Home » මහරගම ස්පා කඩවල මුදලට විකිණුන රෑ සමනලියෝ

මහරගම ස්පා කඩවල මුදලට විකිණුන රෑ සමනලියෝ

by thanushika
May 11, 2024 12:30 am 0 comment
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

“මම මහරගමින් කතා කරන්නෙ. මේ පැත්තේ ‘ස්පා’ හින්ද දැන් අපිට හරි ප්‍රශ්නයක් තියෙන්නෙ සර්. අනේ සර් ඉක්මන් කරල මේක විසඳලා දෙන්න…” වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට මෙම දුක්ගැනවිල්ල කියාපෑවේ මහරගම ප්‍රදේශයේ මවක විසිනි.

“සම්බාහන මධ්‍යස්ථාන කියලා ලොකුවට බෝඩ් ගහගෙන හැමතැනම ගණිකා මඩං. මහරගම ඉවරයි දැන්…“ ඒ තවත් පුද්ගලයෙකුගෙනි. ඔහු පවසා සිටියේ ද මහරගම නගරයේ පවත්වාගෙන යන ස්පා ආයතන පිළිබඳවය.

“අනේ සර් අපේ ළමයි බේරලා දෙන්න මේ වසංගතෙන්. ඉස්කෝලේ අරින්නත් බයයි. පන්තියකට අරින්නත් බයයි ස්පා හින්දා. හුඟක් ළමයි මේවට රිංගන්න පුරුදු වෙලා කියලා ආරංචියි දැන්…“ ඒ තවත් මවකගේ විලාපයකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට දිගින් දිගටම මෙවැනි ඇමතුම් ගලාගෙන එන්නට වූයේ කඩිනමින් විසඳුමක් ඉල්ලමිනි.

මේ දිනවල යුක්තිය මෙහෙයුමට සමගාමිව මත්ද්‍රව්‍ය වැටලීම්වලට මුල් තැනක් ලබා දුන්නද මේ මව්පියන්ගේ ඉල්ලීම් ඉවත දැමීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සිතේ ඉඩක් තිබුණේ නැත.

මේ පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට දැනුවත් කර ඔහුගේ උපදෙස් අනුව බුද්ධි අංශයේ නිලධාරීන් කීපදෙනෙකු මහරගම නගරයේ ඉතා රහසිගතව ආවේක්ෂණ රාජකාරියේ යෙදවීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ කටයුතු කළේ මේ තොරතුරුවල තිත්ත ඇත්ත දැනගැනීම සඳහාය.

“ආයි කියන්න දෙයක් නෑ සර්. හතු පිපෙනවා වගේනෙ ස්පා තියෙන්නේ එහේ. කතාව බොරු නෙමෙයි…“

“ඔව් සර්. ගන්න දෙයක් නෑ. පන්ති යනවයි කියලා පොඩි කොල්ලො කෙල්ලෝ ගෙවල්වලට හොරෙන් මේවට රිංගනවා…“

ලැබුණු තොරතුරු අනුව ඇතිවී තිබෙන තත්ත්වය ඉතාමත් භයානක බව පැහැදිලි කර ගැනීමට තවත් සාක්ෂි වුවමනා නැත. අගනුවරට ආසන්නයේ පිහිටි ඉතාමත් ජනාකීර්ණ නගරයක් වන මහරගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසල්, උපකාරක පන්ති, විවිධ ආයතන ඇතුළු දහස් ගණන් තරුණ පිරිස් ගැවසෙන ස්ථාන එමට තිබෙන බැවින් මෙම ආයතන නිසා සිදුවන ව්‍යසනය සුළුපටු නොවේ. මේ ගැන වැඩිදුරටත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ මහරගම නගරයේ සහ ඒ අවට ස්පා ආයතන හැත්තෑවක් පමණ තිබෙන බවය. මින් හය හතක්ම පිහිටා ඇත්තේ මහරගම පොලිසිය

අවට වීමද කනගාටුවට කරුණකි. සම්බාහන ආයතන මුවාවෙන් නීති විරෝධී අයුරින් පවත්වාගෙන යන මෙම ස්පා ආයතන නිසා සාමාන්‍ය ජනතාවට විඳින්නට සිදුවී ඇති හිරිහැර කරදර ප්‍රමාණය අපමණය. මේවායේ මත්ද්‍රව්‍ය ජාවාරම ද රහසිගතව සිදු කරගෙන යන්නේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ න්‍යායට මුවා වෙමිනි. මේ නිසා පීඩාවට පත්ව සිටින්නේ තරුණ දරුවන් සිටින අම්මලා වීමද විශේෂිතය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම සියලුම කරුණු සැලකිල්ලට ගෙන වැටලීමට සූදානම් වූයේ ඉතා සූක්ෂ්ම ක්‍රමෝපායක් අනුගමනය කරමිනි. ඔහු මේ සඳහා සැලසුමක් සකස් කළේ උසස් පොලිස් නිලධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් සහ අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ ගැන අවබෝධයක් ලබා ගනිමිනි.

“අපි මේ ස්පා හයම එක සැරේ වටලන්න ඕනෑ. ඒකට ටීම් හයක් වෙන වෙනම යොදවන්න වෙනවා…“ වැටලීමේ භාරදූර වගකීම ආරම්භ වූයේ ඒ අයුරින් සාකච්ඡා පවත්වමිනි. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මේ සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමටද පොලිසිය කටයුතු කළේය. වැටලීමට සූදානම් කර ගත් දින පොලිස් කණ්ඩායම් හයක් සමඟ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මහරගම නගරයට ළඟා වූයේ උපාය දූතයින් මඟින් මෙම ආයතනවලින් කාන්තාවන් ඉල්ලුම් කිරීමෙන් අනතුරුවය. ඉන්පසු මහරගම නගරයේ පොලිසියට මීටර් පන්සීයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ස්පා ආයතන හයටම එකවර වලානින් පැමිණි පොලිස් කණ්ඩායම් හය කඩා වැදුණේ එක සීරුවටය.

මේ එක ආයතනයක කාන්තාවන් හය හත් දෙනකුම සිටි අතර කිසිම චකිතයකින් තොරව ඔවුන් මෙම කටයුතුවල යෙදී ඇති බව මෙහිදී අනාවරණය විය. සමහර ස්පා ආයතන රාත්‍රී 11.00 පමණ වන විට වසා දමන අතර සමහර ඒවා එළිවන තුරු විවෘතව පවතින බවද තවදුරටත් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. රුපියල් හයදාහ, අටදාහ, නවදාහ වැනි මිල ගණන්වලට එම කාන්තාවන් අලෙවි වන අතර සම්පූර්ණ රාත්‍රියක් සඳහා රුපියල් තිස්දාහක් වැනි මිලකට කාන්තාවක් ලබා ගැනීමට ගැනුම්කරුවෙකුට අපහසු නොවන බව පැහැදිලිය.

මේ අනුව කාන්තාවන් දාහතරදෙනෙකු සහ ස්පා ආයතන හයේ කළමනාකරුවන් හයදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර කළමනාකරුවන් දෙදෙනෙකු ඒවායේ හිමිකරුවන් බවද අනාවරණය වී තිබේ.

අවුරුදු 20 සිට 40 වයස්වල පසුවන මෙම සැකකරුවන් බත්තරමුල්ල, රත්මලාන, පාදුක්ක, නුවර, දකුණු පළාත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන්ට සමාජ රෝග වැලඳි ඇද්දැයි පරීක්ෂාවක් සිදු කිරීමට ද කටයුතු කරන බව පොලිසිය පවසයි.

කාලයක් තිස්සේ රිසි අයුරින් කිසිම බියක් සැකක් හිරිකිතයක් නොමැතිව කටයුතු කරමින් මහරගම ප්‍රදේශයට කළු පැල්ලම් එකතු කළ ස්පා ආයතනවල දොර කවුළු වැසී ගියේ ඒ අයුරිනි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත සිරිවර්ධන, පොලිස් පරීක්ෂක සම්පත්, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, චතුරංග, ජයරත්න, ප්‍රේමසිරි, සුපුන්, සැරයන් (34950) සම්පත්, (30115) කරුණාදාස, (38713) ක්‍රිශාන්ත, (1445) බටුවත්ත, (409) විජේරත්න,(51068) පුෂ්පකුමාර, (75056) ඉන්දික, කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (82353) අධිකාරි, (82453) ප්‍රියන්ත, (84889) උදය කුමාර, (87154 තෙන්නකෝන්, (87119) අමිල, (39850) අශාන්, (90452) ලෝගනාදන්, (91287) සංජීව, (92896) අකිල, (93681) ජයසේකර,(91305) රශ්මික, (93425) ධනුෂ්ක, (23105) සිල්වා, (26823) පෙරේරා, (24045) දිල්මින්, (100291) ලසිත, (101840) අලහකෝන්, (104547) කුරුකුලසූරිය, (104555) ලකීෂ, (104792) අබේකෝන්, (104327) දිල්ෂාන්, (104891) හිරුන්, (104914) වෙන්මදිරාජා, (105123) ශ්‍රීමන්ත, (8415) දිල්කී, (11352) දිල්හාරා, (12617) ශාලිකා, (13022) මෙලනි, (13090) රිහාරි, (13103) සමිතා, (6462) බණ්ඩාර, (11919) අජිත්, (80501) තිසර, (80831) උදේශ්, (16227) උදාර, (89631) අබේරත්න, (105529) සිල්වා, (105577) රත්නායක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division