර අක්කා… එයාගේ අනියම් පුරුෂයයි තවත් තුන්දෙනෙකුයි එක්ක නයිට් ක්ලබ් ගියා… බෝඩිමේ නතර වුණේ මායි අක්කගේ පොඩි එකයි විතරයි… ඒ ගිය පාර තමයි අක්කට මේ දේ වෙලා තියෙන්නේ…“ එම පුද්ගලයා පොලිසියට කීවේය.

එසේම එම තරුණයා හෙළි කළේ තම සහෝදරියගේ නම උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති බවය. ඇය 36 හැවිරිදි කතකි. ඇගේ අනියම් පුරුෂයා 37 හැවිරිදි තරිඳු අමිල නිරෝෂන්ය. පොලිස් නිලධාරීන් තිසාරා සහ ඇගේ අනියම් පුරුෂයා නිරෝෂන් සමඟ පිරිස ගිය බවට හෙළි වූ සීදුව, ලියනගේමුල්ලේ පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවට ද ගොස් මේ ගැන විමර්ශන සිදුකරන ලදි. එහි සේවකයන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබා ගත්තේය.

එහිදී එම සේවකයන්ගෙන් සැලවූයේ එම කාන්තාව ඇය සමඟ පැමිණි පිරිසෙන් එක් අයකු සමඟ දබරයක් ඇතිකරගැනීමත් සමඟ පිරිසම සමාජ ශාලාවෙන් පිටමං කළ බවය.

ඒ සමඟ පොලිසිය තිසාරා සමඟ රාත්‍රී සමාජ ශාලාවට ගිය බවට ඇගේ සොහොයුරා හෙළි කළ සෙසු තිදෙනාගෙන් ද ප්‍රශ්න කරන ලදි. එම තිදෙනා බොරලැස්ගමුවේ පදිංචිකරුවන්ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් තිදෙනා කීවේ අමුතුම කතාවකි.

“සර්… තිසාරා නයිට් ක්ලබ් එකේදී නිරෝෂන් එක්ක රණ්ඩුවක් වුණා… රණ්ඩුව දිගින්දිගටම ගියා… පස්සේ අපි කට්ටියම නයිට් ක්ලබ් එකෙන් එළියට ඇවිල්ලා පයින්ම බෝඩිමට එන්න ආවා… ඒ දෙන්නට ඕන දෙයක් කරගන්න කියලා අපි තුන්දෙනා ඉක්මන් කරලා ආවා… ඒ අයත් අපේ පස්සෙන්ම වගේ ආවා… පාන්දර දෙකහමාර තුන විතර වෙනකොට අපි තුන්දෙනා බෝඩිමට ආවා… ඒ ඇවිත් ඇඳුම් මාරු කරගෙන අපි බොරලැස්ගමුවේ ඉඳන් ආපු මෝටර් බයික් එකෙන් පාන්දරම තුන්දෙනා බොරලැස්ගමු ගියා සර්…. එච්චරයි අපි දන්නේ…“ යැයි ඔවුහු කීහ.

අනතුරුව පොලිස් නිලධාරීන් ප්‍රධාන මාර්ගයේ සිට ශාන්ත මුනිඳුන් දේවස්ථානය හෙවත් කැලෑ පල්ලිය මාර්ගයේ සීසීටීවී කැමරා පරීක්ෂාවේදී දුටුවේ තිදෙනා කී ලෙස ඔවුන් පැමිණෙන ආකාරයත් ඊට මඳ වේලාවකට පසු තිසාරා, ඇගේ අනියම් පුරුෂයා සමඟ එන ආකාරයත්ය.

එසේ වැඩිදුරටත් සීසීටීවී කැමරා පරික්ෂාවේදී හෙළි වූයේ තිසාරා සමඟ පැමිණි ඇගේ අනියම් පුරුෂයා නිරෝෂන් පමණක් මඳ වේලාවකින් පසු නැවත ප්‍රධාන මාර්ගය දෙසට යන ආකාරයයි.

තිසාරා සහ අනියම් පුරුෂයා නතරව සිටි බෝඩිම පරික්ෂා කරද්දී ඇගේ අනියම් පුරුෂයා නිරෝෂන්ගේ ජාතික හැඳුනුම්පත එහි තිබී සොයා ගැනීමට පොලිසියට හැකි විය. ඒ සමඟම පොලිසියට තොරතුරු ලැබුණේ අමිල නිරෝෂන් නමැති එම පුද්ගලයා කිරිබත්ගොඩ, හෝටලයක විදුලි කාර්මිකයකු ලෙස සේවය කරන බවය. අනතුරුව සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර ඇතුළු පොලිස් කණ්ඩායමක් ගියේ එම හෝටලය සොයාගෙනය. ඒ 28 වැනිදා දහවල් කාලයේයි. එම හෝටලයට ගිය පොලිස් නිලධාරි කණ්ඩායම එහි සිටි අමිල නිරෝෂන් පොලිසිය භාරයට ගෙන අත්අඩංගුවට ගැනිණි.

ඒ වන විට එදින අලුයම සිදුවූ ගැටුමෙන් තමාගේ අනියම් බිරිය මියගොස් සිටි බව ඔහු දැන සිටියේ නැති බවක් පොලිසියට හඟවන්නට විය.

අනතුරුව නිරෝෂන් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරන්නට වූයේ එදින අලුයම සිදු වූයේ කුමක්ද යන්න දැනගැනීමේ අටියෙනි. එහිදී නිරෝෂන්ගේ පාපෝච්චාරණය අනුව හෙළිවන්නේ මෙවන් කතාවකි.

උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති, නොම්මර 7, බටහිර බටුවන්දර, නෙළුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. තිසාරා විවාහක කතකි. එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු ද සිටී. මේ වන විට ඇය එම විවාහයෙන් වෙන්ව සිටින්නීය.

මීට වසර හයකට පමණ පෙරදී තිසාරා කටුනායකට පැමිණෙන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවක් සොයාගෙනය. එහිදී ඇයට රැකියාවක් ලැබී තිබුණේ ‘මෑන් පවර්‘ ආයතනයකය. ඇය එම රැකියාවට පැමිණීමත් සමඟ කටුනායක අවට ස්ථාන කිහිපයකම නතරව සිටීමෙන් පසුව පදිංචියට පැමිණියේ සීදූව, ලියනගේමුල්ල කැලෑ පල්ලිය මාර්ගයේ පිහිටි ජුබිලි මාවතේ බෝඩිමකටය.

ඒ අතර තිසාරාට මීට වසර හතරකට පමණ පෙර අමිල නිරෝෂන් හමුවිය. නිරෝෂන් පුත්තලම, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කිරිබත්ගොඩ හෝටලයක විදුලි කාර්මික ශිල්පියකු ලෙස රැකියාව කළේය. තිසාරාට හමුවූ නිරෝෂන් සමඟ ඇය මුලදී පෙමින් වෙලී සිටියාය.

දෙදෙනාගේ එම ප්‍රේම සබඳතාව පසුව අනියම් ඇසුරක් දක්වා දුරදිගගියේ තිසාරා සහ නිරෝෂන් එකම වහලක් යට දිවිය අරඹමිනි. එහිදී දෙදෙනා නීතියෙන් එක් නොවී අඹුසැමියන් ලෙස ජීවත්වන්නට වූයේ කැලෑ පල්ලිය මාර්ගයේ පිහිටි ජුබිලි මාවතේ බෝඩිමේය.

එම බෝඩිමේ තිසාරා සහ නිරෝෂන්ට අමතරව තිසාරාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වන කුඩා ගැහැනු දරුවා ද ඊට අමතරව මෑන් පවර් ආයතනයකම රැකියාව කළ තිසාරාගේ බාල සහෝදරයෙක් ද එහි නතරව සිටියහ. එලෙස පිරිස සතුටෙන් – සමාදානයෙන් එම බෝඩිමේ ගතකරමින් සිටියහ.

දිනය පසුගිය මැයි 27 වැනිදාය. එදින නිරෝෂන්ගේ උපන් දිනයයි. ඒ වෙනුවෙන් එදින රාත්‍රියේ සියලු දෙනා එක්ව සාදයක් පැවැත්වූහ. එම සාදයට නිරෝෂන්ගේ බාල සහෝදරයා සහ ඔහු විවාහ වීමට සිටි තරුණිය සමඟ තවත් තරුණියක් ද පැමිණියහ. ඔවුන් තිදෙනා එදින සවස් යාමයේ පැමිණියේ බොරලැස්ගමුවේ සිටය. ඒ ඔවුන් පදිංචිව සිටියේ බොරලැස්ගමුවේ නිසාය.

එදින නිරෝෂන්ගේ උපන් දිනය වෙනුවෙන් එම පිරිස සාදයක් පවත්වමින් කෑමෙන් බීමෙන් සප්පායම් වෙමින් විනෝදයෙන් කල් ගෙවමින් සිටියහ. ඒ අතර එදින රාත්‍රී 12 පසුවෙමින් තිබිණි. සාදය ඉතාම හොඳින් ඒ වනවිටත් පැවැත්වෙමින් තිබුණේ පිරිස ගීත ගයමින්, නටමින් විනෝද වන අතරේය. එහිදී එක්වරම තිසාරා පිරිස අමතමින් යෝජනාවක් ගෙන ආවාය.

“මේ කට්ටියම අහන්නකෝ… අපි දැන් මෙතන කෑවා බිව්ව ඇති… යමු කට්ටියම ලියනගේමුල්ලේ නයිට් ක්ලබ් එකට… එතැන නියම තැන… අපි කට්ටියටම හොඳ ජොලියක් ගන්න පුළුවන්…“ යැයි කියමින් තිසාරා පිරිසට පැවැසුවාය.

එහෙත් ඒ වන විට කෑමෙන් බීමෙන් සප්පායම් වී සිටි එම පිරිස සීදූව, ලියනගේමුල්ලේ පිහිටි එම ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවට යෑමට අදිමදි කරන්නට වූහ. කෙසේ හෝ පසුව සියලු දෙනාගේම කැමැත්ත මත එම රාත්‍රී සමාජ ශාලාවට යෑමට ඔවුහු සූදානම් වූහ. එහෙත් එම ගමනට තිසාරාගේ සහෝදරයාගේ කැමැත්තක් නොවීය. එම නිසා ඔහු තිසාරාගේ කුඩා දරුවා සමඟ බෝඩිමේ නතර විය.

අනතුරුව පිරිස ජනප්‍රිය කුලී රථ සේවාවක රථයක් එම සේවාවේ අන්තර්ජාල යෙදවුම ඔස්සේ වෙන් කරවාගෙන බෝඩිමට ගෙන්වාගෙන එදින මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී පිරිස රාත්‍රී සමාජ ශාලාවට ගොඩවැදිණි.

තිසාරා, ඔහුගේ අනියම් සැමියා සහ බොරලැස්ගමුවේ සිට පැමිණි තිදෙනා සමාජ ශාලාව තුළ ද කෑමෙන් බීමෙන් හොඳහැටි සප්පායම් වෙමින් පැය දෙකක් පමණ නර්තනයේ යෙදෙමින් සිටියහ. ඒ අතරේ සමාජ ශාලාව තුළදී එහි නර්තනයේ යෙදුණු කාන්තාවක විසින් තිසාරාගේ අනියම් පුරුෂයා නිරෝෂන්ගේ මුවඟට දුම්වැටියක් ඇතුළු කරන්නට වූයේ අහඹු ලෙසිනි.

තිසාරා එය ක්ෂණයෙන් දුටුවාය. ඒ සමඟම ඇය යක්ෂාවේශයෙන් මෙන් කේන්තියෙන් පිපිරෙමින් නිරෝෂන් සමඟ ආරවුලකට පැටලුණේ කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙනි. දෙදෙනාගේ රණ්ඩුව කෙතරම් දරුණු වූයේ ද යත් තිසාරා සහ නිරෝෂන් සමඟ සමාජ ශාලාවට පැමිණි සෙසු තිදෙනාට ද එම ආරවුල විසඳීමට නොහැකි තත්ත්වයක් දක්වා දුරදිග ගියේය.

අනතුරුව රාත්‍රී සමාජ ශාලාවේ පාලනාධිකාරිය එම පිරිස සමාජ ශාලාවෙන් ඉවත් කරන්නට වූයේ ගත හැකි වෙනත් පියවරක් නොමැති වීමෙනි. පසුව පස්දෙනා එළියටවිත් නැවත බෝඩිමට ඒමට පිටත් වූයේ පා ගමනිනි. සමාජ ශාලාවේ සිට කිලෝමීටර් කිහිපයක් පා ගමනින් ආ යුතුය. ඒ එන අතරතුර ද දෙදෙනාගේ ආරවුල ඉවරයක් නැත. දෙදෙනා පා ගමනින් එද්දී අතරමඟ නතරව රණ්ඩු වෙද්දී සෙසු තිදෙනා පා ඉක්මන් කර බෝඩිමට ගියේ, ‘උඹලා දෙන්නා රණ්ඩු වෙන්න බැරිනම්.. ඕන කුදයක් ගහගනිල්ලා… අපි යනවා…‘ යැයි කියමිනි.

තිසාරා සහ නිරෝෂන් මඟහැර පා ඉක්මන්කොට බෝඩිමට පැමිණි තිදෙනා බොරලැස්ගමුවේ සිට බෝඩිමට පැමිණි යතුරුපැදියේ නැඟී බොරලැස්ගමුව බලා පිටත්ව ගියේ අලුයම් කාලයේමය.

තිසාරා සහ නිරෝෂන් මහමඟ රණ්ඩු වෙමින් බෝඩිම පිහිටි මාර්ගයේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය හෙවත් කැලෑ පල්ලිය ආසන්නයට පැමිණියේය. එම ස්ථානයේදී දෙදෙනාගේ බහින්බස්වීම ගහමරා ගැනීමක් දක්වා දුරදිග ගියේය. දෙදෙනා පොර බදමින් රණ්ඩු වෙද්දී ඒ අසල තිබූ ගලක් ගත් නිරෝෂන් එම ගලෙන් තිසාරාගේ මුහුණට පහර දුන්නේය. එම පහරකාගෙනම ඇය ඇද වැටුණේ ඒ අසල තිබූ කානුවටය.

ගල් පහර කෑ තිසාරා කානුවේ වැටී සිටියදී නිරෝෂන් බෝඩිමට නොගොස් නැවත පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණියේය. ඒ මොහොතේ පැමිණි බස් රථයකට ගොඩ වූ ඔහු එදින අලුයමම රැකියාව කරන කිරිබත්ගොඩ හෝටලය වෙත පැමිණියේය.

කානුවේ වැටි සිටි තිසාරාට ඉන්පසු සිදු වූයේ කුමක් ද යන්න නිරෝෂන් නිකමට හෝ සොයා බැලුවේ නැත.

“ඒ වෙලාවේ මොකක් වුණාද කියලා මං දන්නෙ නෑ සර්… ඇත්තටම මං එයාට ඒ ගලෙන් ගැහුවේ මැරෙන්න නෙවෙයි. සර්…“ යැයි ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ මිමිණුව ද සිදුවූ සියල්ල මේ වන විට ඛේදවාචකයකින් අවසන් වී ඇත.

අත්අඩංගුවට ගත් නිරෝෂන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායකගේ අධීක්ෂණයෙන් සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජී. කුමාර, උපපොලිස් පරීක්ෂක ජී. පෙරේරා, සැරයන් (70136) තරංග, කොස්තාපල්වරුන් වන (27180) බණ්ඩාර, (56302) රණසිංහ සහ (100673) කුරුවිට යන නිලධරයෝ විමර්ශනවලට එක් වූහ.

ඡායාරූප – කටුනායක ටී.කේ.ජී. කපිල

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division