Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
June 1, 2024 12:40 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට පුරා පාසල්වලට යමින් දේශපාලන රැස්වීමක් පවත්වා රුපියල් මිලියනයක පමණ පරිත්‍යාගයකින් සුහුරු පන්ති කාමර හදා දීමේ සක්වල ව්‍යාපෘතිය වශයෙන් නම් කර ඇති ක්‍රියාවලිය මේ සතියේ කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහයට පදනම වේ.

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පුළුල් දැක්මක් ඇති බව එතුමා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පවත්වනු ලබන දේශන කතාබහ යනාදිය තුළින් නොවැටහේ. වරක් පාර්ලිමේන්තුවේදී පරිණත දේශපාලනඥයකු වන ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුව තුළ නැඟී සිට සජිත් ප්‍රේමදාසයන්ගේ මෙරටදී අපොස සාමාන්‍ය පෙළ සමත්වීමේ සහතිකය පෙන්වන ලෙසට අභියෝගයක් කළ බවට මතකයක්ද අප සතුය. ඒ කෙසේ වන්නේ වී නමුත් සුහුරු පන්ති කාමර පිළිබඳ හා පරිගණක අධ්‍යාපනය පිළිබඳ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක් සිසු ගුරු දෙපිරිසටම මෙන්ම අධ්‍යාපනඥයන්ටද වැදගත් වේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ දිගින් දිගටම අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විය.

එහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය අපොස සාමාන්‍ය පෙළ විභාගය අපොස උසස් පෙළ විභාගය යන විභාගත්‍රය දරුවන්ගේ ජීවිත තීරණය කිරීමෙහිලා විශාල බලපෑමක් ඇති කළේය.

මෙම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ තාරුණ්‍යයට පිවිසුණු දරුවන්ට අපොස උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලැබීම සඳහා පැවතියේ ප්‍රධාන විෂයය ධාරා 3කි.

1. විද්‍යා

2. වාණිජ

3. කලා

මෙයින් විද්‍යා හා වාණිජ විෂය ධාරාවන් ජීවනෝපාය මාර්ග සඳහා පුහුණු ශ්‍රමය නිර්මාණය කර ගැනීමට බෙහෙවින් වැදගත් වුව ද කලා විෂය ධාරාව තුළ ඉගෙන ගත් දරුවන්ට ජීවිත අභියෝගවලට මුහුණදීම, විශේෂයෙන් රැකියාවක් සොයා ගැනීම දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් විය. කලා අංශයෙන් බෞද්ධ සංස්කෘතිය, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, නැටුම් සංගීතය යනාදී විෂයයන් හැදෑරීම වැඩි වශයෙන් කෙරෙන විට කලා අංශයෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වී උපාධි ලබන බොහෝ පිරිසක් විරැකියාවෙන් පෙළෙන්නෝ වූහ. නමුත් කලා අංශය සඳහා කිසිදු ගුරු හිඟයක් නොපැවැති හෙයින්, විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල දරුවන් වැඩි වැඩියෙන් කලා අංශයට නැඹුරු විය. එහි ප්‍රතිඵලය වූයේ අපොස උසස් පෙළ හා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් කලා අංශයෙන් අධ්‍යාපනය ලැබීමය. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය කෙටියෙන් හඳුන්වනු ලැබුවේ ‘විභාග සමත් – ජීවිතය අසමත්‘ වන අධ්‍යාපනයක් ලෙසනි. එම නිගමනයට හේතු වූයේ රට තුළ තිබෙන රස්සාවලට අවශ්‍ය උගතුන් බිහි නොවීමය.

උපාධිධාරීව සිටින කලා විෂය ධාරා උගතුන්ට අවශ්‍ය රස්සා නොවීය. කලා විෂය ධාරාවේ සිටින උගතුන්ට රස්සා නැත්නම්, තිබෙන රස්සාවලට අවශ්‍ය උගතුන් බිහි නොවේ නම් එය ආර්ථික විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ සේවා වියුක්තියේ ව්‍යුහමය අසමතුලිතතාව යනුවෙනි. ශ්‍රී ලංකාවේ සේවා වියුක්තික ප්‍රශ්නය මෙකී ව්‍යුහාත්මක අසමතුලිතතාවය නැති කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන යුගයේදී නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසින් තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව වැනි විෂයන්ට ඉහළම බර තැබීමක් සිදු කෙරිණි.

ඒ අනුව දිවයින පුරා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් සහ මහින්දෝදය තාක්ෂණ පීඨ 252ක් බිහි වූ අතර ඒ සඳහා දේශීය හා විදේශීය ණය ආධාර වශයෙන් රුපියල් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක ධනස්කන්ධයක් ආයෝජනය කරනු ලැබීය. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය නමැති දෙමහල් ගොඩනැඟිල්ලේ පන්ති කාමර 4ක් විය.

1. පරිගණක 40කින් සමන්විත

පරිගණක විද්‍යාගාරය.

2. පරිගණක 20කින් සමන්විත

විදේශ භාෂාගාරය.

3. පරිගණකයකින් සමන්විත ගණිතාගාරය.

4. පරිගණකයකින් සමන්විත දුරස්ථ අධ්‍යාපන ඒකකය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා එක් පාසලකට පරිගණක 62ක් වන බැගින් මහින්දෝදය විද්‍යාගාර දහසක් මීට අවුරුදු ගණනාවකට පෙර බිහි වී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විපක්ෂ නායකතුමාට පැහැදිලි අවබෝධයක් ලබා නොදීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සැලසුම්කරුවන්ගෙන් සිදුවූ බරපතළ වරදකි.

මේ සුහුරු පන්ති කාමර 4 ව්‍යාපෘතිය සජිත් ප්‍රේමදාස මහතා දැන සිටියා නම් රුපියල් මිලියනයක සුහුරු පන්ති කාමරයක් ලබාදී එය මහා ජාතික ප්‍රාතිහාර්යයක් ලෙස සලකා රට පුරා යමින් රැස්වීම් පවත්වන්නේ නැත. මක්නිසාද යත් එතුමාගේ සුහුරු පන්ති කාමර පිළිබඳ එතුමාටම ලැජ්ජාවක් ඇතිවිය හැකි බැවිනි.

නිසි තොරතුරු තාක්ෂණය, විදේශ භාෂා, ගණිතාගාර, ඩිජිටල් තාක්ෂණ උපකරණ සහිත මහින්දෝදය විද්‍යාගාර මෙන් වූ එවන් විද්‍යාගාර 10ක් වත් විපක්ෂ නායකතුමා පරිත්‍යාග කළේ නම් එය අනෙකුත් දේශපාලනඥයන්ට ද ආදර්ශයක් වීමට තිබුණි.

නමුත් මෙකී සුහුරු පන්ති කාමර පිළිබඳ ජනමාධ්‍යයෙන් ලබා දෙන විශාල ප්‍රචාරණය නිසා මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු තම තමන්ගේ පළාත්වල පාසල්වලට මෙවැනි පන්ති කාමර සිය ගණනක් ලබා දීමට මුදල් වෙන්කොට ඇතැයි කෞටිල්‍යයට වාර්තා වී ඇත. නමුත් ඔවුන් සියලු දෙනා එකතු වී සුහුරු පන්ති කාමර දස දහසක් නිර්මාණය කළත් ලෝකයේ දියුණු තාක්ෂණය සමඟ ඉදිරියට ඇදෙන නවීන ඩිජිටල් අධ්‍යාපනයට එය ප්‍රමාණවත් නොවේ. ඒ නිසා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් චීන රජයේ විශාල ණය ආධාරයක් යටතේ හෙට දවසේ ලොවට සරිලන ඩිජිටල් තාක්ෂණ නවීන දියුණු පරිගණක හා තාක්ෂණික උපකරණ සහිත පාසල් දහසක් මේ වර්ෂය තුළදී නිම කිරීමට සැලසුම් කොට ඇතැයි වාර්තා වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division