කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීහු පිරිස පසුගිය 24 වැනිදා පස්වරුවේ සුපුරුදු පරිදි දෛනික රාජකාරිවල නිරත වෙමින් සිටියහ. ඒ අතරතුර ඔවුනට බුද්ධි තොරතුරක් ලබා දුන් පුද්ගලයකු පවසා ඇත්තේ නිධානයකින් ලබාගත් බව කියන මැණික් ගල් කිහිපයක් අලෙවි කිරීමට පිටස්තර ප්‍රදේශවලින් ආ පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටින බවය. එම මැණික් ගල් තමන් පරික්ෂාකර බැලු බවත් ඒවා ව්‍යාජ මැණික් බව තමාට හැඟී ගිය බව කී ඔහු මෙම පිරිස පොලිසියට අල්ලා දීමට කටුගස්තොට ප්‍රදේශයට කැඳවාගෙන ඒමට තමාට හැකියාව පවතින බව ද සඳහන් කළේය.
ඉන්පසු වැඩබලන ස්ථානාධිපතිවරයා බුද්ධි තොරතුර ලබා දුන් පුද්ගලයාට පැවැසුවේ එම පිරිස ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ ගේට්ටුව අසල ඇති කටුගස්තොට පරණ පාලමට පිවිසෙන ස්ථානයට කැඳවාගෙන එන ලෙසය.
එසේ පැවසූ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක විජේසිංහ මේ සම්බන්ධව කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ආර්. රාජපක්ෂ දැනුම්වත් කෙළේය. ඉන්පසු සැක පිරිස කොටු කරගැනීමට යාමට ස්ථානාධිපතිවරයාගේ අවසරය ලබාගත් උපපරීක්ෂක විජේසිංහ දූෂණ මර්දන අංශයේ සේවයේ නියුතු සැරයන් (68718)ලක්මාල්, කාන්තා සැරයන් (2056) සමන්ති සහ කොස්තාපල් (89097) සනත් සමඟ සිවිල් ඇඳුමින් සැරසී කාරයකට නැඟ පරණ පාලමේ පිවිසුම අසලට ගියේ පැමිණෙන පිරිස බලාපොරොත්තුවෙනි. ඔවුන් එම ස්ථානයට යන විටත් බුද්ධි තොරතුර ලබාදුන් පුද්ගලයා සමඟ පිරිමි පස්දෙනෙක් සහ එක් කාන්තාවක් එම ස්ථානයට පැමිණි සිටිනු අයුරු උපපරීක්ෂක විජේසිංහ ඇතුළු නිලධාරින්ට දක්නට ලැබිණි. එම පිරිස ස්කූටි වර්ගයේ යතුරුපැදි දෙකකින් සහ ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියකින් එහි පැමිණ සිටි අතර ඔවුන් පැමිණ ඇත්තේ යතුරුපැදි පාලමේ අනෙක්පස නවත්වා පාලම ඔස්සේ පා ගමනිනි.
මෙම පුද්ගලයින් සතු මැණික් ගල් මිල දී ගන්නා ව්‍යාපාරිකයා වශයෙන් කටයුතු කර තිබුණේ උපපරීක්ෂක විජේසිංහය. උපපරීක්ෂක විජේසිංහ මෙම පිරිස සමඟ සුහදව කතාබහක නිරත විය. තමන් මැණික් ගල් ටික මිල දී ගැනීමට කැමති බව ඔහු අදාළ පිරිසට පැවැසීය. ඉන්පසු මෙම පිරිස අතර සිටි එක් පුද්ගලයෙක් පවසා ඇත්තේ තමන් සතුව මැණික් ගල් 13ක් තිබෙන බවය. ඉන්පසු මැණික්වල මිල ගණන් කතා කිරීම ඇරඹිණි. අවසානයේ කෝටි දහතුනහමාරකට මැණික් ගල් 13 මිල දී ගැනීමට ව්‍යාපාරිකයා සේ වෙස්ගත් උපපරීක්ෂක විජේසිංහ කැමත්ත පළ කළේය. මේ අවස්ථාවේ එම පිරිස අතර සිටි කාන්තාව පවසා ඇත්තේ තමන් සතුවද එක මැණික් ගලක් තිබෙන බවත් එය ලක්ෂ 50කට අලෙවි කිරීමට කැමති බවය. පසුව උපපරීක්ෂක විජේසිංහ ඇතුළු කණ්ඩායම මැණික් රැගෙන ආ පිරිසට පවසා ඇත්තේ මැණික් ගල් පරික්ෂා කිරීමට අවශ්‍ය බවය. ඒ අවස්ථාවේ මැණික් ගල්වල හිමිකරු බව පැවසෙන පුද්ගලයා පවසා ඇත්තේ මැණික් ගල් පෙන්වන්නට නම් ඊට කලින් මුදල් පෙන්වන ලෙසය. නමුත් ඔවුන් උත්සාහය අත්නොහැර දිගින් දිගටම පවසා ඇත්තේ මුදල් පෙන්වන්නට කලින් මැණික් ගල් පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවය. අවසානයේ එයට අවනත වූ මැණික් ගල්වල හිමිකරු බව පැවසෙන පුද්ගලයා විසින් ගමන් මල්ලක බහා කුඩා පෙට්ටිවල අසුරා තිබූ මැණික් ගල් පොලිස් නිලධාරින්ට පෙන්වා තිබේ. ඒවා පරීක්ෂාකර බැලීමේදි පොලිස් නිලධාරින්ට ද එම ගල් ව්‍යාජ ඒවා විය හැකි බවට සැක පළවී තිබේ.
පසුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් තම තමන්ගේ නිල හැඳුනුම්පත් පැමිණි පිරිසට පෙන්වා තමන් පොලිස් නිලධාරින් බව පවසා වංචාවක් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පිරිසට අත්විලංගු දැමු පොලිස් නිලධාරින් පොලිස් ස්ථානයට කතා කර ජීප් රථයක් ගෙන්වාගෙන එම පිරිස පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. එම පිරිස අතර සිටි මැණික් ගල්වල හිමිකරු බව පැවසෙන පුද්ගලයා තමන් හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් තමන් වෙද මහත්මයකු බවත් නිධානයකින් මෙම ගල් ටික ලබාගත් බව පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත. මෙම පිරිස අතර සිටි කාන්තාව මෙම ගල්වල හිමිකරු වන පුද්ගලයා දන්නා හඳුනන බවත් එම කාන්තාවගේ සැමියා ද මෙම පිරිස අතර සිටි බවද වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත. සැකකරුවන් සන්තකයේ තිබී ගල් 14ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම මැණික් ගල්වලින් ගල් තුනකට ජාතික ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත් බව පැවසෙන තත්ත්ව සහතික තුනක්, කුඩා විදුලි පන්දමක් හා ඩිජිටල් තරාදියක්ද හමුවී ඇත.
මෙම පිරිස පසුගිය 25 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අත්අඩංගුවට ගත් මැණික් ගල් සත්‍ය වශයෙන්ම මැණික් ද යන්න වග ජාතික ස්වර්ණාභරණ අධිකාරියෙන් පරීක්ෂාවට ලක් කිරීමටත් සැකකරුවන් සන්තයේ තිබුණු තත්ත්ව සහතික තුන සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න පරීක්ෂා කර බැලීමටත් අධිකරණය පොලිසියට අවසර ලබා දී ඇත.