ගිය වසරේ දෙසැම්බර් මාසයේ පළ වූ ‘ටයිම්ස්’ සගරාව, 2024 වසර පිළිබඳව පුරෝකථනයක් සිදු කළේය. ඒ අනුව මේ වසරේ ලෝකයෙන් භාගයක්ම, ඡන්දය පාවිච්චි කරන්නේය. යුරෝපා සංගමයේ වාර්තා ද ගත් කල ලෝකයේ රටවල් හැට පහක, මේ වසරේ මැතිවරණ පැවැත්වෙන්නේය.
රජවරුන්ගේ පාලන ක්‍රම දෙදරුම් කාගෙන උපන් ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය වූයේ පුරවැසියා ‘රජවරු’ කිරීමටය. ‘පාලන බලය’ පුරවැසියා සතු හෙයින්, එය යම් කාලයකට සිය නියෝජිතයා සඳහා ලබාදෙන ක්‍රමවේදයක් ලෙස මැතිවරණ උපදින්නේය. ඡන්දය පිළිබඳව අප අත්දැකීම් ලබන්නේ 1931 වසරේ සිටය. එදා සිට සර්වජන ඡන්ද බලය අත්දුටු අප, හැම විටම ආණ්ඩු බලය හුවමාරු කරගත්තේ මැතිවරණ ක්‍රියාදාමය මතය.
මේ රටේ මිනිස්සු ඡන්දයේ ආනන්දය දන්නේය. විප්ලව සහ කැරලි වැනි ආකෘති ඔස්සේ මේ රටේ බල හුවමාරුව සිදු නොවුණේ ‘ඡන්දයේ ආනන්දය’ නිසාය. ආසියානු දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය ‘රහට අත්විඳි’ ජාතියක් ලෙස අප කිසිදා, මේ රටේ විරුද්ධ පක්ෂ නායකයා සිරගතකර නැත්තේය. මැතිවරණ සටනින් පරාජය වූ ආණ්ඩුවක්, බලෙන් පාලන බලය අල්ලා ගෙන සිටියේ නැත. මෘදු ලෙස දේශපාලන බල හුවමාරුව හැමවිටම සිද්ධ විය.
විවිධ මත සඳහා වාද විවාද කර ගත්තේ වුව ද, සියලු පක්ෂ නායකයෝ එක මේසයේ තේ බොන තත්ත්වයක සිටියහ. බරපතළ ගැටලු සඳහා එකිනෙකා හමුවන සුහදතාව ‘අත්නොහැර’ පවත්වා ගෙන ගියහ. මේ වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයන්ය.
එහෙව් දේශපාලන සුහදතා ද ගැරහීමට ලක් කළ කාලයක් මේ රටේ තිබුණි. ‘ඒගොල්ලෝ යාළුවෝ මල්ලී’ කියා රන්ජන් හාස්‍යජනක ලෙස පැවසුවත් පක්ෂ නායකයන්, රාජ්‍ය නායකයා සහ විපක්ෂ නායක අතර සුහදත්වය, එක මේසයේ සිට සාකච්ඡා කිරීමේ හැකියාව යනාදිය ගැරහුම් ලැබිය යුතු විෂයයන් නොව, පවත්වා ගෙන යෑම අනිවාර්ය කරගත යුතු කාරණාය. ඒ ආකාරයට රටේ නායකයන් එකට කතා කරගෙන, පාලන තන්ත්‍රය ගෙන යෑම ගර්හාවට ලක් කරන ලද්දේ ‘ජවිපෙ’ය. මේ කතාබහ දේශපාලන ‘ඩීල්’ යන නාමකරණය යටතේ ගර්හාවට ලක් කර, සිය ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට, ජවිපෙ වලි කෑවේය. සංවාදය ඩීල් බවට පත් කරන්නේ ඒ වෙනුවෙනි. එවන් දුර්දාන්ත තත්ත්වයක් දේශපාලන සම්ප්‍රදාය සඳහා ළඟාකර දීමට උත්සාහ කිරීම වීර ක්‍රියාවක් නොවේ.
හැත්තෑ පහ වසරේ පැවැත්විය යුතු මහ මැතිවරණය 1977 වසරේ පැවැත්වීම සහ මහ මැතිවරණය වෙනුවට 1982 ජනමත විචාරණය පැවැත්වීම යන අවස්ථා දෙක හැරුණු කළ මේ රටේ මැතිවරණ ක්‍රියාදාමය හැම ආණ්ඩුවක්ම අඛණ්ඩව පවත්වා ගෙන ගියේය. දැන් යළිත් මැතිවරණයක් පිළිබඳව කතිකාවත ඇතිව තිබේ. මේ වසරට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයකි. මැතිවරණ කොමිසම ඒ සඳහා කාල වකවානු ද නිවේදනය කර හමාරය. විසර්ජන පනතෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන්ය. එසේ වුව ද සමහරු මහ මැතිවරණයක් ගැන කතා කරන්නේය. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී එකඟතාවකින් සහ ජනාධිපතිවරයා වෙත ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් මහ මැතිවරණයක් පවත්වන්නට වන්නේය. ඒවා අවුලක් නැත. එසේ වෙද්දී මහ මැතිවරණයක් අවුලවන්නට සමහරු සැරසෙන්නේය.
මේ ළඟකදී එහෙම කතාවක් පතුරවා හැරිය විට, කොටස් වෙළඳපොළ අවධමනය වූයේ ලෙස්සන ගහෙන් බසින්නා සේය. හදිස්සි මැතිවරණ භීතිකාව එන්නේ කුමකටදැයි මේ අනුව අපට තේරුම්ගත හැකිය. කොටස් වෙළඳපොළ සමස්ත අගය අවමයකට පත් කර, තමන්ට කොටස් මිලදී ගැනීම සඳහා මෙවැනි හදිස්සි මහ මැතිවරණ කතා පතුරුවා හරින බව නොසිතා සිටිය නොහැකිය.
රටේ දේශපාලනය සමඟ සිදු කරන සෙල්ලමට වඩා මැතිවරණය නම් උත්තරීතර අයිතිය සමඟ, ඔට්ටු සෙල්ලම් කිරීමට දීම භයානකය. දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයක් ඉල්ලා සිටීම ප්‍රශ්නයක් නැත. එය ඔවුනගේ දේශපාලන අයිතියකි. රටේ ආර්ථිකය ද අනතුරේ හෙළා පතුරන‘කට කතා’ එක් එක් අයගේ බිස්නස් කොන්ත්‍රාත් විය හැකි හෙයින් ඒවා පිළිබඳව මීට වඩා ආණ්ඩුවක් ලෙස සැලකිලි දැක්වීම වටිනේය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, මෙවන් පතුරන්නන් කෙරෙහි නෛතික පියවර ගතයුතුය. මක් නිසාද යත් මේ පුරවැසි බලය හෝ ඒ හඬ නොවේ.
ජනාධිපතිවරයා මේ සතියේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ, මේ වසරේ නියත ලෙස ජනාධිපතිවරණය පවත්වන බවය. ඒ සඳහා මුදල් ද වෙන් කර ඇති බවය. එහෙම කියනා විට පවා, මේ රටේ සමහර ජනයා ‘අහක යන’ කතා අසනු රිසිය. එහෙම ගිහින් වළක වැටුණු කල, ආණ්ඩුව පලිය.
මේ රට ඡන්ද යනු සෙල්ලමට ගත් රටක් නොවේ. එහි ආනන්දයක් ජනයා අත් විඳින බව ඇත්තය. එය රසබර මෙන්ම බරපතළය. ආසියාවේ පැරණිම සහ අනගිතම ප්‍රජාතන්ත්‍රවාදය, බිස්නස් සඳහා භාවිත කිරීමට දිය නොහැකිය. එසේ වුවොත් වැළලී යන්නේ ජනතා පරමාධිපත්‍යය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වෙනි ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ‘පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය’ කියාය. අප වෙත පිහිටා ඇති එම පරමාධිපත්‍ය, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය මඟින් නිරූපණය වන බව තුන්වැනි ව්‍යවස්ථාවේ සඳහන්ය. ළඟ එන ජනාධිපතිවරයණය අපේ ඒ පරමාධිපත්‍ය බලයේ සංකේතයකි. එම බලය රට ගැන සිතා බුද්ධිමත්ව නිවැරිදි ලෙස යෙදවීම ජනතාවගේ වගකීමය.