Home » උඩින් ගිහින් ඔත්තු බලා බිමින් ඇවිත් ගහපු ගේම

උඩින් ගිහින් ඔත්තු බලා බිමින් ඇවිත් ගහපු ගේම

by thanushika
May 11, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

යුක්තිය මෙහෙයුමේ නිරතව සිටින පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට මාස පහකට වැඩි කාලයක් තිස්සේ සිදු කරන මෙහෙයුම්වලින් අත්කරගෙන ඇති ප්‍රගතිය අතිවිශාලය.

විශේෂයෙන් මෙරට විසිරී පැතිරී තිබුණු මත්ද්‍රව්‍ය ජාලය සහ ඒවා බෙදා හැරීමේ වැඩපිළිවෙළ අඩාළ කිරීමට මෙම මෙහෙයුමේදී පොලිසියට, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු සෙසු ආරක්ෂක අංශවලට හැකි වීම සුවිශේෂීය. ඒ අනුව මෙරට මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරගෙන ගිය දැනට හඳුනාගෙන සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5910කින් 5004ක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහ සෙසු ආරක්ෂක අංශවලට හැකි වීම සුවිශේෂිය. හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 906 ක් මේ වන විටත් නිදැල්ලේ පසුවන අතර ඔවුන් අල්ලා ගැනීම සඳහා මේ වන විටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

හොරොයින්, හෑෂ්, අයිස් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොග පිටින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබද්දී ගංජා කේරළ, ගංජා සහ මත්පෙති මත් කරල්වලට ද හොඳ මිලක් ලැබී ඇත්තේ හෙරොයින්, හෑෂ්, අයිස් වැනි මත්ද්‍රව්‍යවල මිල ද ජාවාරම්කරුවන් විසින් ඉහළ දමා ඇති නිසාය.

මේ හේතුව නිසා ගංජා ජාවාරම්කරුවන් ද සිය ජාවාරම් සිදු කිරීමේ වේගය වැඩිකර ඇත්තේ යහමින් මුදල් හරිහම්බ කරගැනීම සඳහාය.

පොලිස් විශේෂ කාර්ය බළකාය හම්බන්තොට, මොනරාගල සහ බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල මහ කැලෑවල පසුගියදා මෙහෙයුම් සිදු කළේ ගංජා, ජාවාරම්කරුවන් විසින් පවත්වාගෙන යන කංසා හේන් විනාශ කිරීම සඳහාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේ මෙහෙයුම්වල නිරතව සිටියදී ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් තිබුණු ගංජා විශාල තොගයක් ද අත්අඩංගුවට ගැනීමට පානම පොලිසියේ නිලධාරීන්ට පසුගියදා හැකි විය. යුක්තිය මෙහෙයුමත් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් විවිධ ප්‍රදේශවලට පලාගොස් එම ප්‍රදේශවල සිට ජාවාරම්වල නිරත වන බවට පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබුණේ පසුගියදාය. විශේෂයෙන් යාල වනෝද්‍යානයට මේ අපරාධකරුවන් ඇතුළු වී එහි සැඟවී සිට ජාවාරම්වල නිරත වන බවට ද තොරතුරු එස්.ටී.එෆ්. නිලධාරීන්ට ලැබී තිබිණි.

මේ අනුව සියඹලාණ්ඩුව, බුත්තල සහ පස්සර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල විශේෂ කණ්ඩායම් තුනක් යාල වනෝද්‍යානයේ කැබිලිත්ත පුදබිම ප්‍රදේශය දුෂ්කර ගමනක් ආරම්භ කරන්නේ ඩ්‍රෝනා යානා ද යොදාගෙන සිදු කරන ලද ගුවන් ආවේක්ෂණ රාජකාරිවලින් ද අනතුරුවය.

මේ එස්.ටී.එෆ්. කණ්ඩායම් අතරට විශේෂ පුහුණුව ලැබු ‘චීටා’ නමින් හඳුන්වන කණ්ඩායමක් ද ඇතුළත්ව සිටීම සුවිශේෂීය.

කොටියාගල දෙසින් යාල වනෝද්‍යානයට ඇතුළු වූ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් මූලිකවම සොයා බැලුවේ දඩයක්කරුවන් විසින් අටවන ලද ගිනිඅවි ගැනය. සුළු මොහොතක පමාවෙන් එම නිලධාරීන්ට බඳින තුවක්කුවලින් ඇතිවීමට ඉඩ ඇති භයානක අනතුරු නිසාය.

දින තුන හතරක දුෂ්කර ගමනකින් අනතුරුව කැබිලිත්ත ප්‍රදේශයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ අක්කර හයක පමණ සරුවට වගා කළ කංසා හේනකි.

පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම සිදු කළ ‘අහස් මෙහෙයුමේ’දී අදාළ කංසා හේනේ වීඩියෝ දර්ශන ඒ වන විටත් ලබාගෙන තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ පුහුණුව ලත් ‘චීටා’ කණ්ඩායම කංසා හේනට මුලින්ම ඇතුළු වන්නේ එහි මර උගුල් ඇත්දැයි නිරීක්ෂණය කරමිනි. මේ මෙහෙයුමේදී කංසා හේනේ සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්. නිලධාරීන්ට හැකි විය. තුවක්කු තුනක් ද සොයා ගැනිණි. ඉන් එකක් රුසියාවේ නිෂ්පාදනය කළ එකකි. ගංජා කිලෝ ග්‍රෑම් 38යි ග්‍රෑම් 450ක් අත්අඩංගුවට ගැනිණි. කංසා හේනේ තිබුණු සරුවට වැඩුණු කංසා පැළ තුන්ලක්ෂ හතළිස්හය දහසක් පමණ විනාශ කෙරිණි. දින පහක මෙහෙයුම සාර්ථකව නිම කළ එස්.ටී.එෆ්. කණ්ඩායම සැකකරුවන් ගිනිඅවි සහ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දෙන්නේ ඇතිමලේ පොලිස් ස්ථානයටය.

යාල වනෝද්‍යානයේ සිදුවන දැව ජාවාරම්, වන සතුන් වෙඩි තබා ඝාතනය කර මසට විකිණීමේ ජාවාරම් සහ ගංජා ජාවාරම් මර්දනයට එස්.ටී.එෆ්. බුද්ධි අංශ දිවා රාත්‍රී විමසිල්ලෙන් පසුවෙයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි අසිත රණසූරියගේ උපදෙස් මත සියඹලාණ්ඩුව එස්.ටී.එෆ්. කඳවුරේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායකගේ මෙහෙයවීමෙන් පස්සර විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධානි පොලිස් පරීක්ෂක එම්.ජී.ඒ. නිශාන්ත, බුත්තල කඳවුරේ ප්‍රධානී පොලිස් පරීක්ෂක චාලක ජනිත් කුමාර ඇතුළු නිලධාරීහු මෙහෙයුම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division