Home » අද තියෙන්නේ යල් පැනගිය පාර්ලිමේන්තුවක්

අද තියෙන්නේ යල් පැනගිය පාර්ලිමේන්තුවක්

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

– ආයෝජකයන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයක් ඇතිවිට රජය නීත්‍යනූකූලව ක්‍රියාකරයි යන විශ්වාසය. අද විශ්වාසයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අමාරුයි.
– අපි මේ මන්ත්‍රී ධුර බලාගෙන ඉන්නේ නැහැ
– ඔවුන් විවාදය ගැන විවාදයක් ඇති කරන්න හදනවා

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වුණා. සමගි ජන බලවේගයේ පිරිසකට එය එක්තරා ආකාරයක තර්ජනයක් බව කියැවුණා?

ඇමැති කංචන කියූ ඒ දේට මම පාර්ලිමේන්තුවේ පිළිතුරු දුන්නා. මේ පක්ෂය ලියාපදිංචි කළේ ඒ අය නෙමෙයි. මංගල සමරවීරයි. මෙය ලියාපදිංචි කළ පසු පක්ෂයක් ලෙස මැතිවරණ කොමසාරිස් එය පිළිගෙන තියෙනවා. පසුව 2020 පෙබරවාරි මෙහි ලේකම් වුණේ රංජිත් මද්දුමබණ්ඩාර. නායකයා සජිත් ප්‍රේමදාස වුණා. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂය රංජිත් මද්දුමබණ්ඩාර කරන වැඩය හරි නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගෙන ගියා. පසුව ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කළා. 2020 මාර්තු මස නාම යෝජනා ඉදිරිපත් කළේ රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින්. අවසානයේ ඒ සියල්ලම පිළිගනිමින් තමයි මැතිවරණයට ගියේ. ඉන්පසුවයි මැතිවරණයකට ගොස් මේ අය තේරී පත්වුණේ. මම කියන්නේ අපි මේ මන්ත්‍රී ධුර බලාගෙන ඉන්නේ නැහැ. අපි ඉල්ලන්නේ හෙට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න කියලයි. පාර්ලිමේන්තුව විසිරුවා හැර හෙට මැතිවරණයක් තියන්න. අපි ඉන්නේ එතැනයි.

ජාතික ජනබලවේගය චෝදනා කරන්නේ ඔවුන්ට විපක්ෂ නායක විසින් තවමත් විවාදයට දිනයක් ලබා නොදුන් බවයි?

නැහැ. මෙය බොරු කතාවක්. මොවුන් හදන්නේ විවාදය ගැන විවාදයක් ඇති කරන්නයි. මුලින් නලින් බණ්ඩාර කිව්වේ අපේ ආර්ථික කණ්ඩායම හා ඔවුන්ගේ ආර්ථික කණ්ඩායම අතරේ විවාදයක් තියමු කියලයි. පසුව කිව්වා ජනාධිපති අපේක්ෂකයන් අතර තියමු කියලා. ජනාධිපති අපේක්ෂකයෝ අතර විවාදයක් තියන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි. ඕනැම රටක මෙවැනි වාද විවාද තියෙනවා. මැතිවරණ ප්‍රකාශන හා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි ඒවා තියන්නේ. එයට අපි සූදානම්. මේ වන විට ජනාධිපතිරවණය පවත්වන කාල සීමාව මැතිවරණ කොමසාරිස් විසින් දැනුම් දුන්නා. ජනාධිපතිට තියෙන්නේ ඒ දිනය දැනුම් දෙන්න. දිනය දැනුම් දුන් පසුව විවාදයක් තැබිය හැකියි.

රජය විසින් අනුගමනය කර ඇති ආර්ථික වැඩපිළිවෙළ යටතේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව බොහෝ දෙනා පවසනවා. රටේ වත්මන් ප්‍රගතිය ඔබ දකින්නේ කෙසේද?

තවමත් රට අර්ථික වර්ධනය පැත්තට හැරී නැහැ. පැවැති අර්බුදයේ බොහෝ අඩුපාඩු තිබුණා. රජය විසින් එය අනාගෙනයි තිබුණේ. ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ගිවිසුමකට ඇවිත් මේ වන විට මූල්‍ය විනයක් ඇතිකර තියෙනවා. මේ මූල්‍ය විනය නිසා අත්‍යවශ්‍ය දේ එනම් පෙට්‍රල් ගෑස් වැනි දේ නැවත ඇති කර ගැනීමට හැකිව තිබුණා. පළමු අදියරේ සාර්වභාවයක් ඇති වූ බව කිව හැකියි. එතැන් සිට මේ තත්ත්වය ආයෝජනයකින් තොරව හරවා ගන්න බැහැ. රජයට ඒ ආයෝජනය ආකර්ෂණය කරගත නොහැකි වුණා. මේ ආයෝජනය හරහායි බඩු භාණ්ඩ සේවාවන් ලබාගත හැකි වන්නේ. මෙැතන ඇති විශාල ගැටලුව වන්නේ විශ්වාසයේ ප්‍රශ්නයක්. ආයෝජකයින් මුදල් යොදවන්නේ නැහැ. ආයෝජකයින් රටේ මූල්‍ය විනය ගැන බලාගෙන ඉන්නවා. මැතිවරණයකට යනවිට මූල්‍ය විනය කැඩෙනවාද නැද්ද යන්න ආයෝජකයන් බලාගෙන ඉන්නවා. මැතිවරණයක් ළංවන විට අරව දෙනවා, මේවා දෙනවා කියලා විවිධ පොරොන්දු දෙනවා. අනිත් පැත්තෙක් ආයෝජකයෝ එන්නේ නැත්තේ රටේ නීතියේ ආධිපත්‍ය තියෙනවා ද නැද්ද කියා තිබෙන ගැටලුවට. පුනර්ජනනීය බලශක්ති හෝ වී එෆ් ඒ වැනි ආයතන ගෙනැත් සේවා ලබා ගැනීමේදි විශ්වාසයේ ප්‍රශ්නයක් ඇති නොවිය යුතුයි. ආණ්ඩුව නීතියට හෝ ගිවිසුමකට හෝ ගරු කරන ආණ්ඩුවක් ද නැද්ද යන්න ආයෝජකයින් විමසිල්ලෙන් පසුවෙනවා. ආයෝජකයන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයක් ඇතිවිට රජය නිත්‍යානූකූලව ක්‍රියාකරයි යන විශ්වාසය. අද විශ්වාසයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අමාරුයි. ඔවුන් බලන්නේ මේ පිටුපස සිටින්නේ කවුද කියා. පාර්ලිමේන්තුවේ පළමු පේළියේ රජයේ ඇමැතිවරු ඉන්නවා. ඒ අයට අධිකරණයෙන්ම තීන්දු දීලා තියෙනවා. ඒත් ඒ කැබිනට් මණ්ඩලයම දාගෙන මේ ගමන යන්න හදන්නේ. මේ නිසා වෙළෙඳපොළ සම්බන්ධ ආයෝජකයාගේ විශ්වාසය අද සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. මෙය නැවත හැරවිය නොහැකිය.

විපක්ෂය පවසන්නේ IMF කොන්දේසි ජනතාවට අහිතකර බවත් එය තම රජයක් යටතේ නැවත වෙනස් කරන්නට සූදානම් බවත් සඳහන් වෙනවා. සමඟි ජනබලවේග රජයක් යටතේ නැවත සාකච්ඡාවන්ට භාජනය කිරීමට බලාපොරොත්තු වන කරුණු කාරණා මොනවාද?

IMF සමඟ ගිවිසුම් ගසා ඇත්තේ ආදායම වැඩි කරන්නනේ. ඒ අනුව ආදායම් වැඩිවිය යුතුයි. වෙනස ඇත්තේ කාගෙන්ද ඒ ආදායම අයකර ගන්නේ කියන ප්‍රශ්නයයි. දැන් කරගෙන යන්නේ සාමාන්‍ය නැතිබැරි අයගෙන්. අපි කියන්නේ එය ගත යුත්තේ ඇති හැකි අයගෙන්. අඩු ආදායම්ලාභීන්ට ඇතිවන පීඩනය අවම කළ යුතුයි. එවැනි තත්ත්වයක් තවමත් අපිට පේන්න නැහැ. කොන්දේසි වෙනස් කරන්න පුළුවන්. IMF සමඟ එකඟ වී ඇත්තේ රාමුවට. එය ගන්නේ කොහෙන්ද යන්න තීරණය කරන්නේ රජය. රජය ඒ තීරණ ගෙන නැහැ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය මීට වඩා වෙනස් ආකාරයෙන් කිරීමේ සැලැස්මක් විපක්ෂයට තිබේද?

මෙතැන විශාල ගැටලුව වී ඇත්තේ ගනුදෙනුවකදී සාකච්ඡා නොකිරීමයි. ඔවුන්ට තවමත් බැරි වී තියෙනවා සම්මුතියකට පැමිණ මෙය වෙනස් කිරීමට. මෙය ප්‍රමාද වන්න වන්න මිලත් ඉහළට යනවා. මේ වන විට බිලියනයකින් පමණ ඉහළට ගොස් තියෙනවා. අපි මේ කටයුතු වෙනස් ආකාරයෙන් සිදු කිරීමට සාකච්ඡා කිරීම හරහා වෙනස් ආකාරයෙන් සිදු කරනවා. නමුත් මෙතැනත් විශ්වාසයේ ප්‍රශ්නයක් පවතිනවා.

පසුගියදා සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනකුට රජය සමඟ එක්වන ලෙස ආරාධනා කර තිබුණා. එයින් එක් අයෙක් ඔබ. ඇයි රජය සමඟ එක් නොවන්නේ?

රටේ ජනතාව ඉල්ලන්නේ ඒ දේ නෙමෙයි. රටේ ජනතාවගේ අදහස වන්නේ මේ පාර්ලිමේන්තුව යල්පැන ගොස් ඇති බවයි. රටේ ජනතාව ඉල්ලන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව වෙනස් කරන ලෙසයි.

මේ වන විට මැතිවරණ සූදානම කෙබඳුද? ජාතික ජනබලවේගය අභියෝගයක්ද?

නැහැ. ඔවුන් අපිට කිසිසේත් අභියෝගයක් නැහැ.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division