Home » රූකඩ කලාවට පණ දුන් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය

රූකඩ කලාවට පණ දුන් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

කුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය හෙවත් සාර්ක් සංවිධානය තම කලාපීය සහයෝගිතාව සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථාන සහ සුවිශේෂී ආයතන ඒ ඒ රටවල පිහිටුවා ඇත. එම ආයතන අතරින් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය කලාපීය සංස්කෘතික ප්‍රවර්ධන හා සංරක්ෂණය පෙරදැරිව ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එකම සාර්ක් සංවිධානය සතු ආයතනයයි. සාර්ක් කලාපීය සාමාජික රාජ්‍යයන්ට අදාළ සංස්කෘතික ප්‍රවර්ධනය සහ සංරක්ෂණය මෙම ආයතනයේ ප්‍රධානතම කාර්යභාරය වේ. වර්ෂ 2009 දී එය කොළඹ පිහිටුවීමෙන් පසු සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සියලු සාමාජික රාජ්‍යයන් ආවරණය වන පරිදි සාර්ක් සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී කාර්යභාර්යක් සිදු කරමින් සිටිති. එම ප්‍රවර්ධන වැඩ සටහන් අතර සාර්ක් චිත්‍රට ප්‍රදර්ශනය, සාර්ක් සිතුවම් වැඩමුළු සහ පර්යේෂණ වැඩසටහන් විශේෂය.

එම ආයතනයේ අධ්‍යක්ෂ රේණුකා ඒකනායක මේ කාර්ය සඳහා උර දී සිටින්නීය.

සාර්ක් රූකඩ සංදර්ශනය එම ප්‍රවර්ධන වැඩ සටහන් අතර ආකර්ෂණීය අංගයක් ලෙස මෙම වසරේ දී ලෝක උරුම නගරයක් වූ ගාලු කොටුවේ සඳු අට්ටාලය (Moon Bastion) ආශ්‍රිතව පසුගියදා උත්සව‍ශ්‍රීයෙන් පවත්වන ලදී.

අභාවයට යමින් පවතින පාරම්පරික කලා විශේෂාංගය ලෙස රූකඩ කලාව දේශීය මෙන්ම සාර්ක් කලාපීය රටවල විනෝදාස්වාදය පිණිස මෙහිදී රඟ දක්වනු ලැබිණි.

1972 වසරේ යුනෙස්කෝ මහ සභාව ලෝක සංස්කෘතික සහ ස්වභාවික උරුම සංරක්ෂණය සඳහා නව නීති සම්පාදනය කළ අතර, 2011 එය ක්‍රියාවට නඟමින් ලෝක උරුම 936ක් ප්‍රකාශයට පත් කළේය. රාජ්‍යයන් 153 කට අයත් භූ කලාපවල සංස්කෘතික උරුම 725ක්, ස්වභාවික උරුම 183ක් සහ මිශ්‍ර ස්ථාන 28ක් ලෝක උරුම යැයි නම් කළේය. තවද යුනෙස්කෝ භූ සංස්කෘතික උරුම රැකගැනීම වෙනුවෙන් ද නව නීති පැනවීය. ඒ අනුව ශ්‍රී ලාංකික නූල් රූකඩ නාට්‍ය කලාව ලෝක මානව අස්පර්ශ සංස්කෘතික උරුමයක් ලෙස 2018 වසරේ දී යුනෙස්කෝ නියෝජිත ලේඛනයෙහි සටහන් වූ අතර 2020 වසරේ දී ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්විය. රූකඩ නාට්‍යයන්හි අලංකාර නිර්මාණ ගුණය මෙන්ම සජීවී සම්ප්‍රදායික නාඩගම් කලාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම අරමුණු කරගෙන මෙම පියවර ගෙන තිබුණි.

නාඩගම් අභාවයට යෑමත් සමඟ බිහිවූවක්‌ ලෙස සැලකෙන රූකඩ කලාව ද අම්බලන්ගොඩටම කේන්ද්‍රගතව තිබෙන අතර, 1952 පමණ වනවිට ලක්‌දිව රූකඩ නාට්‍ය කණ්‌ඩායම් පහක්‌ පමණ සිටි බවත් ඔවුන් සියල්ලන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයට අයත් වූ බවත් මහාචාර්ය සරච්චන්ද්‍ර (සිංහල ගැමි නාටකය” 1968,173 පිටුව) සඳහන් කරයි.

වර්තමානයේ අම්බලන්ගොඩ එකම පරපුරකට අයත් ශිල්පීන් රූකඩ කණ්‌ඩායම් වශයෙන් එම ශිල්පයෙහි නියැළී සිටින බව පෙනේ. මෙම කණ්‌ඩායම් සියල්ලකම රූකඩ කලාවේ පොදු සම්ප්‍රදායන් හා කුසලතා දක්‌නට ලැබෙන අතර, අම්බලන්ගොඩ මුල්ම රූකඩ ශිල්පීන් පිළිබඳ විවිධ මත පවතී.

පොඩිසිරිනා ගුරුන්නාන්සේ අම්බලන්ගොඩ රූකඩ කලාවේ පියා ලෙසට පිළිගැනුණ ද පොඩිසිරිනාගේ පියා සහ සීයා ද රූකඩ කලාකරුවන් වූ බව තවත් මතයකි.

ලීයෙන් කළ මානව හා සත්ත්ව රූප විචිත්‍රවත් ලෙස වර්ණ ගන්වා, ඇඳුම් ආයිත්තම් අන්දවා ශිල්පියකු විසින් නූල් ආධාරයෙන් කිසියම් අදහසක් සන්නිවේදනය වන පරිදි හැසිරවීම රූකඩයක ස්වභාවය වේ.

අම්බලන්ගොඩ ගම්වාරි පරම්පරාව වර්තමානයේ රූකඩ නාට්‍ය කලාව පවත්වාගෙන යන පාරම්පරික රූකඩ නාට්‍ය කලා පරපුරකි. ඔවුන්ටම සුවිශේෂ වූ අනන්‍යතාවක් පවත්වා ගනිමින් මෙම කලාවේ නියැළෙන අතර තම පරම්පරාව හා ඔවුන්ගෙන් ශාස්ත්‍රය උරුම කරගත් පිරිස විසින් ලංකාව පුරා මෙම කලාව පවත්වා ගෙන යනු ලබයි.

එහෙත් කණගාටුවට කරුණ වන්නේ මෙවැනි සාම්ප්‍රදායික කලාවන් නූතන සන්නිවේදන තාක්ෂණය නිසා වියැකී යාමට පටන්ගෙන තිබීමයි. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කාර්ය බහුල ජන ජීවිතයට පහසුවෙන් විනෝදාස්වාදය ලැබිය හැකි දේ ලබාදෙමින් ඇති නිසා සජීවී කලා මාධ්‍යයක් වූ රූකඩ කලාවට ඊට අභියෝග කිරීමට හැකියාවක් නොමැති වීම ඊට හේතුවය. එනිසා ඉදිරියේදී මෙම රූකඩ කලාව ලොවෙන් තුරන් වී යන කලා මාධ්‍යයක් බවට පත් වීමට ඉඩ ඇත.

මෙවැනි පසුබිමක අපේ අනන්‍යතාව ලොවට හඬගා කියන අගනා සාම්ප්‍රදායික කලාවක් වූ රූකඩ කලාව කලාපීය එකමුතුකම ඉස්මතු කරමින් සාර්ක් සංස්කෘතික මධ­්‍යස්ථානය විසින් රූකඩ දිනයක් පවත්වා වියැකී යන මෙවැනි කලා අංගයන්ට නව ජීවය ලබා දීමට පෙරමුණ ගැනීම සතුටට කරුණකි. මෙම සාර්ක් රූකඩ දින වැඩසටහන පාසල් දර්ශනය සහ මහජන ප්‍රදර්ශනය ලෙස සංදර්ශන දෙකකින් සමන්විත විය.

ගාල්ල නගරය අවට සහ ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරන බොහෝ පාසල් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා සිය දායකත්වය ලබාදී තිබුණි. විශේෂයෙන්ම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා පුළුල් ප්‍රචාරන වැඩ පිළිවෙළක් දියත් කළ අතර 2000කට අධික ප්‍රේක්ෂක ප්‍රජාවක් මෙම සංදර්ශනය නැරඹීමට පැමිණ සිටියේය. ළමයින්ගේ ඉල්ලීම අනුව රූකඩ ශිල්පීන් විසින් අමතර කාලයක්ද ලබාදී තිබුණි.

ප්‍රධාන සංදර්ශනය සාර්ක් සාමාජික රටවල තානාපති කාර්යාලයන්හි උසස් නිලධාරීන් සහ බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනාය ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා සහභාගි වීමට මහජනතාවටද අවස්ථාව උදාකරදී තිබුණි. එම සංදර්ශනය රාත්‍රී 7:00 ට පමණ ආරම්භ විය. සාම්ප්‍රදායික ලෙස අඳුර වැටීමත් සමඟ රූකඩ සංදර්ශන ආරම්භ වීම සාමාන්‍ය සිරිත වූ බැවින් රූකඩ ශිල්පීනගේ ඉල්ලීම මත එය සවස් භාගයේ පැවැත්විය. ගාලු කොටුව ආශ්‍රිතව විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන බැවින් මෙම සංදර්ශනය විශාල සංචාරක ආකර්ෂණයක් ද දිනාගෙන තිබීම විශේෂය.

සංදර්ශනයට ප්‍රථම ආචාර්ය බී. ඩී. නන්දදේව විසින් රූකඩ නාට්‍ය පිළිබඳ හරවත් හැඳින්වීමක් සිදු කළ අතර, රූකඩ සංදර්ශනය ශ්‍රී ලාංකේය ජන කතා සහ සාම්ප්‍රදායික ඉතිහාස කතා මෙන්ම එදිනෙදා ජන ජීවිතය හා සම්බන්ධ රසවත් කතා පුවත් ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීම විශේෂය.

හෙළ ජනකලා සාහිත්‍යයේ ඉතා ජනප්‍රිය කතා පුවතක් වන සාලිය අසෝකමාලා කතා පුවත මෙහිදී රඟ දැක්වූ අතර, සිංහාසනයට උරුමකම් කියන දුටුගැමුණු රජුගේ පුත්‍රයා වන සාලිය කුමරු චණ්ඩාල කුලයේ තරුණියකු සමඟ ආදරයෙන් බැඳී තම උරුමය වූ රජකම අතහැර සිය ආදරණීය පෙම්වතිය සමඟ විවාහ වී එක්ව විසීම එමඟින් දැක්විණි. මෙම කතා ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රසවත් කාව්‍ය මෙන්ම ගීත රාශියක් සමාජ ගතව පවති.

අනතුරුව ඉදිරිපත් කෙරුණු විදුර ජාතකය බෝධිසත්ත්ව ඥානය හෙළි කරන සිංහල සාහිත්‍යයේ එන තවත් ජනප්‍රිය කතා පුවතකි.

එසේම ඊළඟට ඉදිරිපත් කළ සිරිසඟබෝ කතා වස්තුව ද ඉතාම සංවේදී කතා පුවතකි.

මෙම කතාවන්ට අමතරව ශ්‍රී ලංකාවේ චාරිත්‍ර වාරිත්‍රවල බහුලව දක්නට ලැබෙන ආශීර්වාද පූජා නැටුම් මෙහිදී ඉදිරිපත් කිරීමට රූකඩ ශිලිපීන් කටයුතු කළ අතර එය ඉතා ආකර්ෂණීය අංගයක් විය.

මීට අමතරව කෝලම් සම්ප්‍රදාය ආශ්‍රිත බහුබූත කෝලම, පොලිස් කෝලම වැනි විනෝදාත්මක අංගයන්ගෙන් අලංකාර වූ අතර, පහත රට නැටුම් කලාවේ ආකර්ෂණීය අංගයක් වන පන්දම් පාලිය සමඟ සාර්ක් රූකඩ සංදර්ශනය අවසන් විය.

මේ සම්බන්ධයෙන් සිළුමිණට අදහස් දක්වමින් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා බිංදු උරුගොඩවත්ත ප්‍රකාශ කර සිටියේ අභාවයට යමින් තිබෙන රූකඩ කලාව වැනි සාම්ප්‍රදායික ප්‍රාසාංගික කලා මාධ්‍යයන් රැක ගැනීම ඉතාම වැදගත් වන අතර ඒවා ජනතාව අතර යළි ප්‍රචලිත කිරීමට මෙවැනි ක්‍රියාමාර්ග ඉතාම වැදගත් වන බවයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division