Home » බණ්ඩාරවත්තේදී ඇල්ලූ අඹුසැමියන්ගෙන් හෙළිවූ රු. කෝටි විසිතුනේ මත්ද්‍රව්‍ය ජාවාරම

බණ්ඩාරවත්තේදී ඇල්ලූ අඹුසැමියන්ගෙන් හෙළිවූ රු. කෝටි විසිතුනේ මත්ද්‍රව්‍ය ජාවාරම

by thanushika
June 8, 2024 12:30 am 0 comment
සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමූහ

බියගම පොලිස් වසමට අයත් බණ්ඩාරවත්ත නගරයේ බස් නැවතුම්පොළ දිනපතා උදේ සවස මගීන් පොදි කන ස්ථානයකි. ඉකුත් 26 දා සවස මේ බස් නැවතුම්පොළේ කිසිම චකිතයකින් තොරව බසයක් පැමිණෙන තෙක් රැඳී සිටි තරුණ පෙනුමැති පුද්ගලයෙකු කෙරෙහි පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇස එල්ලවී තිබූණු බව එම පුද්ගලයා දැන සිටියේ නැත.

ඔහුගේ හැසිරීම කතාබහ නිරීක්ෂණය කළ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි බියගම පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන් එසැණින් මේ පුද්ගලයා තම ග්‍රහණයට ගෙන ඔහු සෝදිසි කිරීම සහ ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේගේ මූලිකත්වයෙනි.

ඒ අවස්ථාවේ එම පුද්ගලයා හැඳ සිටි කලිසම් සාක්කුවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2310ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගත් අතර ඊට මඳක් ඈතින් සිටි ඔහුගේ භාර්යාව ද අයිස් ග්‍රෑම් 05ක් සමඟ එම අවස්ථාවේම පොලිසියට කොටු විය. සැකකරු එම මත්කුඩු ලබාගත්තේ බණ්ඩාරවත්ත නගරයේ ගෙස්ට් හවුස් එකකින් බව නිලධාරීන්ට හෙළි කරන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය.

පොලිස් නිලධාරීන් එසැණින් අදාළ ගෙස්ට් හවුස් එක වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගන්නේ ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 510ක් සමඟය. කළමනාකරු අවුරුදු 40ක් වයසැති අයෙකි. ඔහු දික්වල පාර, සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කළමනාකරු පොලිස් නිලධාරීන්ට පවසා සිටියේ තමාට අයිස් මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයා එදින සවස කඩුවෙල ප්‍රදේශයේ සිට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන එන බවයි.

ගෙස්ට් හවුසිය අවට පොලිස් නිලධාරින් රැඳි සිටියේ අදාළ පුද්ගලයා පැමිණෙනතුරුය. එදින පස්වරුවේ කළු පැහැති නවීන මෝටර් රථයකින් අදාළ පුද්ගලයා ගෙස්ට් හවුස් එකට පැමිණියේය.

කිසිම කලබලයකින් තොරව මඟ රැක සිටි නිලධාරීන්ට අදාළ මෝටර් රථය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ අසුනක් යට තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02ක් සහ හෙරෝයින් කිලෝ 01ක් සොයාගත හැකිවූ අතර අදාළ සැකකරු තම ඉන වටා පැලඳ සිටි පැති පසුම්බියේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගැනිණි.

මෙහිදී එම පුද්ගලයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු මත්කුඩු රැගෙන එන්නේ කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ සිය නිවසේ සිට බවට කරුණු අනාවරණය විය. එම පුද්ගලයා වයස අවුරුදු 30ක් පමණ වන අයෙකි. ඔහු කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ සැකකරු පදිංචි අදාළ නිවස සොයා ගියේ එම සැකකරු සමඟය.

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ සැකකරුට අයත් නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගත් අතර නිවසේ අල්මාරියක තිබී පොලිස් නිලධාරීන්ට හමුවූ රුපියල් ලක්ෂ 07ක මුදල මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් බව සැක කැරේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 19ක් වන අතර සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් රථවාහනවල වටිනාකම කෝටි 04 කි. මෙහිදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර ඉන් එක් පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ ඩුබායිහි සිටින පුද්ගලයෙකු මෙම ජාවාරම මෙහෙයවන බවයි.

සැකකරු රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් ලද තොරතුරු මත වත්තල ප්‍රදේශයේ වාහන අංගනයක තිබී සැප බස් රියක් සහ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්, සීඑච්ආර් වර්ගයේ මෝටර් රථයක් හා යතුරුපැදි 03ක් පොලිසිය විසින් තම භාරයට ගෙන ඇත. එම රථවාහන ඩුබායි රටේ සිටින ජාවාරම්කරුගේ බිරියට අයත් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ මෙම වැටලීමමේදී අයිස් කිලෝ 15යි මිලිග්‍රෑම් 81ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 14යි මිලිග්‍රෑම් 527ක් සහ හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 941ක් පොලිසිය විසින් සොයා ගැනිණි. රුපියල් කෝටි 23ක මත්ද්‍රව්‍ය හා රථවාහන අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ පැවසීය.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයවර්ධනගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ජී. ගුණතිලකගේ අධීක්ෂණයෙන් බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ, උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත, සැරයන් (26942) අල්විස්, කොස්තාපල්වරුන් වන (99918) යොහාන්, (103657) ජයසිංහ, කාන්තා කොස්තාපල් (11658) දිල්රුක්ෂි යන නිලධාරීන් මෙම වැටලීමට එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division