Home » සී අයි ඩියත් කැලඹූ මිදිගම රුවන්ගේ පැටිකිරිය මෙන්න

සී අයි ඩියත් කැලඹූ මිදිගම රුවන්ගේ පැටිකිරිය මෙන්න

by thanushika
June 8, 2024 12:30 am 0 comment

සංවිධානාත්මක අපරාධ කල්ලිවල නායකත්වය විටින්විට නැතිනම් කලින් කලට එකිනෙකා අතට පත්වීම සුලබ කාරණාවකි. විශේෂයෙන් පාතාල නායකයකුගේ මරණයෙන් පසු ඔහුගේ ගෝලයකු නායකත්වයට පත්වීම සුලබව සිදුවන්නකි. එලෙස දකුණු පළාත ප්‍රධානකොට රටේම අපරාධ සිදුකළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්ගේ මරණයත් සමඟ ඔහුගේ බොහෝ අපරාධ ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම් සියතට ගත්තේ මිදිගම හරක් කටා ලෙසින් ප්‍රකටව සිටි නදුන් චින්තක වික්‍රමරත්න නමැති පාතාල අපරාධකාරයාය.

දකුණු පළාතේ පසුගිය කාලයේ සිදුවූ අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් විශාල ප්‍රමාණයක ප්‍රධානියා හෙවත් මෙහෙයවන්නා ලෙස සැලැකුණේ හරක් කටාය. හරක් කටා ඒ සියලු අපරාධ ක්‍රියා සිදු කළේ විදෙස් රටවල සිටය.

හරක් කටාගේ ඒ සියලු සෙල්ලම් අවසන් වූයේ මෑතකදී කරළියට ආ තවත් අපරාධකාරයෙක් වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පාණදුරේ කුඩු සලිඳු සමඟ දෙදෙනා 2023 මාර්තු 01 වැනිදා මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟය.

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවත් සමඟ අත්අඩංගුවට ගත් එම දෙදෙනා 2023 මාර්තු 15 වැනිදා මෙරටට රැගෙන ඒමත් සමඟ අධිකරණය මඟින් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබිණි.

එම කාලය තුළදී එනම් 2023 සැප්තැම්බර් 10 දා හරක් කටා සහ කුඩු සලිඳු ජීව ග්‍රහණයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් මුදාගෙන රැගෙන යාමේ මහා කුමන්ත්‍රණයක් දියත් කර තිබුණේ යුද හමුදාවේ ස්නයිපර් ප්‍රහාරක බළකායේ සෙබළකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු ද ඇතුළු කිහිපදෙනෙකු විසිනි.

හරක් කටා සහ කුඩු සලිඳු එලෙස මුදා ගැනීමේ එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ සියලු සැලසුම් ඩුබායි සිට මෙහෙයවා ඇත්තේ හරක් කටාගේ මස්සිනා ලෙස සැලැකෙන ‘මිදිගම රුවන්‘ හෙවත් ජයසේකර විතානගේ රුවන් චාමර බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය විය. 31 හැවිරිදි මිදිගම රුවන් මාතර, වැලිගම ඇතුළු දකුණු පළාතේ මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකටම සම්බන්ධ අයෙකි.

ඉකුත් මාර්තු මාසයේදී මිදිගම රුවන් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එරට හෝටලයකදී සිදුකළ කිසියම් වරදක් නිසාවෙනි. එසේම මිදිගම රුවන්ට එරෙහිව මෙරට පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කර තිබුණේ ඔහු මෙරටදී සිදුකළ අපරාධ රැසක් හේතුවෙනි.

එම රතු නිවේදනය හේතුවෙන් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මිදිගම රුවන් මෙරට පොලිසියට බාර දීමට ඩුබායි රජය තීන්දු කළේය. ඒ සමඟම රුවන් මෙරටට රැගෙන ඒම සඳහා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඉකුත් මැයි මස 29 වැනිදා මෙරටින් පිටව ගියේය. එම විමර්ශන කණ්ඩායම විසින් මිදිගම රුවන් ඉකුත් මැයි 31 වැනිදා පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රැගෙන එන ලදි.

හරක් කටා සහ කුඩු සලිඳු රඳවා සිටි කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන් දෙදෙනා ඉතා සංවිධානාත්මකව මුදාගැනීමට තැත් කළ එම කුමන්ත්‍රණය පිළිබඳව විමර්ශන මේ වන විට සිදු කරන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් විසිනි. කරුණු කාරණා එසේ හෙයින් එම ‘මෙහෙයුමේ‘ ප්‍රධාන සැලැසුම්කරු ලෙස විමර්ශන නිලධාරින් විසින් හෙළිකරගෙන තිබුණේ මිදිගම රුවන් මීට සම්බන්ධ ප්‍රධානියා බවය. එතෙක් අත්අඩංගුවට ගත් පිරිසගෙන් මිදිගම රුවන් ගැන එලෙස අනාවරණය වී තිබිණි. ඒ සමඟම ඩුබායි ගොස් මිදිගම රුවන් රැගෙන ආ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධරයෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මිදිගම රුවන් එහි රඳවාගෙන හරක් කටා සහ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (සීඅයිඩීයෙන්) මුදා ගැනීමේ සැලැසුම පිළිබඳව මේ වන විට දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

හරක් කටා සහ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමේ ‘කුමන්ත්‍රණය‘ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම පොලිස් කොස්තාපල්වරයකුද සම්බන්ධ කරගෙන ඇත්තේ මිදිගම රුවන් විසින් බවට අනාවරණය වේ. මේ වන විට එම පොලිස් නිලධාරියා විදේශයකට පලා ගොස් සිටින බවට ද සැලවේ.

ඊට අමතරව මිදිගම රුවන් ඩුබායි සිට අන්තර්ජාතික ත්‍රස්තවාදී කල්ලි සමඟ එක්ව කටයුතු කළේද එසේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ එක්ව කටයුතු කරමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කළේද යන්න ත්‍රස්ත විමර්ශන කොට්ඨාස විමර්ශන නිලධාරින් මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටී.

එසේම විමර්ශන නිලධාරින් විසින් මිදිගම රුවන් පසුගිය කාලයේ මෙරට තුළ සිදුකර ඇති අපරාධ රැසකම තොරතුරු ද මේ වන විට අනාවරණය කරගෙන හමාරය.

එම අපරාධ අතර 2022 වසරේ අගෝස්තු 4 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩු කටයුත්තකදී සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි දෙමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමක් සිදු විය. අනූ නවයෙන් බේරුණු එම පුද්ගලයාට වෙඩි තැබූ වෙඩික්කරු එම වෙඩි තැබීම සිදුකර අධිකරණ භූමියෙන් පලා යන ආකාරය ඒ අවට සීසීටීවී කැමරාවන්හිද මනා ලෙස සටහන් වී තිබිණි.

එම නඩු විභාගයේදී සාක්ෂි දුන් සාක්ෂිකරු වැලිගම පදිංචිකරුවෙකි. ඔහුට වෙඩි තැබීම සඳහා සැලැසුම් කළේ විදෙස් රටක සිටින මිදිගම රුවන් බව විමර්ශන නිලධාරින් අනාවරණය කරගෙන තිබූ අතර අධිකරණ භූමිය තුළ සිදුවූ එම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන රුවන්ට එරෙහිව රතු නිවේදනයක් ද ලබා ගැනීමට ද පොලිසිය කටයුතුකර තිබිණි.

මේ වන විට මිදිගම රුවන් සම්බන්ධ මත්ද්‍රව්‍ය සහ අපරාධ ක්‍රියා කීපයකම තොරතුරු පොලිසිය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එම අපරාධ අතර 2020 ජනවාරි 17 වැනි දින හෙරොයින් මිලිග්‍රෑම් 3500ක් සමඟ තියුණු ආයුධ ළඟ තබා ගැනීම, 2020 මාර්තු 8 දා වැලිගම පොලිස් වසමේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, එසේම දික්වැල්ල පොලිස් වසමේ බෝරකන්ද හන්දිය අසලදී 2023 වසරේ අගෝස්තු 15 වැනිදා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනයට ආධාර අනුබල දීම යන අපරාධ මුලින්ම සටහන් වන අතර වැලිගමදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම නිසා 2019 වසරේ අගෝස්තු 26 වැනිදා මිදිගම රුවන් පොලිස් අත්අඩංගුවට ගැනිණි.

තවද ඉකුත් වසරේ මාර්තු 29 දා වැලිගම චිංකිමන්කි හෝටලය හිමිකරු පසිඳු රුවන් ඝාතනය කිරීමට සැලැසුම් කිරීම ද මිදිගම රුවන්ගේ සැලැස්මක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මිදිගම රුවන්ට අවස්ථා කීපයකදීම අධිකරණය මඟින් දඬුවම් ද ලබා දී තිබිණි. ඒ අතර ගංජා මිලිග්‍රෑම් 4000ක් සමඟ 2019 වසරේ ඔක්තෝබර් 3 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මිදිගම රුවන්ට රුපියල් 4000ක දඩයක් නියම කර තිබිණි. ගංජා ග්‍රෑම් 600ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු අධිකරණය මඟින් 2020 වසරේ සැප්තැම්බර් 03 දා රුපියල් 5000ක දඩයක් ද නියම කර තිබිණි.

2020 නොවැම්බර් 17 වැනිදා හෙරොයින් මිලිග්‍රෑම් 3500ක් සමඟ අත්අඩංගුවට පත්වීමෙන් පසු 2021 වසරේ අප්‍රේල් 8 දා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් 5000ක දඩයක් නියම කර තිබුණේ 2021 වසරේ අප්‍රේල් 8 දාය.

එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම පාතාල ක්‍රියාවන්ට සම්බන්ධ මිදිගම රුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සිදුකරන විමර්ශන ඔස්සේ මිදිගම රුවන්ගේ සම්බන්ධය ඇති අපරාධ ක්‍රියා තවත් කොතෙක් තිබේ ද යන්න මෙන්ම එම අපරාධවල සුලමුලද නුදුරේදීම අනාවරණය කරගැනීමට හැකි වෙතැයි විමර්ශන සිදු කරන නිලධාරියෙක් පැවැසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ විදෙස්ගතව සිටින මෙවැනි සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල අපරාධකාරයන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 165ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවය.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකාරයන් 47 දෙනෙක් සම්බන්ධව ද රතු නිවේදන නිකුත් කර ඇති බවත් අවශ්‍ය තවත් අය හඳුනා ගනිමින් රතු නිවේදන නිකුත් කිරීමට කඩිනමින්ව කටයුතු කරන බවය.

ඡායාරූප – කටුනායක ටී.කේ.ජී. කපිල

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division