Home » සංගීතය වෙනුවෙන්ම ජීවිතය කැප කරන ජයන්තගේ පුංචි පවුල

සංගීතය වෙනුවෙන්ම ජීවිතය කැප කරන ජයන්තගේ පුංචි පවුල

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

– චූටි පුතා හිමාෂ 2009 චැම්පියන් ලිට්ල් ස්ටාර් වුණා ලොකු පුතා තනුර 2019 දී ඩ්‍රීම්ස්ටාර් ජයග්‍රාහකයා වුණා බිරිඳ සංගීත ගුරුවරියක්
– 1978 වර්ෂයේදී අමරදේවයන්ගෙන් ලැබුණු ආශිර්වාදයත් මගේ මේ ගමනේ සාර්ථකත්වයට හේතු වුණා

නවාගේ ගී ප්‍රසංගය නිමවූවා පමණි. සැක්සෆෝනයට හුස්ම අල්ලන්න ද විරාමයක් නොවුණි. කොතෙක් සැක්සෆෝන වාද්‍ය ශිල්පීන් සිටිය ද ස්ටැන්ලි පීරිස්ගෙන් පසු බිහිවූ අපට සිටින හොඳම සැක්සෆෝන වාද්‍ය ශිල්පියා ඔහුය. ජාතික තරුණ සේවා සභාවෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු සැක්ස‍ෆෝන වාදනයෙන් මෙරට සංගීත පටිගත කිරීම් හා ප්‍රසංගවලට නැතුව ම බැරි ශිල්පියෙකි.

“සදාදර නයෝ ඔබේ
මංගල දිනේ
ඇරයුම් නැතත් මෙසේ
ආවා ප්‍රියේ…..”

අනූව දශකයේ ගී උන්මාදයට එක් වූ මේ ගීතය ගුවන්විදුලි නාළිකා මෙන්ම රූපවාහිනී නාළිකාවල ද ඔහුගේ හඬින් පමණක් නොව නවකයින්ගේ හඬින් ද විසිතුරු වුණු වාර බොහෝ ය. එසේ ම ‘සුදු රෝසයි මුහුණ ඔබේ…’, ‘දෙව් මැදුරේ පියගැටපෙළ’,‘අහසේ පොළොවේ’ වැනි ජනප්‍රිය ගීත රැසක් රසවිඳින්නට යුග කිහිපයකට අවකාශ සැලසූ ඔහු ජයන්ත දිසානායක යි.

මේ දිනවල අතිශය කාර්ය බහුලයි. එහෙම නේද…?

ඇත්ත වශයෙන් ම නවරත්න ගමගේ සහ රෝහණ වීරසිංහ නම් වූ අපගේ සංගීත ක්ෂේත්‍රයේ දැවැත්නයින් දෙදෙනාගේ ප්‍රසංග දෙකක් එක ළඟ පැවැත්වීම නිසා ඒ සඳහා වාද්‍ය වෘන්දයට එක් වූ මටත් තරමක් කාර්ය බහුල වුණා. විශේෂයෙන්ම මම ඒ ප්‍රසංග දෙකට ම සැක්සෆෝන වාදනයෙන් සම්බන්ධ වුණා. ඉතාම සාර්ථකව ප්‍රසංග දෙක ම පැවැත්වුණා. අමරසිරි පීරිස්ගේ ප්‍රසංගයත් ඉදිරියේදී පැවැත්වෙනවා. ඒ සඳහාත් සූදානම් වෙනවා.

ඔබ ඉතා පුංචි ගමකින් කොළඹට අවතීර්ණ වුණු සංගීත ගුරුවරයෙක් නේද…?

ඔව්. ඒ බව කිසිවිටෙකත් මට අමතක කරන්න බැහැ. රඹුක්කන ප්‍රදේශයේ හලාගිරිය කියන කුඩා ගම්මානය මගේ ගමයි. මම මුලින්ම ගියේ හලාගිරිය ගමේ පාසලට. ඊට පස්සේ අරනායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එහිදී මට මගේ සංගීත ගුරුතුමිය ආරියවතී හපුආරච්චි මහත්මියව හමුවෙනවා. එතුමිය මගේ දක්ෂතා හඳුනාගෙන පාසලේ සංගීත තරගවලට මාව සහභාගි කළා. තරග ජයග්‍රහණ රැසක් මට ලැබුණා. ඒ අතර රාගධාරී ඒකල ගායන සමස්ත ලංකා ප්‍රථම ස්ථානය මට හිමි වුණා. ඒ තරගය පැවැත්වුණේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේයි. තරග විනිශ්චයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පැමිණ සිටියා. එතුමා එදා මටත්, මගේ ගුරුවරුන්ටත් කිව්වා ‘මේ පුතාට හොඳ අනාගතයක් තියෙනවා. මේ දරුවා රැකගන්න’ කියලා. 1978 වර්ෂයේදී අමරදේවයන්ගෙන් ඒ විදිහට මට ලැබුණු ආශිර්වාදයත් මගේ මේ ගමනේ සාර්ථකත්වයට හේතු වුණා.

ජාතික තරුණ සේවා සභාවට ඔබ සම්බන්ධ වන්නේ කෙසේ ද..?

පාසල් කාලය අවසන් කරලා මම ජාතික තරුණ සේවා සභාවේ ‘යොවුන් ගී’ කණ්ඩායමට බටනලා වාදකයෙක් විදිහට ඇතුළත් වුණා. යොවුන් ගී කණ්ඩායමට අමතරව ‘යොවුන් මිහිර’ කියලා බටහිර සංගීත කණ්ඩායමකුත් තිබුණා. ඒකේ සැක්සෆෝන වාදනයට මගේ හිත ගොඩාක් ඇදිලා ගියා. සැක්ස‍‍ෆෝන වාදනය ඉගෙන ගන්න මට අවස්ථාවක් දෙන්න කියලා අදාළ නිලධාරිතුමාගෙන් මං ඉල්ලීමක් කළා. එතුමා මට ඒ පුහුණුවීම් සඳහා ඉඩකඩ හදලා දුන්නා. වසන්ත ප්‍රනාන්දු කියලා නාවික හමුදාවේ මහත්මයෙක් සැක්සෆෝන වාදනය උගන්වන්න ආවා. කැසට්පටවල තිබුණු සැක්සෆෝන වාදන අහලා ඒවත් මම හොඳට හැදෑරුවා. ඒ කාලේ රට වටේ තිබුණු යොවුන් ගී ප්‍රසංගවල මම සැක්සෆෝනය වාදනය කළා.

හදිසියේ ම ඔබ අනුරාධපුරයට පදිංචියට ගියේ ඇයි….?

ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාව අවසන් වුණාට පස්සේ මට ගුරු පත්වීමක් ලැබුණා. මුල් ම පත්වීම ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කණ්ඩලම පල්ලේගම දුෂ්කර පාසලටයි. වසර තුනක කාලයක් මම ඒ පාසලේ සංගීත ගුරුවරයා ලෙස සේවය කළා. ඊට පස්සේ පිළිමතලාවේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ආවා.

එතකොට ඔබ ෆෝචූන්ස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ කොහොමද…?

ගිරාගම ඉන්න කාලේ පටිගත කිරීමකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ආව වෙලාවක ගේට්ටුව ළඟදි මට ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ නායක ස්ටැන්ලි පීරිස් මහත්මයාව මුණගැසුණා. එතුමා මට කිව්වා ‍‍‍ෆෝචූන්ස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න එන්න කියලා. මට වෙලාවකුත් දුන්නා. ඊට පස්සේ ෆෝචූන්ස් සංගීත කණ්ඩායම එක්ක රටවල් ගණනාවකට යන්නත් මට අවස්ථාව ලැබුණා.

ඔබගේ මුළු පවුල ම සංගීත පවුලක් නේද…?

ඔව්. බිරිඳ නයනී කුමුදුනී මේ වන විට ගෝතමී බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක් ලෙස සේවය කරනවා. අපට පුතාලා දෙන්නයි. චූටි පුතා හිමාෂ 2009 වර්ෂයේ ලිට්ල් ස්ටාර් ගායන තරගයෙන් දක්ෂතම හා ජනප්‍රියතම ගායකයා සම්මාන දෙකම දිනාගත්තා. ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපතිතුමාගෙන් ලැබුණු ත්‍යාගයක් හැටියට චූටි පුතාව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කළා. ඒත් එක්කම ලෙකු පුතා තනුරවත් එම විද්‍යාලයටම ඇතුළත් කළා. එවකට විදුහල්පතිව සිටි හේමන්ත ප්‍රේමතිලක මහතා ඊට බොහෝ කාලෙකට පෙර නවරත්න ගමගේ සංගීතවත් කළ ප්‍රසංගයකදී මට හමුවුණු අවස්ථාවක නාලන්ද විද්‍යාලයට එන්න කියලා මට ආරාධනා කර තිබුණා. පුතාලා දෙදෙනා පාසලට භාර ගැනීමත් සමඟ මටත් එහි සංගීත ගුරුවරයා ලෙස ස්ථාන මාරුව ලැබුණා. බිරිඳටත් සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස ස්ථාන මාරුව ලබා ගත්තා. ඔහොම ඉන්න අතරේ චූටි පුතා චැම්පියන් ලිට්ල් ස්ටාර් ජයග්‍රහණයත් ලැබුවා. චිත්‍රපට ගීත ගායනයක් වෙනුවෙන් ජනාධිපති සම්මානත් චූටි පුතා දිනා ගත්තා. ලොකු පුතා තනුර 2019 දි ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රහණය ලබා ගත්තා. තනුර මේ වෙද්දි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් වගේම සංගීත් නිපුන් විභාගය සඳහා ඉන්දියාවට යාමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි හතර දෙනාම සංගීතයට, ගායනයට, වාදනයට කැපවෙලා ඉන්න නිසා අපි හතරදෙනා එකතු වෙලා ප්‍රසංගයක් කරන්න සූදානමක් තියෙනවා.”

අපේ රටේ සැක්සෆෝන් වාද්‍ය ශිල්පීන්ගේ ලොකු අඩුවක් තියෙනවා. අලුත් පරපුරක් බිහි නොවන්නේ ඇයි…?

මේ වාදනය සිදු කෙරෙන්නේ අපි ගන්න හුස්ම ටික ආධාරයෙන්නේ. ඒක එතරම් පහසු දෙයක් නෙවෙයි. අනෙකුත් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමත් පහසු නැහැ. මනා පුහුණුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හුස්ම පුහුණුව ඊටත් වඩා තරමක් අපහසුයි. සැක්සෆෝන වාදනය සඳහා යොදවන්න සිදු වන්නේත් අපි ජීවත් වෙන්න ගන්න හුස්ම පොදමයි. ඒක ලොකු මහන්සියක් නිසා බොහෝ අය වෙනත් සංගීත භාණ්ඩ තෝරා ගන්නවා. මම කිසිඳු මුදලක් අයකරන්නේ නැතුව මේ ශාස්ත්‍ර අධ්‍යයනය දරුවන්ට ලබා දෙනවා. මගෙන් බොහෝ දරුවෝ සැක්සෆෝන් වාදනය ඉගෙන ගන්නවා. ලොකු පිරිසක් නැතත් අලුත් අය සැක්සෆෝන් වාදනයට එකතු වෙනවා.

තුෂාරී කළුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division