Home » දිවි රඟමඬලින් බැසගිය සිනමා සරසවියේ උරුමක්කාරයා

දිවි රඟමඬලින් බැසගිය සිනමා සරසවියේ උරුමක්කාරයා

ඒ.ඩී. රංජිත් කුමාර

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

මම කවදාවත් කාගෙවත් ප්‍රතිරූප බිඳින්න ගියේ නැහැ. ඒ වගේම කාටවත් අගෞරව කළෙත් නැහැ. මගේ ජීවිතයේ වීරයා මගෙ මාමා. ඔහු චිත්‍ර ශිල්පියෙක්. තුංමංහන්දිය චිත්‍රපටයේ මාමයි මගෙ මාමයි අතර මම වෙනසක් දකින්නේ නැහැ. තුංමංහන්දිය චිත්‍රපටයේ අමරදේවයන් ගයන මේ ගීතය තමයි මගෙ දැක්ම.

අතීතයෙන් ගලා බසී
සිඳී බිඳී ගල්පර අතරේ
සිනා සිසී සුදු පෙන පොකුරේ
ගලා බසී ගඟ ගලා බසී…
පිපී බිඳෙන දිය බුබුළේ
වලා රොදක දුර අකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ…”

ප්‍රවීණ පුවත්පත් කතුවරයකු වන ඒ.ඩී. රංජිත් කුමාරයන් දෙදහස් විසි දෙක වසරේ ජූලි මාසයේ අවසන් සතියේ දිනෙක මා හා එසේ පැවැසුවේ ඔහු සමඟ කළ පුවපත් සාකච්ඡාවකදීය. එදා ඔහූ කියූ ඒ වදන් අදත් මෙලෙසින් ලියන්නට වේයැයි කිසි දිනෙක නොසිතුවෙමි.

ඉරිදා පත්තරය මුද්‍රණයට යන දවසේ අවසන් හෝරා කිහිපයේදී ලැබුණේ දුක්මුසු ආරංචියකි. ඒ, කලක් ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතේ වැඩිම වසර ගණනක් කතු ධුරය හෙඹවූ ඒ.ඩී රංජිත් කුමාර දිවි මඬල හැර ගිය පුවතයි.

ඔහු අපුරු සිත්තරෙකි. ඒ පොත් පිටකවර නිර්මාණයේදීය. ඔහු විසින් සිතුවම් කරන ලද පොත් පිටකවර ගණන තුන්සියයකට එහාය. පළමු වරට මෙරට පොත් කවර ප්‍රදර්ශනයක් කළ පොත් කවර නිර්මාණකරුවා වන්නේද ඒ.ඩී රංජිත් කුමාරය.

එමෙන්ම ඔහු විසින් සකසන ලද චිත්‍රපටි නාමාවලි සංඛ්‍යාව ද තුන්සියකට වැඩිය. චිත්‍රපට විචාරකයකු ද වූ ඒ.ඩී. රංජිත් කුමාරයන් සිය ජීවිතයේ අවසන් මොහොත දක්වාම පෑන අත් නොහැරි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. අපූරු ලේඛකයෙකි.

1947 අප්‍රේල් 07 වැනිදා උපන් අලුත්ගේ දොන් රංජිත් කුමාර සිය පවුලේ වැඩිමලා විය. ඔහුට බාල සොයුරියක හා සොයුරන් දෙදෙනෙකි. ඔහුගේ මව රැකියාවක වශයෙන් කරන ලද්දේ ඇඳුම් මැසීමය. නමුදු ඇය මුල්තැන දුන්නේ තම දරුවන්ගේ කටයුතු සඳහාය. රංජිත් ගේ පියා අච්චු කන්තෝරුවක් කරගෙන ගිය අතර රංජිත් ඇතුළු දරුවන්ගේ දිවි රැකුණේ එයිනි.

“මගේ අම්මා ජී. කුසුමාවති පෙරේරා. තාත්තා ඒ. ඩී. එඩ්මන්. අපි පදිංචි වෙලා හිටියේ කොළඹ කොස්ගස් හන්දියේ. මගෙ නංගි ප්‍රියන්ලතා. මල්ලිලා දෙන්නා සරත් කුමාර හා වසන්ත කුමාර. අපේ අම්මා නිවසේ සිට ඇඳුම් මැහුවට ඇය හොඳ ලේඛිකාවක්. ඇය ඉගෙන ගත්තේ රාජගිරිය හේවාවිතාරන විද්‍යාලයේ. තාත්තා ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. අම්මා කථික තරගවලට හා රචනා තරගවලට සහභාගී වී වැලිකඩ තරුණ බෞද්ධ සංගමයෙන් තෑගිත් දිනා තිබෙනවා.

මට මතකයි අපේ ගෙදර තිබුණා කළුපාට මේසයක්. මේ මේසය මත කවදාවත් රෙදි නම් නැති වුණේ නැහැ. විවිධ ජාතින්වලට අයත් අය අපේ නිවෙසට එනවා ඒ කාලේ අම්මාට කියලා ඇඳුම් මස්සවා ගන්න. අම්මා මේ මොන දේ කළත් අපි ගැන බලන එක නම් අතපසු කළේ නැහැ. මට මතකයි මම පුංචි කාලේ අම්මා එක එක පොත් හදනවා. ඒ පොත්වල අලවා තිබුණේ විශේෂ සිදුවිම්, ලෝකය ගැන තොරතුරු, රටේ විශේෂ සිදුවීම් මෙන්ම තොරතුරු. මං අම්මාගෙන් ඇහුවා මොකටද අම්මේ මේවා කියලා. ඇය මට කිව්වා මේ පුතාට ඉදිරියට ප්‍රයෝජන ගන්න කියලා. ඒ කාලේ මට අවුරුදු හතක් විතර ඇති. අම්මට තිබුණ මේ පුරුද්ද අද මටත් තියෙනවා. මම විශේෂ සිදුවීම්, තොරුතුරු ආදිය එකතු කරනවා. අම්මා එදා එකතු කරපු දේවල් පාසල් යන විට මට බොහෝ ප්‍රයෝජනවත් වුණා. අම්මා මා වෙනුවෙන් එවැනි දේ කළත් ඇයට දිගු කාලයක් අප අතර ඉන්න වරම් ලැබුණේ නැහැ. මට අවුරුදු දාහතරක් වෙද්දි අම්මා මිය ගියා. අම්මා මිය ගියේ ඇදුම රෝගයෙන්. ඊට පස්සෙ තාත්තාගේ නංගිගේ දුව තමයි මගේ ඉගෙනුම ගැන බැලුවේ. මම පුංචි කාලේ තාත්තා මට සත පනහක් දෙනවා. මම ඒක එකතු කරනවා බෝතලයක. එහෙම මුදල් එකතු වුණාට පස්සේ ගුණසේන පොත් සාප්පුවට හරි සමන් පොත් සාප්පුවට හරි ගිහිල්ලා පොත් ගන්නවා. පුංචි කාලේ ඉඳලම මට පොත් කියවන්න පුදුමාකාර උනන්දුවක් තිබුණා. අම්මාගේ මරණයෙන් පස්සේ මම ලොකු අම්මාගේ ගෙදර නතර වුණා. ඇය හිටියේ මාලිගාකන්දේ. මම මුලින්ම ගියේ මාලිගාකන්ද රජයේ පාසලට. ලොකු අම්මාගේ පුතා මට ගණන් කියලා දෙනවා. ඔහු උගන්නන්න ගියාම මට ටොකු අනිනවා. ඒ කාලේ ලොකු අම්මාගේ දුව විවාහ වෙලා හිටියේ. ඒ අයියත් මාව උනන්දු කරනවා ඉගෙන ගන්න කියලා. එහා ගෙදර අක්කා තමයි මට ගොඩක්ම උදව් කළේ. ඒ අක්කා කියනවා මල්ලි ඉගෙන ගන්න කියලා මාව උනන්දු කරනවා. මම සාමාන්‍ය පෙළ ගණිතයට සාමාර්ථ­්‍යයක් ගත්තෙ ඇගේ උනන්දුව නිසා.”

රංජිත් පාසල් වියේදී තරමක් දඩබ්බරය. විටෙක ඔහු ළමයි හා දබර කර ගන්නේය. මේ කාලයේ රංජිත්ගේ පියා හමු වීමට, යම් යම් දේ මුද්‍රණය කර ගැනීමට විවිධ කලාකරුවන් පැමිණ ඇත. එසේ පැමිණි එක් අයෙකි කපිල ඊ. සෙනෙවිරත්න කවියා. කපිල කවියා එකල කුඩා රංජිත්ට අමතන්නේ ‘කොස්ගස් හන්දියේ රාලහාමි‘ කියාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබු රංජිත් පාසල් වියේදි තම මිතුරන් සමඟ එක්වී ‘වෙර’ නමින් කෙටි චිත්‍රපටයක් කළේය. එහි මංගල දර්ශනය පැවැත්වුයේ ලයනල් වෙන්ට් රඟහලේය.

චිත්‍රපටය සංස්කරණය කළේ රංජිත් ලාල්ය. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අනුර බණ්ඩාරනායක තරුණ සිසුන්ට පවසන්නේ “මම සල්ලි දෙන්නම් ඔබලා ලොකු චිත්‍රපටයක් හදන්න“ කියාය. රංජිත් අතුළු තරුණයන් එක්වී ‘නිම්වළල්ල’ චිත්‍රපටය හදන්නේය. එහි මංගල දර්ශනය පවත්වන්නේ රීගල් සිනමා ශාලාවේය. පාසලෙන් ඉවත් වූ පසු ද සිනමාව, පොත පත ගැන තිබූ ඇල්ම තව තවත් වැඩි වුවා මිස නැති වන්නේ නැත. 1969 වසරේදී රංජිත් ලේක්හවුස් පඩි පෙළ නඟින්නේ රංජිත් විජේවර්ධනයන් හමුවීමටය. මුලින්ම දිනමිණ පුවත්පතටත් පසුව සරසවිය පුවත්පතටත් සම්බන්ධ වන රංජිත්ට ඉන් වසර විස්සකට පසු සරසවිය පුවත්පතේ මුල් පුටුව හිමි වන්නේය.

“1964 අවුරුද්දේ පළමු සරසවි සම්මාන උලෙළ ගැලරියේ ඉඳගෙන බැලුවා. ඒක අපට අලුත් අත්දැකීමක්. නමුත් 1969දී මම සරසවිය කර්තෘ මණ්ඩලයට බැඳුණා. සරසවි සම්මාන උලෙළවල් 17ක් මගේ මූලිකත්වයෙන් පවත්වා තිබෙනවා. 1994 මම යොවුන් ජනතා පත්තරේ කර්තෘ වුණා“ සරසවියේ ගත කළ සොඳුරු යුගය ගැන රංජිත් කුමාරයන් එදවස එසේ පැවසුවේ බොහෝ තුටිනි. ඔහුට හොඳ මතකයක් ඇත. එමෙන්ම අපුරු ලියැවිලි රටාවක්ද ඔහු සතුය. ඔහු නළුවන් තැනුවේය. එමෙන්ම ඒ නළුවන්ට නොමැකෙන නම් ද පට බැන්දේය. ගාමිණි ෆොන්සේකාට “හෙළ සිනමාවේ සක්විති“ නම දෙන්නේ ද රංජිත්ය.

වසර ගණනාවක් තිස්සේ සිනමාව හා සම්බන්ධයෙන් කටයුතු කළ ඔහු ලියූ දෑ බොහෝය. 1960 ගණන්වලදී ගුවන්විදුලියට ද සම්බන්ධව කටයුතු කළ ඔහු එකල කනිටු සරසවියට සම්බන්ධ වන්නේය. කනිටු සරසවිය මෙහෙය වන්නේ අශෝක තිලකරත්නයන්ය. ඔහුට සිය ජීවන සහකාරිය හමුවන්නේද මේ හරහාය. ඇය දමයන්ති ජයසුරියයි.

“මම දවසක් දමයන්තිගේ තාත්තා හමුවෙලා දමයන්ති ගැන කිව්වා. මම කෙළින්ම කතා කරපු එක ගැන ඔහු සතුටු වුණා.

1975 වසරේ මැයි මස 29 දා අපි විවාහ වුණා. අපට එක දරුවයි ඉන්නේ. ඔහු නුවන් නයනජිත් කුමාර. දැන් දමයන්තිගෙත් මගෙත් දවස ගෙවෙන්නේ මුනු පුරන් දෙන්නා සමඟ. මගේ මේ පොතේ පිටකවරය ඇන්ඳේ මුනුපුරන් දෙන්නා“

සිය පියාගේ අඩිපාරේ ගිය රංජිත්ගේ පුතු නුවන් නයනජිත් වර්තමානයේ ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරන්නේය. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබු පසු රංජිත් කුමාරයන් තවත් පුවත්පත් කිහිපයකම වරින් වර සේවය කළේය. පසු කලෙක විශ්‍රාම සුවයෙන් දවස ගත කළද ඔහු ලිවීම අතනොහැරියේය. කාලයක් සුමති සම්මාන උලෙළේ උපදේශකයකු ලෙස ද කටයුතු කළ රංජිත් “කොස්ගස් හන්දියේ කොලු ගැටයා“ නමින් සිය ජීවන අත්දැකීම් පොතක් ලෙස එළි දැක්වූයේය.

පසුගිය දිනවල රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ.ඩී. රංජිත් කුමාරයන් අභාවප්‍රාප්ත වූයේ සිකුරාදා (10) දා උදෑසනය. ඒ, 77 වැනි වියේදීය. ඒ ආරංචිය ලද සැණින් ඔහුගේ දුරකතන අංකයට ඇමතුමක් ගත්තෙමු.

“මහත්තයා කැමැති නෑ කාටවත් කරදර කරන්න. ඔහු කලින්ම අපට දැනුම් දීලා තිබුණේ ඔහුගේ අවසන් කටයුතු කරන්න ඕන විදිහ. සෙනසුරාදා පැය කිහිපයක් මල් ශාලාවේ දේහය තැන්පත් කරලා තියෙනවා. ඉන් පස්සේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඔහුගේ ශරීරය භාර දෙනවා. ඒක ඔහුගේ කැමැත්ත.“ රංජිත්ගේ බිරිය, ගායන ශිල්පිනි දමයන්ති ජයසූරිය පැවැසුවේ එලෙසිනි. කිසිදු කලබලයක් නැති නැති රංජිත් මහතා ඉඳහිට අපට ද කතා කරයි. එවන් විටෙක පැවසු දෙයක් දැනුදු සිහිපත් වේ.

“මේ රස්සාව බොහොම පරිස්සමෙන් කරන්න ඕන. කෙනෙක්ගේ හිතක් රිදවලා කිසිම දෙයක් ලියලා අපට වැඩක් නැහැ. ඒ නිසා කාගෙවත් චරිත විනාශ කරන්නේ නැතිව ලියන එක තමයි හොඳම දේ”. ප්‍රවීණයකුගෙන් ලද අවවාදයක් සේ නැවත නැවතත් එය සිහිපත් වේ. හිත හොඳ මිනිසාණනී, ඔබට නිවන් සුව ලැබේවා!

* උපන් දිනය – 1947 අප්‍රේල් 07
* උපන් ස්ථානය – කොළඹ ග්‍රෑන්ඩ්පාස් ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ
(කොස්ගස් හන්දිය)
* පියා – ඒ. ඩී. එඩ්මන්
* මව – ජී. කුසුමාවතී පෙරේරා
* උප්පැන්නේ සඳහන් නාමය – අලුත්ගේ දොන් රංජිත් කුමාර
* භාවිත නම – ඒ. ඩී. රංජිත් කුමාර
* ඉගෙනුම ලැබු පාසල් – කොළඹ කේරි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය
* ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීම – 1969 සරසවිය පුවත්පතට
සම්බන්ධ වීම, විශේෂාංග ලේඛකයකු , චිත්‍ර ශිල්පියෙකු, උප කතුවරයකු, ප්‍රධාන කතුවරයා ලෙස සේවය කිරීම, සරසවිය චිත්‍රපට උලෙළේ සංවිධායක ලෙස කටයුතු කිරීම
* ලියූ පොත්- හෙළ සිනමාවේ සක්විති – ගාමිණී ෆොන්සේකා, කොස්ගස් හන්දිය – අඩසිය වසක රිදී රේඛාව, නොව * පැරණිය ලිපි සරණිය – සඳ ළඟ තරු,
නව දෙවස අජිත් තිලකසේන, අනුභූතිය හා නිර්මාණය, සංකථන
* ලැබූ සම්මාන – ජීවිතයට එක්වරක් පමණක් පිදෙන
යු. ඩබ්ලිව් සුමතිපාල සම්මානය
* විවාහය – 1975 මැයි 29
* බිරිඳ – දමයන්ති ජයසූරිය (ගායන ශිල්පිනියකි)
* දරුවෝ – ආචාර්ය නුවන් නයනජිත් කුමාර
– සරසවිය පුවත්පතේ කර්තෘ, ලේලිය – නදිකා චාන්දනී
* අභාවය – 2024 මැයි 10

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division