Home » කෙලින්ම කතා කරමු

කෙලින්ම කතා කරමු

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

ඇය බ්‍රිතාන්‍ය පුරවැසියකු බව නඩු පවරනතුරු අප දැන සිටියේ නැහැ 
– සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලෙස හිටිය රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන නිසා ඔබතුමාලගේ පක්ෂය සම්බන්ධයෙනුත් නීත්‍යනුකූල ගැටලුවක් තියෙනවා කියන්නේ ඇත්තද ?

ඒ කියන අයගේ දැනුම තමයි. ඩයනා ගමගේ ලේකම් ලෙස කවදාවත් පත්වෙලා හිටියේ නෑ. ඒක මේ ආණ්ඩුවෙන් ගෙනයන ප්‍රචාරණයක් විතරයි. එයාගේ සම්බන්ධතාවය පක්ෂයට කිසිසේත් බලපාන්නේ නැහැ. ඒක හිටපු මැතිවරණ කොමසාරිස් තවදුරටත් පැහැදිලි කළා. මේ දේවල් සමග ජන බලවේගයට අදාළ වෙන්නේ නැති කරුණු. සමගි ජන බලවේගය හෝ වෙනත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට හෝ තනතුරක් දැරීමට වෙනත් පුරවැසියෙකු වීම බාධාවක් නොවෙයි. කොහොමටවත් අපට එය අදාළ නැති කාරණාවක්.

එතකොට හිටපු රාජ්‍ය අමාත්‍යවරියට පක්ෂයේ තනතුරක් තිබුණේ නැහැ කියලාද ඔබ කියන්නේ?

ඇත්තවශයෙන්ම “අපේ ජාතික පෙරමුණ” පක්ෂය එහි මුල් අයිතිකරු හැටියට ඩයනා ගමගේ මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා හිටියා. ඒ පක්ෂය අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරලා; නම් වෙනස් කරලා; සමගි ජන බලවේගය හැටියට නිලධාරීන් මාරු කළා. නිලධාරීන් මාරු කරන විට සමගි ජන බලවේගය ලියාපදිංචි වුණේ රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම් ලෙසත්, පක්ෂයේ නායකයා සහ සභාපති හැටියට සජිත් ප්‍රේමදාස මහතාත් ඒ අනුව තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. පක්ෂයේ මහලේකම්වරයා හැටියට රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්වුණාම පැවති අපේ ජාතික පෙරමුණ අහෝසියි.

නිල වශයෙන් මැතිවරණ කොමිසම අපේ පක්ෂය පිළිගෙන තියෙනවා. ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ උපලේකම්වරියක් හැටියට පත් කරලා තිබුණා. එය විධායක තනතුරක් නොවේ.

ඒවෙද්දි ඔබතුමාලා එතුමිය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව දැනගෙන හිටියේ නැද්ද ?

නඩුව පවරනතුරු අපි දැනුම්වත් වෙලා හිටියේ නැහැ. අනික කොයි වෙලාවෙවත් අපිට ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. හේතුව පක්ෂයක සාමාජිකයෙක් හැටියට ඉන්න ඒක අදාළ වෙන්නෙත් නැහැ.

පක්ෂයේ යම් තනතුරක් තිබියදී ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දැරිය හැකිද?

එහි ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් විනය පරීක්ෂණයක් පැවැත් වෙනවා. විනය පරීක්ෂණයක් අපි ආරම්භ කළා. එම විනය පරීක්ෂණයට ඇය ආවේ නැහැ. අපි පක්ෂයෙන් ඇය නෙරපා හැරියා. එම නෙරපා හැරීමට විරුද්ධව ඇය අධිකරණයට ගියා. එම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් වන පුරප්පාඩුවට අපි නැවත මුජිබර් රහුමාන් මහතාගේ පත්වීමත් සිදු කර අවසන්.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කලින් ඉල්ලා අස්වීමක් සිදු කළා නේද?

මුජීබර් රහුමාන් මහතා ඉල්ලා අස්වුණේ පළාත් පාලන මැතිවරණයට තරග කළ නිසා. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන නිසා එතුමා නැවත වරක් අපි මන්ත්‍රීවරයෙක් ලෙස පත් කළා. ඒකට දැන් ගැසට් නිවේදනයකුත් නිකුත් කර හමාරයි.

ද්විත්ව පුරවැසියෙකුට හෝ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න බැහැ නේද?.

ඩයනා ගමගේ ඒකටත් එහා ගිහිල්ලා තියෙන්නේ. එයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් තමයි ඉන්නේ. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරලා තියෙන්නේ.

අනුර කුමාර දිසානායක කියනවා සජබ පක්ෂ නායකයා ළදරු ගහක්; නොමේරූ පරිණත නොවූ නායකයෙක් කියලා

ඇත්තටම ඒ අනුර කුමාරගේ දැනීමනේ. සීයට 3න ගත්ත දේශපාලන පක්ෂයක් මෙරටේ ජනතාව සීයට 42ක් පහුගිය ජනාධිපතිවරණයෙන් අනුමත කරපු නායකයෙක් ගැන ඔය කරන විකාර ප්‍රකාශ හරහාම එයාගේ ළදරුකම පැහැදිලි වෙනවනේ. ඉදිරි ජනාධිපතිවරණයේදී බලාගන්න පුළුවන් ඔය නොමේරූ අයගේ කතාවලට ජනතාව දෙන උත්තරේ.


සුදුසුකම් සපුරා ඇති අයෙකුයි අපි අමාත්‍ය මණ්ඩලයට පත් කළේ
– පොජපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය සජබ මන්ත්‍රීවරියක් වුවත් ඇයට ඇමැති ධූරයක් ලබා දුන්නේ පොජපෙ ආණ්ඩුව යටතේ නේද. සොයන්නේ බලන්නේ නැතුව එතුමියට ඇමැති ධුරයක් ලබා දීමත් වරදක් කියලයි සජබ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියන්නේ?

රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ කැබිනට් ඇමැති ධුරයක් පිරිනමන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින්. පාර්ලිමේන්තු සභිකයෙක් ලෙස තේරි පත්වි තියෙනවා නම් සුදුසුකම් හෝ නුසුදුසුකම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අස්ථාවේදීයි. රටේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පත්කරද්දි ඒ අවස්ථාව වන විට සුදුසුකම් සපුරා ඇති මන්ත්‍රීවරයෙකු ලෙසයි එය පිරිනමන්නේ. ඒ අවස්ථාවේදි ඒ දේවල් හොයන්න යන්නේ නැහැ. ප්‍රශ්න කිරිමට අවශ්‍යතාවකුත් නැහැ.

පාර්ලිමේන්තුවේ තවත් මෙවැනි විදෙස් රටවල පුරවැසිභාවය ඇති පිරිසක් ඉන්නවා කියලා කියන්නෙ ඇත්තද?

ඉන්න ගාණක් ගැන අපි දන්නේ නැහැ. අපි දන්නේ අපේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවේ නැහැ. එය ඉතා පැහැදිලිවම අපි කියනවා. පොහොට්ටුවෙන් එවැනි මන්ත්‍රී නියෝජනයක් නැහැ කියලා.

පීල්ල මාරු කළොත් අපි ආයේ අපායට වැටෙයි කියලා ජනාධීපතිවරයා කියනවා. ඇතැම් පක්ෂ ඒ අයගේ ආණ්ඩුවක් බලයට ආවොත් පීල්ල මාරු කරන්න බලාගෙන ඉන්නවා?.

අනිවාර්යයෙන් මේ මොහොතේ කවුරු ආණ්ඩු කළත් යන්න වෙන්නේ මේ යන පාරෙම තමයි; අපි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ ප්‍රශ්නයට උත්තරයක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අපි යොමු වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපිට සහාය ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟතාවකට එන්නෙ යම් එකඟතාවන් මාලාවකට අනුවයි. එකඟතාවයන් සහිතව ණය ලබා දෙනවා කියන්නේ අනපේක්ෂිත තත්ත්වක් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනෑම රටක් සමඟ එකඟතාවයකට එන්න නම් පොදු කරුණු ටිකක් තියෙනවා. දැන් අපේ රට තුළ විදෙස් විනිමය අර්බුදයක් සහ රජයේ ආදායම් සහ වියදම් අතර පරතරයක් පවතිනවා. එසේ නම් ආදායම් වැඩි කරගත යුතුයි. වියදම් පාලනය කරගත යුතුයි. ඵලදායි නොවන ආයතන තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුයි. අපි මේ මුහුණ දෙමින් ඉන්නේ එක පැත්තකින් රජය ආදායම් වියදම් පරතරය ගැන අය වැය හිඟය පිළිබඳ ප්‍රශ්නයකට. රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උත්තර හොයනකොට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කාරණා කීපයක් තියෙනවා. ආණ්ඩුව ආදායම වැඩි කරගත යුතුයි. කවුරු ආණ්ඩු කරත් මේ දේවල් කළ යුතුයි. ඒ වගේම වියදම් කළමනාකරණය කරගත යුතුයි. ආණ්ඩුව වෙ‍ෙළඳපොළ ඇතුළත යම් මැදිහත්වීමක් කරනව නම් භාණ්ඩ හෝ සේවා අලෙවියට ඒ භාණ්ඩ හෝ සේවා අලෙවියේදී නිෂ්පාදන පිරිවැයට ගැළපෙන පිරිවැයට අලෙවි කළ යුතුයි. පිරිවැය ගැළපුම් මිල න්‍යාය අනුගමනය කළ යුතුයි.

රාජ්‍ය අයිතිය තියන ඵලදායී නොවන ආයතන තිබේ නම් ඒවායේ කිසියම් ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුයි. මේවා ලංකාවට අලුත් දේවල් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එදා සිට අනුගමනය කරන ඒවා. ලංකාව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවලට ගිය සෑම අවස්ථාවකම මේ දේවල් මේ ආකාරයෙන්ම අනුගමනය කිරීම සිද්ධ කළා. යම් මොහොතක නැවත වතාවක් තව අවුරුදු පනහකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යනවා නම් එදාටත් මේ හා සමාන කොන්දේසිවලට යටත්ව තමයි එකඟතාවන් ඇති කර ගත හැකි වෙන්නේ. අපි ආවා නම් ඔහොම නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ සමහරු කියනවා. ලංකාවේ දේශීය සමාජයේ එක්තරා කොටසකට ඒක ඉතාමත් ආකර්ෂණීය සටන් පාඨයක්. ඒත් අවබෝධයක් තියෙන මිනිස්සු ඒවා විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔය කිසිම නායකයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් තමන්ගේ පක්ෂ මූලස්ථානයට ආවම ඔය කතාව කියන්නේ නැහැ.

ඇතැම් පක්ෂ කියනවා; ඒ අයගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කරනවා කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් රටක් එක්ක කටයුතු කිරීමේදී තීරණ ගනු ලබන්නේ ඒ රට පවතින ස්වභාවය හෝ හෝ ආණ්ඩුවේ නායකයාගේ මූණ බලලා නොවෙයි. එහි මූලික අරමුණක් තමයි තමන්ගේ සාමාජික රටක් විනිමය අනුපාතික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක් වේ නම් ඒ ගැටුමෙන් අත්මිදීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත වටහාදීම. ඒක අපි දැනගෙන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගෙන තියෙන්නේ. කිසියම් සංවිධානයක අපි සාමාජිකයෙක් වෙනකොටම අපි දන්නවා ඒ සංවිධානයේ මූලික න්‍යාය මොකක්ද කියලා. ඒවා වෙනස් කරගන්නවා නම් සංවාදයකට ලෝකය යයි. නමුත් මේ මොහොතේ පවතින තත්ත්වයන් හා කොන්දේසියන් අනුව තමයි මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 17ත් අතර කාලයේ පැවැත්වෙන බව කියනවා. ඒ සඳහා පක්ෂය සූදානම්ද?.

අපි තමයි වැඩිම සූදානමකින් ඉන්නේ. අපේක්ෂකයාගේ නම සමහර පක්ෂ කියලා තියෙනවා. අපි අපේක්ෂකයාගේ නම හැර අනිත් හැමදේම සමාජය හමුවේ අනාවරණය කර අවසන්.

ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් මූලස්ථානයක් ගිය සිකුරාදා අපි විවෘත කළා.

බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මැතිවරණයක් මෙහෙයවිය හැකි ආකාරයෙන් අපේ සංවිධාන ජාලය විධිමත් කරනවා. ඒ වගේම අපි ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් සකස් කරමින් ඉන්නේ. මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ සමගම අපි අපේක්ෂකයන් කීපදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කරමින් ඉන්නේ.

මේ වන විට නිශ්චිතව ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවද ?

ජූලි මාසෙ මැද පහුවෙලා නිශ්චිතව අපි ඒ ගැන කියන්නම්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division