මෑතකදී මූල්‍ය ආයතන කොල්ලකෑම් කීපයක් සිදු වුවද ඒ සෑම කොල්ලයකම පාහේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන එම කොල්ලයන්හි සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවීම පැසසුම් කළ යුත්තකි. ඉකුත් 22 වැනිදා පෙරවරුවේ කලවාන පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ කලවාන නගර මධ්‍යයේ මතුගම මාර්ගයේ පිහිටි මූල්‍ය ආයතනයක සිදුවූ මහා පරිමාණ රන්බඩු සොරකමක් පිළිබඳවය.
රුපියල් හත්කෝටි අනූඑක්ලක්ෂ විසිඅටදහස් තුන්සීය පනස් හතක වටිනාකමකින් යුත් රත්රන් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 770ක එම සොරකමට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සොරකම් කළ රත්රන් තොගයද සොයා ගැනීමට කලවාන පොලිස් නිලධාරින් සමත් වූයේ පැමිණිල්ල ලැබී පැය 4ක් ඉක්ම යන්නටත් මත්තෙනි.එම රන්බඩු සොරකමේ සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන රත්රන් තොගය සොයාගත් ආකාරය කලවාන පොලිසියේ සටහන් වන්නේ මෙලෙසිනි.
කලවාන නගරයේ මතුගම මාර්ගයේ පිහිටි මෙරට ප්‍රසිද්ධ ලීසිං සහ ෆිනෑන්ස් මූල්‍ය ආයතනයක කලවාන ශාඛාවේ සේවකයෝ පසුගිය 20 වැනිදා පස්වරු 2.30ට පමණ සේවය අවසන් කොට නික්ම ගියහ. අනතුරුව සුපුරුදු ඉරිදා දින නිවාඩුවෙන් පසු ඉකුත් 22 වැනිදා සඳුදා දින පෙරවරු 8ට පමණ මූල්‍ය ආයතන සේවක සේවිකාවෝ රාජකාරියට වාර්තා කළහ. එහෙත් සේවකයන් මුහුණ දුන්නේ උභතෝකෝටික ගැටලුවකටය. ඒ ඉබි අගුලු තුනක් යොදා වසා තිබූ මූල්‍ය ආයතනයේ ‘රෝල දොරෙහි‘ එක් ඉබි අගුලක් පමණක් විවෘත වුවද අනෙක් දෙක විවෘත නොවීමයි. අනතුරුව එම ඉබි අගුලු දෙක කපා ඇතුළට ගියද ඇතුළේ පිහිටි වීදුරු දොර දම්වැලක් යොදා ඉබි අගුලු දමා වසා තිබුණද එම දම්වැල සහ ඉබි අගුල ගලවා මූල්‍ය ආයතනයේ පුටු සෙටිය මත දමා තිබුණ අතර ඒ මත රෝල දොරට යෙදූ ඉබි යතුරු අගුලු තුනද විය.
ඒ අනුව සේවකයන්ට විවෘත කර ගැනීමට නොහැකි වූ ඉබි අගුලු දෙක කිසියම් සොරෙකු ඊට යොදා ගිය බවත් මූල්‍ය ආයතනය තුළ කුමක් හෝ සිදුවී ඇති බව හැඟුණු නිලධාරින් ආයතනය තුළට නොගියේය. එසැණින් මූල්‍ය ආයතනයේ වැඩ බලන කළමනාකරු ගියේ කලවාන පොලිසිය වෙතය.
“අපේ බැංකුවේ දොර කඩලා කවුරුහරි ඇතුළට ගිහිල්ලා තියෙනවා වගේ… අපි මුකුත් චෙක් කළේ නෑ…. මුලින්ම ආවේ ඔබතුමාලා දැනුම්වත් කරන්න…“ යැයි කියමින් වැඩ බලන කළමනාකරු පොලිසිය එලෙස දැනු්ම්වත් කරමින් පැමිණිල්ලක් සටහන් කළේය. ඒ අනුව ඒ මොහොතේ කලවාන පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. රංජිත් පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් එම ස්ථානය පරීක්ෂා කළේය. එහිදී පොලිස් කණ්ඩායමට නිරීක්ෂණය වූයේ කළමනාකරුගේ කාමරයේ තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද (DVR) ගලවාගෙන ගොස් ඇති බවයි. එම නිසා මූල්‍ය ආයතනය තුළ සිදුවී ඇත්තේ කුමක් ද යන්න සොයා ගැනීමට ක්රමයක්ද නැති නිසා පොලිස් නිලධාරින් මුහුණපෑවේ ගැටලුවකටය.
මූල්‍ය ආයතනය තුළ සේප්පු දෙකක් තිබිණි. එහි සේවකයන් යුහුසුලු වූයේ සේප්පු තුළ වූ මුදල් සහ රත්රන් පිළිබඳවය. රන් ආභරණ තිබූ සේප්පුව තිබුණේ පහළ මහලේය. මුදල් සේප්පුව ඉහළ මහලේය. එම සේප්පු දෙකෙහි යතුරු තිබෙන්නේ නිලධාරින් දෙදෙනෙකු සතුවය. ඒ, ඒ සහ බී ලෙස නම් කළ යතුරුය. එක් සේප්පුවක් විවෘත කිරීමට ඒ සහ බී යතුරු දෙකම තිබිය යුතුය. ඒ අනුව එම සේවකයන් දෙදෙනා සතුව තිබූ ඒ සහ බී යතුරු දෙක රැගෙන මුලින්ම මුදල් සේප්පුව විවෘත කැරිණි. ඒ තුළ වූ මුදල්වල අඩුවක් නැත. අනතුරුව රත්රන් සේප්පුවද විවෘත කිරීමට තැත් කළත් බී යතුර යෙදූ විට සේප්පුව විවෘත වූයේ නැත.
අනතුරුව මූල්‍ය ආයතන සේවකයන් සිතුවේ කුමක් හෝ සේප්පුවේ සිරවීම නිසා විවෘත වන්නේ නැතිද යන්නය. ඒ අතර බී යතුර තිබූ නිලධාරියා එම යතුර සියුම්ව පරීක්ෂාවේදී දකින්නේ ඔහු සතුව තිබූ යතුර නොව එය වෙනස් යතුරක් බවය. ඒ එම දිගැති යතුර දික්කිරීම සඳහා ඊට කොටසක් පාස්සා යතුර සාදා ඇති ආකාරය නිරීක්ෂණය වීමෙනි. එසේම එම වෙනස් යතුරෙහි අනෙක් යතුරුවල තිබෙන අංක ද දකින්නට නැත. එය වෙනස් යතුරක් නිසා සේප්පුව විවෘත නොවන බවත් කිසියම් අයෙකු යතුර මාරු කර ඇති බවත් සැමටම ඒත්තු ගියේය. පසුව එම සේප්පුවල තවත් යතුරු කීපයක් නිවිතිගල බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ හෙයින් එම යතුරු ගෙනැවිත් සේප්පුව විවෘත කැරිණි. සියල්ලන්ම මවිතයට පත්වූයේ එහි තිබූ උකස් ගත් රන් පැකට් 302න් 301ක්ම නැතිවී ඇති ආකාරය දැකීමෙනි. ඒ අනුව කිලෝග්‍රෑම් 3කට අධික රුපියල් කෝටි හතකට ආසන්න රත්රන් සොරාගෙන ඇති බව හෙළිදරව් වීමත් සමඟ රුපියල් කෝටි ගණනක සොරකමක් සිදුවී ඇති බව මූල්‍ය ආයතනය පරීක්ෂා කළ කලවාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමට ද හැඟී ගියේය.
අනතුරුව කලවාන වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. රංජිත් විසින් කලවාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්.කේ. හේරත් දැනුම්වත් කිරීමත් සමඟ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ද උපදෙස් මත එම රන් සොරකමේ ඉදිරි විමර්ශන විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ඩබ්ලිව්. සී. ගුණතිලකට භාර කෙරිණි.උපපොලිස් පරීක්ෂක ගුණතිලක විමර්ශන ඇරැඹීමත් සමඟ ඔහුටද හැඟුණේ මෙකී සොරකම මූල්‍ය ආයතනයේම පුද්ගලයකු විසින් කර ඇති බවය. උපපොලිස් පරීක්ෂකවරයා මූල්‍ය ආයතනයේ 12 දෙනෙකු වන සියලුම සේවකයන් පොලිසියට කැඳවීය.
“මේ සොරකම ඇතුළෙම කෙනෙක් කරපු විදිහක් තමයි අපට තියෙන සැකය… මේ සේප්පුවේ යතුරු කවුරුහරි සේවකයෙක් මාරු කරලා… අනිවාර්යයෙන්ම ඇතුළේ කෙනෙක් මේ වැඩේ කරලා තියෙන්නේ… කරපු කෙනා දැන් කියන්න… නැත්නම් ප්‍රශ්නයක් වේවි…“ යැයි ගුණතිලක සේවකයන් එලෙස දැනුම්වත් කළේය.
එහෙත් ඔහුගේ බසට කිසිවකු හෝ ප්‍රතිචාර දැක්වූයේ නැත. අනතුරුව එස්.අයි. ගුණතිලක රෝල දොරෙහි ඉබි අගුලු තුනෙහි ඡායාරූපයක් ද ගෙන කලවාන නගරයේ ‘හාඩ්වෙයාර්‘ සියල්ලටම ගියේ එම ඉබි අගුල් මිලදී ගත් පුද්ගලයා කවුරුන්ද යන්න දැනගැනීමේ අටියෙනි. ඔහු එලෙස ගියේ සිවිල් ඇඳුමෙන් සැරසී තනිවමය. එහිදී එම ඉබි අගුලු තිබෙනුයේ කලවාන නගරයේ ඔහු පරීක්ෂා කළ එකම වෙළෙඳසලක බව එස්.අයි. ගුණතිලක දුටුවේය. එම වෙළෙඳසලෙන් පසුගිය දිනවල එම ඉබි අගුලු තුන රැගෙන ගියේ කවුරුන්ද යන්න ඔහු විමසීය. එහෙත් නිශ්චිත තොරතුරක් නොලැබිණි. එම වෙළෙඳසලෙහි සීසීටීවී කැමරා ද නොවීය.පසුව එම වෙළෙඳසල ආසන්න යතුරු කපන ස්ථානයක් ද විය. උපපොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයටද ගියේ මාරු කර තිබූ සේප්පුවෙහි යතුර ගැන හෝඩුවාවක් ලබා ගැනීමටය. එම යතුරු කපන පුද්ගලයාගෙන් ඔහු විමසුවේ කිසියම් අයෙක් සේප්පුවක දිගැති යතුරු කපාගෙන ගියාද යන්නය. එහෙත් යතුරු කපන පුද්ගලයා කීවේද ‘නැත‘ යන්නයි. එස්.අයි. ගුණතිලකට ඒ ඔස්සේ හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. පසුව ඔහු නිකමට මෙන් තවත් මඳ දුරක් ගියේය. ඔහුට හමු වූයේ පෑස්සුම් ආයතනයකි. එහි හිමිකරු හමුවිය.
“බාස්උන්නැහේ කවුරුහරි කෙනෙක් ළඟදි සේප්පුවල යතුරු එහෙම පාස්සගෙන ගියා ද?“ යැයි ගුණතිලක විමසුවේ මාරු කර තිබූ සේප්පුවෙහි යතුරට කොටසක් කිසියම් අයකු පාස්සා තිබූ හෙයිනි.
“පහුගිය දවසක ඔය ඉස්සරහ යතුරු කපන මල්ලි යතුරු වගයක් පාස්සගෙන ගියානේ…“ යැයි එම පුද්ගලයා පැවැසීය. එහෙත් ඒ වන විට එම යතුරු කපන පුද්ගලයා එවැනි කතාවක් එස්.අයි. ගුණතිලකගෙන් වසන් කර සිටියේය. වහා උපපොලිස් පරීක්ෂකවරයා යතුරු කපන පුද්ගලයා හමු වී ඔහු, තමන් පොලිසියෙන් යැයි හඳුන්වා දී නැවත යතුරු ගැන විමසීමේදී එම යතුරු කපන පුද්ගලයා පැවැසුවේ,්
“සර්… අහවල් ආයතනයේ ඉසුරුයි අෂානුයි ඇවිත් පහුගිය දවසක යතුරු කපාගෙන ගියා“ යනුවෙනි.
ඒ අනුව රන් සොරකම පොලිසියට වාර්තා වී පැය තුනක් පමණ යද්දී එස්.අයි. ගුණතිලකගේ සූක්ෂ්ම විමර්ශනයක් ලෙස යතුරු කපාගෙන ගිය පුද්ගලයා අනාවරණය කර ගැනීමට හැකි විය. ඒ වන විට එම පුද්ගලයන් දෙදෙනා ද තම මූල්‍ය ආයතනයේ සොරකම ගැන විස්සෝප වෙමින් මූල්‍ය ආයතනය තුළම රැඳී සිටියේය. පොලිස් නිලධාරින් සැකකරුවන් දෙදෙනා මූල්‍ය ආයතනය තුළ සිටියදී ඉන් එක් සැකකරුවකු වන ඉසුරුගේ නිවෙසද පරීක්ෂා කරන්නට ගියේ සොරාගත් රත්රන් තොගය වෙනත් ස්ථානයකට ගොස් සඟවන්නට පෙරය. ඒ අනුව ඉසුරුගේ ‘මහගෙදර‘ සහ ඔහු බිරිය සහ බිරියගේ මවුපියන් සමඟ පදිංචිව සිටින නිවසටද ගොස් පරීක්ෂා කළ අතර එම පිරිස ඒ වන තෙක් කිසිවක් දැන සිටියේ නැත. එම නිවෙස් පරීක්ෂාවේදී කිසිවක් හමු නොවීය. එසැණින් මූල්‍ය ආයතනයට පැමිණි පොලිස් නිලධාරින් එහි සිටි ඉසුරු සහ අෂාන් අත්අඩංගුවට ගත්තේ කිසිවකුට කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි වන ලෙසිනි.
“නෑ… නෑ… අපි මේ කිසි දේකට සම්බන්ධ නෑ… පොලිසියට විරුද්ධව අපි නඩු දානවා…“ යැයි කියමින් ඒ මොහොතේ ඉසුරු කලබල කරන්නට විය.
එහෙත් ඉසුරුට සහ අෂාන්ට පොලිසියෙන් ගැලවීමක් නැත. කලවාන පොලිසියට රැගෙන ආ ඉසුරු සහ අෂාන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් දෙදෙනා සියල්ල පාපෝච්චාරණය කරන්නට වීමත් සමඟ හෙළි වන්නේ මෙවැනි කතාවකි.ඉසුරු සුරංජිත් බණ්ඩාර 33 හැවිරිදිය. කලවාන, දොළහේනේ පදිංචිකරුවකු වන ඔහු මනා අධ්‍යාපනයකින් හෙබි වැදගත් පවුල් පසුබිමක් සහිත අයෙකි. අතදරුවකුගේ පියකු වන ඉසුරු විවාහ වී සිටින්නේ ගුරුවරියක සමඟිනි. ඉසුරු මෑතක සිට ‘ඔන්ලයින් ගේම්‘ එකකට ඇබ්බැහි වී තමන් සතුව තිබූ මුදල් විශාල ලෙස ‘නැති‘ කරගෙන සිටියේය. ඔහු ඒ නිසා රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් ණය වී සිටියේ බිරියගේ මෙන්ම ඔහුගේ රන් ආභරණ ද තම මූල්‍ය ආයතනයටම උකස් කරමිනි.
“සර්… මං මේ දේ කළේ ණය වෙච්ච නිසා…“ යැයි ඉසුරු කීවේ මේ සොරකමට තමන් මුල පිරූ ආකාරය පොලිසියට හෙළි කරමිනි.
ඉසුරු ඉකුත් කාලය පුරාවටම තමන් සේවය කළ මූල්‍ය ආයතනයේ ‘වැඩ‘ ගැන ඉතා සූක්ෂ්මව සොයා බැලුවේය. වසර හතරක පමණ සේවා කාලයක් හිමි ඉසුරු සහ අෂාන් මූල්‍ය ආයතනයේ විශ්වාසවන්ත නිලධාරින් දෙදෙනෙකි. ඉසුරු අලෙවි නිලධාරියෙකි. ආයතනයේ ‘වොෂ් රූම්‘ ඇතුළු සියලුම දොරවල්හි යතුරු කැරැලි තිබෙනුයේ කළමනාකරුට අමතරව ඉසුරු සහ අෂාන් සතුවය. අෂාන් තිවංක මූල්‍ය ආයතනයේ රන් ණය අලෙවි නිලධාරියාය. 26 හැවිරිදි අෂාන් අවිවාහකය. පදිංචිය කලවාන, පොතුපිටියේය. අෂාන් සහ ඉසුරු මූල්‍ය ආයතනයේ සිටි ගජමිතුරන් දෙදෙනෙකි. ඉසුරු ලක්ෂ ගණනක් ණය වී සිටින හෙයින් ඔහු මූල්‍ය ආයතනයේ සිදු කරන්නට යන රන් සොරකමේ ‘සැලැසුම‘ අෂාන්ට කීවේ ඔහුගේ සහාය ද ලබා ගැනීමේ අටියෙනි.
අෂාන්, ඉසුරුගේ එම යෝජනාවට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් අෂාන් වෙනත් කෙනෙකුගෙන් පොලියට ගෙන රුපියල් ලක්ෂ 8ක මුදලක් ඉසුරුට දී තිබුණේ හිතවත්කම මතය. අෂාන්ට එම මුදල් ලැබීමද ප්‍රමාද වෙමින් තිබිණි. ඔහුට පොලිකරුගෙන් බේරීමක් ද නොමැතිව සිටියේය. එම නිසා අෂාන්ද එම මුදල් ලබා ගැනීමේ අටියෙන් ඉසුරුගේ යෝජනාවට පසුව කැමැති විය.
රන් සොරකමට දෙදෙනාම කැමැති වීමෙන් පසු මූල්‍ය ආයතනයේ තිබෙන සේප්පු දෙකේ යතුරු ගැන අවධානය යොමු කෙරිණි. එහිදී දෙදෙනා සොයා ගත්තේ සේප්පුවල ‘ඒ‘ ලෙස නම්කර තිබෙන යතුරු භාර නිලධාරියා එම යතුරු ඔහුගේ මේස ලාච්චුවේ අනාරක්ෂිත ලෙස දමා යන බවය. ‘බී‘ ලෙස නම්කර තිබෙන යතුරු භාර නිලධාරියා උඩු මහලෙහි මුදල් සේප්පුව විවෘත කිරීමට යද්දී ඔහු පහළ මහලේ තිබෙන රන් සේප්පුවේ යතුරු ඔහුගේ මේස ලාච්චුවේ දමා යාම සිරිතක් බවද ඔවුන් දෙදෙනා දැන සිටියේය. එසේ නොමැතිව ඔහු කිසිම විටෙක එම යතුරු ආයතනයේ කිසිම තැනක නොතබා රාජකාරියෙන් පසු නිවසට ද රැගෙන යන බව දෙමිතුරෝ දැන සිටියහ.
දිනක් ‘බී‘ යතුර හිමි නිලධාරියා ඉහළ මහලේ මුදල් සේප්පුව විවෘත කිරීමට ගොස් සිටියදී ඔහුගේ මේස ලාච්චුවේ තිබූ රන් සේප්පුවේ යතුර සොරාගත් ඉසුරු කලවාන නගර මධ්‍යයේ පිහිටි යතුරු කපන්නා වෙත එම යතුර රැගෙන ගොස් ඊට සමාන යතුරු කප්පවා ගත්තේ රුපියල් හයදහසක මුදලකට ගනුදෙනු පොරොන්දු වෙමින් ඔහුටද බොරුවක් කියමිනි. ඒ මූල්‍ය ආයතනයේ සේප්පුවල යතුරු නැති වී ඇති බවත් විගණන අංශයෙන් පැමිණියහොත් කළමනාකරුට ගැටලුවක් වීමට මත්තෙන් යතුරු කපන බවට බේගලයක් ඇද බාමිනි. ඒ අවුරුදු නිවාඩුවට කලිනි.
එලෙස යතුරු සාදවා ගත් ඉසුරු නව වසරේ නිවාඩුවට මූල්‍ය ආයතනය වසා දැමූ පසු සොරකම සිදු කරන්නට අෂාන් සමඟ කතිකා කරගත්තේය. අෂාන් ඊට එතරම් කැමැත්තක් නොදැක්වීය. කෙසේ හෝ නව වසර නිවාඩුවට සොරකම කිරීමට නොහැකි විය.
පසුව පසුගිය 20 වැනිදා ඒ සඳහා දෙදෙනා සූදානම් වුවත් අෂාන් ඊට කැමැත්තක් නොවීය.
“උඹ මේකට කැමැති වුණේ නැත්නම් මම බෙල්ලේ වැල දාගන්නවා… අපට වෙන කරන්න දෙයක් නෑ… මට මේ සල්ලි ඕනෑ…“ යැයි කියමින් ඉසුරු අෂාන් ඉදිරියේ එලෙස බැගෑපත් විය.
ඒ සමඟ අෂාන් ද ඊට කැමැති වූයේ ඔහු ඉසුරුට පොලියට ගෙන දී තිබෙන රුපියල් ලක්ෂ අටක මුදලද ලබා ගැනීමට හැකිවේයැයි අටියෙනි. පසුගිය 20 වැනිදා ඉසුරු සහ අෂාන් ඇතුළු සේවකයෝ රාජකාරි කටයුතුවල නිරත වූහ. එදින ඉසුරු කපාගෙන විත් තිබූ ‘බී‘ යතුර හිමි නිලධාරියා සතුව තිබෙන ‘ඔරිජිනල්‘ යතුරුවලට මාරු කළේ බී යතුර හිමි නිලධාරියාගේ පොකැට්ටුවෙන් නියම යතුරු ගෙන කපන ලද ව්‍යාජ යතුරු ඊට දමමිනි. ඒ එම නිලධාරියා උඩු මහලේ තිබෙන මුදල් සේප්පුව විවෘත කරන්නට ගිය ඇසිල්ලේය.
ඒ අනුව එදින මූල්‍ය ආයතන සේවකයෝ සියලු දෙනා සවස 2.30 වෙද්දී ආයතනය වසා දමා නිවෙස්වලට ගියහ. ඉසුරු ද මූල්‍ය ආයතනයට මීටර් 500ක් පමණ ඈතින් පිහිටි ඔහුගේ මහගෙදර ගියේය.
මහගෙදරට ගිය ඉසුරු නැවත විනාඩි කීපයකින් මූල්‍ය ආයතනයට පැමිණ ඔහු සතු මූල්‍ය ආයතනයේ යතුරු කැරැල්ලෙන් රෝල දොර විවෘත කොට එහි වූ ඉබි අගුලු තුන ද ගෙන මූල්‍ය ආයතනය තුළට ගියේ රෝල දොර පහළට ඇද දමමිනි. පසුව විදුරු දොරද විවෘත කරගත් ඉසුරු ‘ඒ‘ යතුරු හිමි නිලධාරියාගේ ලාච්චුවේ වූ යතුරු ගෙන ඔහු සොරකම් කළ බී යතුරද ගෙන ඉහළ මහලේ වූ රන් සේප්පුව විවෘත කොට එහි තිබූ රන් පැකට් 302න් 301ක්ම ගත්තේය. පසුව මූල්‍ය ආයතනයේ ඉබි අගුලු තුන මිටියකින් තළා මූල්‍ය ආයතනයේ ‘පුටු සෙටිය‘ මත තැබුවේ වීදුරු දොරෙහි දම්වැල සහ ඉබි අගුලද ඒ මත තබමිනි. පසුව සීසීටීවී කැමරා පද්ධතියේ ඩීවීආර් යන්ත්‍රයද ගලවාගත් ඉසුරු රන් තොගය සහ එම යන්ත්‍රයද රැගෙන පලා ගියේ රෝල දොරට ඔහු ගෙන ආ නව ඉබි අගුලු තුනක් යොදමිනි. එම ඉබි අගුලු තුනෙන් ද දෙකක් අගුලු දමද්දී එකක් පමණක් අගුලු නොදමා ගොස් තිබිණි.
පසුව රන් පැකට් අයිස් ක්‍රීම් බඳුනකට දමා තම ‘මහගෙදර‘ වත්තේ වළ දැමූ ඉසුරු සඳුදා දින සුපුරුදු ලෙස රාජකාරියට පැමිණියේ කිසිවක් නොදත් අයකු ලෙසිනි.
පසුව එස්.අයි. ගුණතිලක සිදුකළ සූක්ෂ්ම විමර්ශනයෙන් ඉසුරු සහ අෂාන් පොලිසියට කොටු වූයේ පැමිණිල්ල ලැබී පැය හතරක් වැනි කෙටි කාලයකදීය. අත්අඩංගුවට ගත් දෙදෙනා කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඉදිරියේදී පොලිසිය විසින් මේ දෙදෙනාට විරුද්ධව සොරකමට අදාළව පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් වේ.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික් IV සහකාර පොලිස් අධිකාරි එස්. ඩබ්ලිව්. මිගහපොළගේ අධීක්ෂණයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්.කේ. හේරත්ගේ මඟපෙන්වීමෙන් එවකට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. රංජිත්ගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සී. ගුණතිලක, කාන්තා සැරයන් (2748) ලක්මාලී, කොස්තාපල්වරුන් වන (91164) මංගල, (24553) සුපුන්, (42814) කුලතුංග ඇතුළු නිලධාරිහු විමර්ශන සිදු කළහ.
ඡායාරූප කලවාන සමූහ – සේන වේරගම
අමිල මලවිසූරිය