Home » සැබෑ ගුරුවරු හඳුනා ගත්තෙමු

සැබෑ ගුරුවරු හඳුනා ගත්තෙමු

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

චීනයේ සිෂුආන් අධ්‍යාපන ආයතනයේ අවසාන විභාගය අතරේ, පුද්ගලයන් හත් දෙනකුගේ ඡායාරූප සිසුන් අතරට බෙදා දෙනු ලැබීය. ඡායාරූප අතරින් සිය ගුරුවරයා හඳුනා ගෙන, අදාළ ඡායාරූපය යටින් නම සඳහන් කරන මෙන් සිසුන්ට දැනුම් දී තිබුණි. ‘හරි උත්තරය’ දුන් සිසුන්ට අමතර ලකුණු ලබා නොදුන්න ද, උත්තරය වැරදි නම්, සිසුන්ගේ ලකුණු 41 ක් අඩු කෙරිණි.

මෙහෙම විභාගයක් මැයි 30 සහ 31 දා අපේ රටේ යෙදී තිබිණි. එදින අපි ගුරුවරයා කවුදැයි හඳුනා ගත්තෙමු. මේ දිනවල සිසුන්ගේ වාර විභාග පැවැත්වෙන හෝ ඒ සඳහා අදාළ උත්තර පත්‍ර පරීක්ෂා කර බලන සමයය. මේ අතරේ පාසල් ඉදිරිපිට පෝස්ටරයක් අලවා තිබුණේ, ඉදිරි දින දෙකේ පාසල් නොපැවැත්වෙන බව ය. ඊට හේතුව ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා වර්ජන ක්‍රියාදාමයක් දියත් කිරීමය.

චිරාත් කාලයක් මේ රටේ ජනී ජනයා සිතා සිටියේ ගුරුවරුන් වර්ජන කළ නොහැකි කාණ්ඩයක් ලෙසය. එය වෘත්තීය අයිතිවාසිකම් සීමා කිරීම පිළිබදව වූ කතාවක් නොවේ. වෘත්තියක් ඉක්මවා බහුමානයට පාත්‍ර වූ රැකියාවක කතාවය. ගුරුවරයා සිය ජවනිකාව සඳහා පණ පොවන්නේ ශිල්ප ලබාදෙන අවස්ථාවේ පමණක් නොවේ. ගුරු ජිවිතයම ‘සාධු’ චර්යාවකි. ආදර්ශය මත්තෙම සිය ජීවිතය පවත්වා ගෙන යා යුතු හෙයින් ගුරුවරු යනු අපමණ කැපකිරීම් සිදු කරන ලද චරිත ගොනුවක් විය.

මේ සියල්ල බිමට ඇද දමන ලද්දේ දේශපාලනීකරණය වූ ගුරු චරිත විසිනි. තමන් කරන්නේ රැකියාවක් බව සිහියට නඟා ගත් සැණින්, ගුරුවරයා යනු බාල පුරුෂයෙක් බවට පත්වන්නේය. එය දේශපාලනයෙන් වරනඟා ගත් කල අඳ බාල තත්ත්වයකට හෙතෙම පියනඟන්නේය. ඇන්. ටී. කරුණාතිලක විසින් ලියන ලද ‘ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි’ යන නාමය මේ දෙක කැටි වූ තැන, කොඳු කඩාගෙන බිමට වැටෙන්නේය.

අද මෙහි නිමිත්ත එවැන්නන්ට දෝෂාරෝපණය කිරීම නොව සිය උත්තම පුරුෂ ජවනිකාව රැකගත් ගුරු සනුහරය වෙත උපහාර පිදීමකි. දේශපාලනයේ යෙදෙනු විනා, ගන්නා වැටුපට වැඩක් නොකරන, වෘත්තිය සමිති ගුරාලා කිහිප දෙනෙක් මේ රටේ ඇත්තේය. ඔවුන් කල් යල් බලා, සිය පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව වැඩ වර්ජන සිදු කරන්නේය. එහෙම කිහිප දෙනෙක් දින කිහිපයකට ඉහත සිට ‘පාසල් එන්න එපා’ යැයි දරුවන්ට කියා සිටියහ. තමන්ගේ වර්ජනයක් වෙනුවෙන් පාසල් පද්ධතියේ දින ගණනාවක් ගිල ගැනීම ඔවුනගේ අභිප්‍රාය විය. ඒ බලාපොරොත්තු බිඳවට්ටමින්, මේ දින දෙකේ පාසල් සඳහා පැමිණි ගුරුභවතුන් සියලු දෙනා වෙත අප හිස නමන්නේය. වර්ජනය එහෙම් පිටින්ම බිම දමා, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වර්ජනය සෝදා හළ ඒ ගුරුවරු, මේ සමාජය සඳහා පෙන්වන ලද යහ මඟ සහ කැපකිරීම ගරු ගාම්භීරය.

තවත් අතකින් අනධ්‍යයන සේවක වර්ජනයය. උසස් පෙළ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. ශිල්ප රජයන දින එතැයි සිතා, විභාගයට ලියූ දරු කැල, එහි ප්‍රතිඵල ලබා, සරසවි ප්‍රවේශය හිමි කර ගැනීමේ අදිටනින් සිටින්නේ වුව ද, ඒ සදහා මාර්ගය වසා ගෙන අනධ්‍යයන සේවක වැටුප් අවශ්‍යතාව පැන නැඟී ඇත්තේය.

මේ වනාහි මේ රටේ අනාගත පරපුර පසු බැස්සවීමේ පාප කර්මය සඳහා උරදීමකි. ගුරු වර්ජනය හෝ අනධ්‍යයන වැඩ වැරුම, වෘත්තීය සමිති අයිතිවාසිකම් සොයා යෑමක් නොවේ. එය සපුරාම දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව පෙළගසන ලද්දක් බව පැහැදිලිය. වෙනදා මෙවන් කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා සමාජ සහය මඳක් හෝ ලැබෙන්නේය. දැන් ජනතාව මෙවන් ‘ආපදා’ කල්තියා හඳුනා ගැනීමේ සවිඥානිකභාවයෙන් සන්නද්ධය.

විදුලිය නොමැතිව පැය ගණන් කළුවරේ සිටි රටක්, ඉන්ධන පෝලිමේ දින ගණන් රස්තියාදු ගැසූ රටක්, ෆුඩ් සිටියෙන් පොඩි දර මිටි රැගෙන ගෙයි මැද්දේ බතක් සහ මාළුවක් උයා පිහාගෙන වේල පිරිමසා ගත් රටක්, දැන් ඒ කඩඉම පසු කර බොහෝ දුර ඇවිත් තිබේ. ඍණ ආර්ථික වර්ධන වේගය වෙනුවට ධන ආර්ථික වර්ධනයක් අප පළමුවරට වසර ගණනකට පසු අත්දකින්නේ මේ වසරේය. ඒ මැද්දේ, මෙහෙම බුරා පැනීම් ජනයා රුස්සන්නේ නැත.

මේ අවස්ථාව ලබා දුන්නේ ගුරුවරයා කවුදැයි හඳුනා ගැනීම සදහාය. ගුරු වර්ජනය වැනි අංගයක් ශිෂ්ට සම්පන්න සමාජයකට ඔබින්නේ නැත. තමන්ට ගැළපෙන වෘත්තිය මට්ටමක් එහි නොමැත්තේ නම් නික්ම යා හැකිය. අසෝබමාන ලෙස එහි වර්ජන මෙහෙයවීම යනු ‘ගුරු සතුරා කවුදැයි’ රටට කියා පෑමකි. මේ දේශයේ අනාගතය පැහැබර අතට හැරෙමින් පවතින මොහොතේ වර්ජන රැලි ගෙන එන්නේ ‘යන අත ආපස්සට හරවනු පිණිසය’.

ලබන වසරේ අය-වැයට පෙර සියලු වැටුප් විෂමතා ගැටලු සඳහා සාධනීය විසඳුමක් ලබාදෙනු වස් රජය දැනටමත් පියවර ගෙන අවසන්ය. ආදී කාලයේ සිට ආ එවන් සියලු ගැටලු තව මාස කිහිපයක් ඇතුළත, වැටුප් විෂමතා කමිටුව විසින් විසඳා, ලබන අය-වැය සඳහා එයට විසඳුම් ද ඇතුළත් කරනු ඇත්තේය. ණය බරින් පීඩිතව, බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක, එවන් අභියෝග සඳහා මුහුණ දෙන ශක්තිමත් යන්ත්‍රණයක් නිමවා තිබියදී, තවම සමහරු බහින්නේ පාරටය. ඇපයට ගන්නේ ජාතියේ අනාගතයය.

එය අසාර්ථක ප්‍රයත්නයක් බවට පත් කළ මේ රටේ අනාගතයට ආදරය කරන ගුරු පරපුරට යළි යළිත් අපේ ප්‍රණාමය හිමිය. දැන් ඇත්තේ විරෝධතා කාලයක් නොවේ, එක්ව නැඟී සිටීම උදෙසා, එක මේසයේ සිට විසඳුම් සොයා ගත යුතු කාලයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division