Home » අලුත් පක්ෂයක් ගැන මහින්දයි-දයාසිරියි කතාබහක

අලුත් පක්ෂයක් ගැන මහින්දයි-දයාසිරියි කතාබහක

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය මේ වන විට පැති කිහිපයකට ගමන් කරමින් පවතින අතර පාර්ශ්ව දෙකම අධිකරණය හමුවීමට ගොස් වාරණ ලබා ගනිමින් සිටියි.

ආරක්ෂක අංශ දැනුම්වත් නොකොට ජනපති ගිය ගමන

ජනපති රනිල් ඉකුත් සති අන්තයේ සිය ආරක්ෂක අංශ දැනුම්වත් නොකොට හදිසියේම කොළඹ ප්‍රසිද්ධ හෝටලයකට ගියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමටය. එම මංගල්‍යයට ජනපති සහභාගී වන බව දැන සිටියේ ව්‍යාපාරිකයාත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පමණකි.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍යගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයට ගිය රනිල් එය නිමවා එද්දී ආරක්ෂක අංශයන්ට කීවේ තමන්ට තවත් මංගල උත්සවයකට යාමට තිබෙන බවකි. එයින් ආරක්ෂක අංශ කලබලයට පත්වුවද ඒ වන විටත් රථ පෙළ අදාළ හෝටලය ආසන්නයේ වීම නිසා ළඟම සිටින ආරක්ෂකයන් සමඟ ජනපති රනිල් විවාහ උත්සවයට ගියේ ඊට පැමිණ සිටි අයද පුදුමයට පත් කරමිනි.

මගුල් ගෙදරකදී ජනපතිට අත්පොළසන්

ව්‍යාපාරික ෂම්මි මුතුමාල ජනපතිව උත්සව ශාලාව වෙත කැඳවාගෙන යද්දී අතරමඟ නතරවූ ජනපති එහි සිටි අයට පැවැසූයේ “මම මෙතනට එන බව කලින් කියලා තිබුණා නම් අපේ ආරක්ෂක අංශයෙන් මෙතනට ඇවිල්ලා ඔයාලව පරීක්ෂා කරනවා. නොකියා ආවම කිසි ප්‍රශ්නයක් නෑනේ.” කියද්දී සැවොම අත්පොළසන් දුන්හ.

ජනපතිට අසුන් ගන්න මේසයක් වෙන් කර තිබූ අතර ඔහු එහි සිටිනු දැක උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ද එහි පැමිණ අසුන් ගත්තේය. මෙලෙස පිළිවෙළින් මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පී හැරිසන් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ෂම්මි මුතුමාල ද එහි අසුන් ගත්තෝය.

මෙරට උපාධිය ගැන රනිල් හෙළි කළ රහස

විදෙස් විශ්වවිද්‍යාල ගැන හා ඒවායේ උපාධි ගැන කතා බහක් ඇදී ගියේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා ඒ ගැන කතාවක් ඇදගත් අවස්ථාවේදීය. “මටත් උසස් අධ්‍යාපනය කරන්න විදෙස් විශ්වවිද්‍යාලවට යන්න යෝජනා ආවා. හැබැයි මම තීන්දු කළේ මෙරට විශ්වවිද්‍යාලකට නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට මම ඇතුළත් වුණා. ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියේ වටිනාකම එදා ඉඳලම මම දැනගෙන හිටියා.” ජනපති කිසිදා හෙළිනොකළ කතාවක් හෙළි කළේ එලෙසිනි.

“ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියට ලෝකයේ ඕනෑම රටක පිළිගැනීමක් තියෙනවා. ජනාධිපතිතුමා එදා ගත්තු තීරණයේ වාසිය අදටත් ලැබෙනවානේ.” දිනිත් චින්තක කියද්දී ජනපති ද හිස සැලුවේය.

ලංකාවේ විශ්වවිද්‍යාලයට ගිහින් උපාධි ලැබූ අය සේම ලංකාවේ ව්‍යාපාර කොට ඉහළට පැමිණි අයත් සිටින බව ජනපති කීවේ ෂම්මි මුතුමාල පෙන්වමිනි.

පොහොට්ටුවේ පොඩ්ඩෝ ජනපති හමුවෙති

ජනපති රනිල් ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් මුණ ගැසුණු අතර එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කාංචන ජයරත්න විසිනි. වසර පහක කාලයක් මන්ත්‍රීධුර අහිමිව සිටියද තවමත් ගමේ අය ඔවුනට මන්ත්‍රීවරු ලෙස සලකන බව පෙන්වා දුන් මේ පිරිස පක්ෂයක් ලෙස පොහොට්ටුව තීන්දුවක් ගත් පසු ජනපතිට සහාය දෙන බව ද ප්‍රකාශ කළහ.

අස්වැසුම හා කෘෂි නවීකරණ වැඩසටහන් ගම තුළ ක්‍රියාත්මක කරන්නැයි මෙහිදි ජනපති ඔවුන්ට දැනුම් දුන්නේය. එහිදි 2022 මැයි 09 දින ප්‍රහාරයෙන් විනාශ වූ දේපලවලට තවමත් වන්දි ලැබී නැතැයි මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. මේ ගැන සොයා බලන්නැයි ජනපති රනිල් පැවරුවේ එහි සිටි කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකටය. එසේම ජනපති රනිල් පැවැසුවේ සිංහල අවුරුද්ද සේම වෙසක් පොසොන් ද එක්වී හොඳින් සමරන ලෙසයි.

රනිල් – මහින්ද හමුවක්

පාර්ලිමේන්තුවේදී ජනපති රනිල් පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු 20ක් පමණ හමුවූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද ඒ අතර විය. මහාචාර්ය ආශු මාරසිංහ මුණ ගැසීමට පැමිණි දියණියක් ජනපති ඉදිරියේ ඉතා සංවේදී කතාවක් දිග හැරියේය. ඇය කීවේ පාසල් බෑගයේ බර ගැනය. එම නිසා යළිත් ටැබ් දෙන්නැයි කළ ඉල්ලීමට ජනපති එකඟතාවය පළ කළේ එය වැළැක්වූ අය ගැනත් සිහිපත් කරමිනි.

ක්‍රීඩකයෝ ජනපති හමුවෙති

එදින සවස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා රගර් කණ්ඩායම එක අවස්ථාවේදී මුණ ගැසීමට යොදා ගෙන තිබුණ ද රගර් කණ්ඩායම ප්‍රමාදවීම නිසා මුලින්ම විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට ඇමෙරිකාවට යාමට නියමිත ක්‍රිකට් කණ්ඩායම මුණ ගැසුණි. ජනපති ක්‍රීඩකයන්ට කීවේ ලංකාවේ කොඩිය ඉහළට ඔසවන්නට කටයුතු කරන ලෙසයි.

මෙහිදි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට මතුව තිබෙන වීසා ගැටලුව විසඳීමට මැදිහත් වූයේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකය. රග්බි කණ්ඩායම ඉන් පසුව පැමිණියේ ඔවුන් ජයග්‍රහණය කළ කුසලානය ද රැගෙනය. රගර් ක්‍රිඩාව කොළඹ හා මහනුවරට සීමා නොකර අනෙක් පළාත්වලට ද ව්‍යාප්ත කරන ලෙස ජනපති කී අතර ක්‍රීඩා ඇමැති හරීන් කීවේ පළමු පියවර ලෙස ගාල්ල, කුරුණෑගල හා කෑගල්ලේ එය ක්‍රියාත්මක කරන බවයි.

සබ්මැරීන ගැන ජනපති කීවේ මොනවාද?

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ජනපති රනිල් මුණ ගැසුණේ ඉන් අනතුරුවය. ඊට පෙර ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මුණ ගැසී කලාපයේ නාවුක කටයුතු ගැන ඔවුනොවුන් සාකච්ඡා කිරීමෙන් පසු ජනපති හමුවුණේය. ආර්ථිකයට අමතරව එහිදී ද කලාපයේ සාගර ආරක්ෂක කටයුතු ගැන කතාබහ කෙරිණි. මෙහිදි ජනපති රනිල් අනවසරයෙන් පැමිණෙන සබ්මැරීන් වැළැක්වීමේ හැකියාව ගැන ද කතා කර තිබුණි.

රංගේගෙන් ජනපතිට වාර්තාවක්

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව අඟහරුවාදා හා බදාදා යන දින දෙක තුළදීම ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර දැනට පත්කර සිටින කලාප සංවිධායකවරුන්ගේ හැකියාව හා නොහැකියාව ගැන ජනපති රනිල් විමසා සිටියේ කළමනාකරණ මණ්ඩලයෙනි. එහි වාර්තාවක් සංඛ්‍යාත්මකව මහ ලේකම් රංගේ විසින් ඉදිරිපත් කළේ ජනපති නියමය පරිදිය.

ඒ අයගේ හැකියාව ගැන මහලේකම් රංගේ විසින් වාචිකව ද කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු ජනපති සෑහීමකට පත් කළේය. බදාදා යළි ඔවුන් රැස්වී දිස්ත්‍රික්කවලට අලුතින් එන පිරිසට අදාළව ලැයිස්තු සකස් කර තිබුණි. ඉන් පසු මහ ලේකම් රංගේ විසින් සියලු කලාප සංවිධායකවරුන්ට උපදෙස් දුන්නේ ජූනි 01 දා වන විට ඔවුන් සියලු දෙනා කලාප කාර්යාල විවෘත කොට වැඩ ආරම්භ කළ යුතු බවටය.

නව පනත් 75ක්

ජනපති රනිල් බදාදා පෙරවරුවේ තෙල්දෙණියට ගියේ නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමටය. එහිදි ඔහු කී කතාවක් සමාජ මාධ්‍ය තුළ හිට් විය. එනම් හොරු ආරක්ෂා කරනවා කියන ආණ්ඩුව විසින් වසර දෙකක් තුළ දී හොරු අල්ලන පනත් ඇතුළු නව පනත් 75ක් ගෙනවිත් ඇති බවට කළ කතාවය. බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ එහි සිටි මැති ඇමැතිවරු ද මේ කතාව ඇද ගත්තේය.

හොරු අල්ලන ‍ෆයිල්

“එදා ඉදලම මේ අය ෆයිල් පෙන්න පෙන්න හොරු ආරක්ෂා කරනවා කියලා චෝදනා කළා මිස හොරෙක් අල්ලන්න පුළුවන් නීති හදන්න එක යෝජනාවක්වත් ගෙනාවේ නෑ. ජනාධිපතිතුමා තමයි මොන චෝදනා ආවත් රටට අවශ්‍ය දේ කළේ.” ඇමැති ශෙහාන් කීවේ මුදල් අමාත්‍යාංශයේදීය.

“ඔය ෆයිල් අපි ඉන්න කාලෙත් තිබ්බා නේ. ඒකේ හිටියා වැලිඅමුණ, ආනන්ද විජේපාල වගේ අය. තමන්ගේ පක්ෂෙම කෙනෙක් ඉඳලත් ඒ ෆයිල් ටික උසාවියට හරියට ගෙනි යන්න බැරිවුණ කට්ටියෙන් දැන් මිනිස්සු රවටන්න ආයෙත් ෆයිල් උස්සගෙන එන්නේ.” මන්ත්‍රී වජිර කීවේ උපහාසයෙනි.

“අවුරුදු දෙකකින් අපි මේ නීති ටික හැදුවේ. තව කිහිපයක් ගේන්නත් තියෙනවා. යුක්තිය පසිඳලීමට අවශ්‍ය කාරණා තුනක් අපි ගෙනල්ලා තියෙනවා. මුලින්ම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ආර්ථික පනත් තුනක් තව ගේන්න තියෙනවා. අනෙක අපි ආණ්ඩුවේ මූල්‍ය කටයුතුවලට අවශ්‍ය පනත් විශාල සංඛ්‍යාවක් ගෙනල්ල ඉවරයි. අපරාධයකින් උපයාගත් දේපළ පිළිබද පනත් කෙටුම්පතත් ඇමැති මණ්ඩලයට ගෙනල්ලා තියෙන්නේ. මේ සියලු පනත් ගෙනාවා වගේම ඒවා ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කරන්නත් ඕනේ. මේ කටයුතුවලට ටික කාලයක් යයි.” ජනපති රනිල් පැහැදිලි කළේය.

ජනපතිගෙන් අලුත් වාර්තාවක්

“මේක ඉතිහාසගත වාර්තාවක් නේද?” ඇමැති සියඹලාපිටිය ඇසුවේ ජනපතිගෙනි. “මම සභානයක කාලෙත් අවුරුදු කිහිපයක් තුළ පනත් ගණනාවක් ගෙනාවා. නමුත් අවුරුදු දෙකක් තුළ මෙලෙස පනත් 75ක් ගෙනාපු පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ.” ජනපති පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.

මහ මැතිවරණයක් කැඳවනවා කියමින් යන කටකතාවට කොටස් වෙළෙඳ පොළද සම්බන්ධ කර ගනිමින් ජනපති දුන් පිළිතුර ගැනද මෙහිදි කතා විය. “මේක වැඩියෙන්ම දැම්මේ එක පුවත්පතක්. ඒකේ ප්‍රධානියෙකුට කොටස් වෙළෙඳ පොළේ අය හොඳට සලකලා තියෙනවා කියලත් ආරංචියි.” මන්ත්‍රී කෝකිලා කියද්දී සැවොම කොක් හැඩලූහ.

ජනපති මාධ්‍යවේදීන්ට කීවේ මොනවාද?

ජනපති රනිල් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැසුණේ රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගේ සංවිධානයෙනි. මාධ්‍යවේදීන්ට පැවැති ප්‍රශ්න ගණනාවකට ජනපති රනිල් පිළිතුරු බැන්ඳේ උසුළු විසුළු කරමිනි.

IMF ගැන ජනපති කතාකරයි

මාධ්‍යවේදීන් සමඟ පැවති සුහද කතාබහේ දී වැදගත් කරුණු කිහිපයක්ම ජනාධිපතිවරයා කියා සිටියේය.

IMF සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය සහ IMF හැර වෙනත් විකල්පයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ වෙනත් කිසිඳු පක්ෂයක් විකල්ප ඉදිරිපත් කර නොමැති බවයි. කෙසේ නමුත් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආයෝජන දිරිගැන්වීමටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදි.

IMF හැර වෙනත් විකල්පයක් තිබේනම් ඉදිරිපත් කරන ලෙසට තමන් කොතරම් ප්‍රකාශ කළද කිසිවෙකු මේ දක්වා එවැනි විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කර නොමැති බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

රටේ ආර්ථිකය වර්තමාන දේශපාලන තත්වය ගැන පමණක් නොව ගාසා යුද්දය, යුක්‍රේන යුද්දය ඇතුළු ලෝක දේශපාලනය ගැනද ජනාධිපතිවරයා විසින් මෙහිදී කරුණු පැහැදිලි කිරීම විශේෂත්වයක් විය.

මහින්දයි – දයාසිරියි ලිෆ්ට් එකේ

පසුගිය පාර්ලිමේන්තු සතියේ දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුව පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් මන්ත්‍රී පිවිසුම අසලට පැමිණ සිටියහ.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉදිරියට පැමිණියේ මෑතකදී පොහොට්ටුවේ සිට සමගි ජන බලවේගයට එක්වූ ගාල්ල දිස්ත්‍රිික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිය.

“ආ…. මේ එන්නේ සජබ නායකයා නේද?” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කියපු කතාවට එහි සිටි සියල්ලෝම සිනාසුණහ.

“නෑ… සර්, නායකයා වෙන්න අදහසක් නැහැ” යනුවෙන් ප්‍රකාශ කරමින් චන්දිම එම ස්ථානයෙන් පිටව ගියේය.

කොපුව රජුට – කඩුව වැද්දට

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉන් අනතුරුව විදුලි සෝපානයට පිවිසියේ දෙවැනි මහලේ පිහිටි මැතිසබයට යෑමටය.

ඒ සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද විදුලි සෝපානයට ඇතුළු විය.

“ආ … කොහොමද දයාසිරි” යනුවෙන් මහින්ද රාජපක්ෂ කතාවට එක්විය.

“ඔහේ ඉන්නවා සර්” යනුවෙන් දයාසිරි ජයසේකර ප්‍රතිචාර දැක්වීය.

“දැන් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නේ?” යනුවෙන් මහින්ද රාජපක්ෂ විමසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවි දැන් කියන්න වෙලා තියෙන්නේ සර්, දැන් අලුත් පක්ෂයක නමක් තමයි කියන්න වෙලා තියෙන්නේ”යනුවෙන් දයාසිරි ජයසේකර පැවසුවේය.

“ඒ මොකක්ද?” මදක් කුතුහලයෙන් විමසා සිටියේ මහින්ද රාජපක්ෂය.

“සර්, දැන් කියන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් වාරණ පක්ෂය කියලා. මොකද දැන් දෙපැත්තෙන්ම උසාවි ගිහිල්ලා වාරණ නියෝග ගන්නවානේ.” යනුවෙන් දයාසිරි කළ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂට සිනහ නොවී සිටීමට නොහැකි විය.

“සර්…. මෛත්‍රීපාල මහත්තයා හිතුවේ මං එතුමා කපාගෙන නායකයා වෙන්න හදනවා කියලනේ. ඒත් දැන් එතුමා නායකකම භාරදීලා තියෙනවා.”

“කොපුව රජුට, කඩුව දුන්නා වැද්දාට, මැරෙන්න වුණා රජාට” යනුවෙන් මහාචාර්ය එදරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ ගීතයක් දයාසිරි කියූ අතර ඊට ද මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මහා හයියෙන් සිනහ විය.

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් මහින්දගේ හොඳ

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට හමුවූ විරුද්ධ පක්ෂයේ ස්වාධීන වී සිටින ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා “සර්ගේ මාධ්‍ය නිවේදනය ඉතාම හොඳයි. ” යනුවෙන් ප්‍රකාශ කොට තිබුණි.

මේ අතර විරුද්ධ පක්ෂයේ ස්වාධීන වී සිටින මහාචාර්ය චරිත හේරත් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂයන්ගේ මාධ්‍ය නිවේදනය ඉතා නිවැරදි බවයි. මේ අතර ස්වාධීන වූ මන්ත්‍රීවරුන් මෙසේ හොඳ කියා ගෙන එන්නේ නැවත ඔවුන් මහින්ද කඳවුර සමඟ එක් වී රනිල්- මහින්ද සන්ධානයකට සහය ලබා දීමටද යන්න පිළිබදව කතාබහක් මතුවිය.

අරගලකරුවන්ට ප්‍රසන්නගෙන් ප්‍රතිචාර

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සිය පුද්ගලික මතය ප්‍රකාශ කළ ඇමැති ප්‍රසන්න ඉකුත් සති කිහිපය ගතකළේ තරමක නිහඬ බවකිනි.

” මේ අවුරුද්දෙ අනිවාර්යයෙන්ම මැතිවරණයක් එනවා. ඒකට සූදානම් වෙන්න. අරගලකාරයො අපිට ගැහුව්වේ ගම්පහ හයිය නැති කරන්න. අපි ගමට බැහැල වැඩ කරමු.”

ඒ අනුව පළමු හමුව 15 වැනිදා මිනුවන්ගොඩ හා මීරිගම ආසනවල ග්‍රාමසේවා වසම් මට්ටමින් පැවැත්විණ.

ගිනි තියපු ගෙදර නොහදන හේතුව ප්‍රසන්න හෙළි කරයි

“අපිට සතුරාගේ බලාපොරොත්තු ඉටුකරන්න බෑ. අරගලකාරයො මගේ ගේ ගිනි තිබ්බා. හැබැයි මාත් එක්ක ගිහිල්ලා ගෙවල් දොරවල්, වාහන නැතිවුණ ඔයාලට සාධාරණයක් ඉෂ්ට කරල තමයි මම මගේ ගේ හදන්නේ. එතකන් මම උඩුගම්පොළ මගේ ගේ හදන්නේ නෑ” ඇමැතිවරයා කී කතාවට රැස්ව සිට පිරිස සංවේදී විය.

නව දේශපාලන බලවේගයකට මන්ත්‍රීවරුන් 20ක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සදහා නව සන්ධානයේ ප්‍රධානත්වයෙන් බිහිවන පුළුල්ම දේශපාලන බලවේගය ඇතිකිරීම සඳහා වන පළමු සාකච්ඡාව පසුගිය අඟහරුවාදා ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.

මේ අවාස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක් පමණ සහභාගී වූහ. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත්, මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර, සුරේන් රාඝවන්, එස්.වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා,පියංකර ජයරත්න, දුමින්ද දිසානායක, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, ජගත් පියංකර, එම්.එම්.හාරිස්, ඉශාක් රහුමාන්, එම්.මුශාරෆ් ඇතුළු මන්ත්‍රී පිරිසක්ද හිටපු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක සහ සිරිපාල අමරසිංහ යන අයද මේ සඳහා එක්ව සිටියහ.

අනුර ප්‍රියදර්ශන යාපාගේ පිළිගැනීමේ කතාවෙන් පසුව මන්ත්‍රීවරුන් අදහස් දක්වන්නට පටන් ගත්තේය.

“ඔක්තොම්බර් මුල සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා අපි කරන සාකච්ඡා සියල්ල ජූලි 15 වෙනකොට අවසන් කරන්න වෙනවා” සුසිල් කීවේය

” අපේ පක්ෂයේ තියන අර්බුද ටිකත් අපි ඉක්මනින් විසඳගන්නවා. අපි හැමෝම එක මතයක ඉඳලා ඉදිරි මැතිවරණවලදි රටේ තීරණාත්මක බලවේගය අපේ මේ කණ්ඩායම වෙන්න ඕනෑ. දැනටමත් ඒක වෙලා තියනවා” දුමින්ද දිසානායක කිවේය.

“ඔව් ඔව් දුමී කිව්ව කතාව හරි ඉදිරියේදී රජුන් තනන කණ්ඩායම අපි වෙන්න ඕනෑ” නිමල් සිරිපාල පිරිස දෙස බලමින් කියන්නට විය

හමුව අවසානයේ සියලු දෙනා වෙනුවෙන් දේශීය අහාර වේලක් සූදානම් කර තිබුණි.

රනිල් තරග විභාග ඇති කළ හැටි වජිර පෙන්වා දෙයි

දකුණු පළාතේ පාසල් තුළ තිබෙන ගුරු හිඟය අවසන් කිරීම සඳහා දකුණු පළාත් පාසල් වෙනුවෙන් ගුරු පත්වීම් ලබාදීමේ පළමු පියවර පසුගිය සති අන්තයේදී වැලිගම නගර ශාලාවේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ගුරුවරුන් 1000ක් සඳහා නව පත්වීම් ලබාදෙන ලදි. දේශපාලනඥයින් විසින් තම හිතවතුනට ගුරු පත්වීම් ලබාදුන් යුගය අවසන් කරමින් ඒ සඳහා තරඟ විභාග ක්‍රමය ඇතිකර සමාජ සාධාරණත්වයක් රට තුළ ස්ථාපනය කළේ එවකට අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කළේය.

වජිරගෙන් පාසල් 16කට පොත්

මේ අතර පසුගිය දා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේන් අනතුරුව, රනිල් වික්‍රමසිංහයන් 2021 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දා පටන් ජනාධිපති ධුරය භාරගත් දින දක්වා පුවත්පත්වල පළ වූ කාටූන් එකතු කර සම්පාදනය කරන ලද “Press VsPrez” ග්‍රන්ථය ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් පුස්තකාලවල පරිහරණය වෙනුවෙන් එම දිස්ත්‍රික්කයේ පාසල් 16ක විදුහල්පතිවරුන් වෙත ලබාදීමද සිදුවිය.

සජිත්ගේ රණ හඬ කවුද?

සමගි ජන බලවේගයට අනුබද්ධිත සංවිධාන ගණනාවක් පසුගිය සතියේ විවිධ වේලාවන්හිදී සමගි ජන බලවේග මූලස්ථානයේදී රැස්වුණේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටය. මෙම සාකච්ඡාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කබිර් හෂිම්, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය ලේකම් ඉරාන් වික්‍රමරත්න, සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි රෝහිණි කවිරත්න, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහභාගි වූහ. එහිදී යළිත් පාර්ලිමේන්තුවට පත්වුණ මුජිබර් රහුමාන්ට සියලු දෙනාම සුබපැතුම් එක් කළ අතර මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ පාර්ලිමේන්තුවට යළි වතාවක් රණ හඩක් එක් වූ බවයි.

ඩයනාගේ සැමියාට රංජිත්ගෙන් පිළිතුරු

එම අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විමසා සිටියේ, ‘‘මහ ලේකම්තුමා මොකක්ද මේ ඩයනාගේ මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරන කතාව. ‘‘ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ ‘‘ඒ ගැන මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා මම, නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා. සමගි ජන බලවේගය අලුත් දේශපාලන පක්ෂයක් කියලත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා.‘‘ යනුවෙනි.

225න් එකෙක් වීම ගැන අජිත් සතුටු වෙයි

තමන් පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනාගෙන් කෙනෙකු වීම ගැන වඩාත් සතුටට පත්වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“දැන් මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම මඩ ගහනවා. නමුත් මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්නම් මොකද වෙන්නේ? පසුගිය කාලය තුළ රටට අවශ්‍ය විවිධ පනත් 75ක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ පනත් 75ට සෘජුවම සම්බන්ධ වූ කෙනෙක් මම. සභාවේ අනුමැතිය ඉල්ලලා මේ පනත් වෙනුවෙන් මම මූලාසනයේ කටයුතු කරන වෙලාවන්වලදී සභාවෙන් එකඟත්වය විමසන්න ඇති. ඒ පනත් සම්මත කරන්න අත උස්සපු කට්ටියට ගම්වලට එන්න දෙන්න එපා කියලා සමහරු කිව්වත් ජනතාව ඒ මෝඩ කතා දැන් විස්වාස කරන්නේ නැහැ.” යනුවෙන් ද අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division