Home » බංකොලොත් ව්‍යාපාර ගොඩගන්න 7% පොලියට ණය මේ සතියේ සිට

බංකොලොත් ව්‍යාපාර ගොඩගන්න 7% පොලියට ණය මේ සතියේ සිට

අසාධු ලේඛනගතවූවන්ටත් ණය

by Mahesh Lakehouse
June 1, 2024 12:40 am 0 comment
තාරක වික්‍රමසේකර

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතූන් මත කර්මාන්ත හා ව්‍යාපාර පවත්වා ගැනීමට නොහැකි වූ හා ව්‍යාපාර හා කර්මාන්ත බංකොලොත් වූ අයට 7% සහන පොලියට ණය ලබාදීම මේ සතියේ සිට ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය එක්ව සිදු කරනු ලබන මේ ණය යෝජනා ක්‍රමය ‘රී එනජයිස්‘ (RE ENERGISE) යනුවෙන් නම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මේ ණය යෝජනා ක්‍රමය නිසා බිඳ වැටුණු හෝ අඩපණ වී ඇති හෝ පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයේ ඇති සුළු හා මධ්‍යම පරිමාණයේ ඕනෑම කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වෙනුවෙන් එම ණය ලබාගෙන තම ව්‍යාපාරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඔවුන්ට දිරිය ලබා දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙහි විශේෂත්වය වන්නේ අසාදු ලේඛන ගත වුවන්ට (crib) මෙම ණය යෝජනා ක්‍රමය පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබීමයි. වසර 5කින් ගෙවා නිම කළ හැකි වන පරිදි රුපියල් ලක්ෂ 50ක් දක්වා රී එනජයිසින් යෝජනා ක්‍රමය හරහා ණය ලබා ගත හැකිවේ. ඒ සඳහා වසර 5ක ගෙවීම් කාලයක් ලබා දෙන අතර මාස 6ක සහන කාලයක්ද ලබා දෙනු ඇත.

ණය ලබා දීමේදී රුපියල් ලක්ෂ 2ක් දක්වා පුද්ගල ඇප මත ණය නිදහස් කෙරෙන අතර ඊට වැඩි ණය මුදල් සඳහා දේපල ඇප ඉදිරිපත් කළ යුතු වේ.

රී එනජවිසින් ණය යෝජනා ක්‍රමය පිළිබඳව අවසන් කටයුතු පසුගිය බදදා නිම කෙරුණු අතර ඒ අනුව රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු 10ක් හරහා මේ ණය ලබා දීම සිදු කෙරෙනු ඇත.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, කොමර්ෂල් බැංකුව, කාගිල්ස් බැංකුව, සණස සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා මේ ණය මුදල් ඉල්ලුම් කළ හැකිය.

මෙම ණය යෝජනා ක්‍රමයේම තවත් අංශයක් ලෙස ආයෝජන කටයුතු සඳහාද රුපියල් ලක්ෂ 150ක් දක්වා ණය ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහාද පොලිය 7%ක් වන අතර ගෙවීම් කාලය වසර 10කි. එමෙන්ම වසරක සහන කාලයක්ද හිමිවනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division