Home » කඳුළින් නිමවූ අවුරුදු වොලිබෝල් තරගය

කඳුළින් නිමවූ අවුරුදු වොලිබෝල් තරගය

by thanushika
May 4, 2024 12:30 am 0 comment
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ
සැකකරුගේ නිවසේ තිබූ අත්ට්‍ර්‍රැක්ටරයක් ගිනිතබා තිබූ අයුරු

වසර කිහිපයකට පසු මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ජනතාව මහත් හරසරින් සමරන්නට ගත් උත්සාහය වෙනදාට වඩා කැපී පෙනෙන්නට තිබුණි. කඩ සාප්පු පුරා ජනතාව රැස්ව සිටි ආකාරයෙන් සහ රටපුරා පැවති අලුත් අවුරුදු උත්සව ඇතුළු විවිධ වැඩසටහන් තුළින් ඒ බව මනා සේ දක්නට ලැබුණි.

මාතර, හක්මන කෝංගල ප්‍රදේශයේ තරුණයන් ද එකතු වී රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා තරගයක් පැවැත්වීම පිණිස කටයුතු සංවිධානය කළේ මෙවර අලුත් අවුරුද්දේ අසිරිය ගමේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමේ අරමුණෙනි. එහෙත් එය හිරිමල් යෞවනයේ පසුවන තරුණයකුගේ ජීවිතය අහිමි කරන ඛේදවාචකයකින් නිමවේ යැයි කිසිවකුත් නොසිතන්නට ඇත.

දිනය අප්‍රේල් මස 14 වැනිදාය. එනම් සිංහල දමිළ අලුත් අවුරුද්දට පසුදිනය. කෝංගල මධ්‍යම බලවත්ත වොලිබෝල් ක්‍රීඩා පිටිය දිවා රාත්‍රී තරගයක් වෙනුවෙන් විදුලි බුබුළුවලින් ආලෝකවත් කර සකස් කර තිබුණේ රාත්‍රී එළඹෙත්ම තරගය උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන්නටය. එහෙත් හදිසියේ ඇදහැළුණු මහා වැස්ස තරගයට බාධා ඇති කරද්දී සංවිධායකයන් ඇතුළු තරුණ ප්‍රජාව ක්‍රීඩාංගණයට රැස්ව සිටියේ වැස්ස තුරල් වී ලැබෙන අවසරයකින් තරගය ආරම්භ කිරීමේ අරමුණින් වුවත් වැස්ස ඊට කිසිම සහායක් ලබා දුන්නේ නැත.

ඒ අතර ක්‍රීඩා පිටිය ආසන්නයේ පිහිටි නිවසේ විසූ චන්ද්‍රකීර්ති ද එම ස්ථානයට පැමිණියේය. ඔහුගේ පැමිණීමත් සමඟ ක්‍රීඩා පිටියේ එතෙක් රැඳී සිටි විරාජ් පියුමාල් සමඟ ආරවුලක් ඇති කරගනු දක්නට ලැබුණු අතර කලක සිට දෙදෙනා අතර පවතින ආරවුල මෙලෙස යළි ඉස්මතු වූයෙන් සෙසු පිරිසගේ ඉල්ලීම වූයේ දෙදෙනාටම සන්සුන් වන ලෙසය.

විරාජ් පියුමාල් සමඟ මෙලෙස ආරවුලට පැටලී සිටියේ ඔහුගේ මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයාය. එනම් විරාජ් පියුමාල්ගේ බාප්පාය. බාප්පාගේ පුතෙකුට කලින් විරාජ් පියුමාල් විසින් පහර දීමක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් දෙදෙනා අතරේ මෙම ආරවුල් සහගත තත්ත්වය කලක සිට පැවැතිණි. මින් පෙර අවස්ථාවකදී ද දෙදෙනාගේ බහින්බස් වීම ගුටි හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබූ අතර මෙදින ද සිදුවෙමින් පැවතියේ එවැනිම තත්ත්වයකි.

දෙදෙනා අතර මුලින් ඇතිවූ බහින්බස් වීම ගුටි හුවමාරුවක් දක්වා වර්ධනය වෙමින් තිබියදී චන්ද්‍රකීර්ති තම නිවසට දිවගොස් පිහියක් රැගෙන නැවත ‘ආවේශයෙන්’ මෙන් දිව ආ අතර විරාජ් පියුමාල්ට ඔහු දිගින් දිගටම පිහි පහර එල්ල කළේ රැඳී සිටිය අය කිසිවකුටත් බේරා ගැනීමට නොහැකි වන සේය.

බාප්පාගෙන් තියුණු පිහි පහර කිහිපයක් එල්ල වූ විරාජ් පියුමාල්ගෙන් ලේ දහරා ගලා යද්දී ඔහු වාරු නැතිව බිම ඇද වැටෙද්දී අවට සිටිය පිරිස එක්වී විරාජ් කඩිනමින් රෝහල්ගත කරන්නට ක්‍රියා කළ ද ඒ සියලු උත්සාහයන් අසාර්ථක කරමින් විරාජ් පියුමාල් මෙලොව හැර ගියේ යහළුවන්ගේ දෑස් කඳුළින් තෙමී යද්දීය.

විරාජ් පියුමාල්ට පිහියෙන් ඇන ඝාතනය කළ ඔහුගේ බාප්පා වූ චන්ද්‍රකීර්ති ඒ සමඟින් නිවසින් පිටව පලා ගිය අතර රැස්ව සිටි අය අතර සිටි කිසියම් පිරිසක් ඝාතකයාගේ නිවසට සහ එහි තිබූ බඩුබාහිරාදියට ගිනි තබා විනාශ කළේ සිදුකළ අපරාධයට අනීතිකව ලබා දෙන දඬුවමක් ලෙසය. ඝාතනය සිදුවූ දිනට පසු දින එනම් අප්‍රේල් මස 15 වැනි දින පෙරවරුවේදී එම ස්ථානයට පැමිණි දෙයියන්දර වැඩ බලන මහේස්ත්‍රාත් තර්ස්ටන් ගුණරත්න මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ඝාතනයට සම්බන්ධ සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

ඝාතනය සිදුකර පලා ගිය චන්ද්‍රකීර්ති සොයා හක්මන පොලිසිය විමර්ශන ආරම්භ කරද්දී ඝාතනය සිදුකළ චන්ද්‍රකීර්ති සැඟව සිටිමින් 14 වැනි දින රැය පහන් කරන්නට පියවර ගෙන තිබුණේ හිතවතෙකුගේ සහාය ද ඇතිවය.

චන්ද්‍රකීර්ති සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී හක්මන පොලිසියේ සැරයන් (40804) ජයසේකරට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබුණේ 14 දින රැය පුරා සැඟව සිටි සැකකාර චන්ද්‍රකීර්ති වීරවිල දෙසට පලා යාමේ අරමුණින් තම සොහොයුරියගේ නිවසට 15 වන දින සවස් වන විට පැමිණීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුව තමා ලද එම තොරතුර සැරයන් ජයසේකර හක්මන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාරට දැනුම් දුන්නේ සැකකරු ප්‍රදේශයෙන් පලා යාමට මත්තෙන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටය.

එලෙස තම නිලධාරියා ලබා දුන් තොරතුර පොලිස් පරීක්ෂක සමන් කුමාර ඒ වන විට නිවාඩු ලබා සිටි හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර සහ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබාගත්තේ සැකකරු පොලිස් දැලට කොටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කිරීම සඳහාය. එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර තම නිලධාරියාට උපදෙස් ලබා දී තිබුණේ සිදුවිය හැකි හානි අවම කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

සැකකරු පැමිණීමට නියමිතව තිබූ ඔහුගේ සහෝදරියගේ නිවස පිහිටි හක්මන, ගල්කන්ද ප්‍රදේශයේ පොලිස් කණ්ඩායමක් ඉතා රහසිගත ලෙස රැකවල්ලා සිටියේ කොයි මොහොතේ හෝ පැමිණෙන සැකකරු අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි.

පොලිසියේ අරමුණ සහ ඉලක්කය සාර්ථක කරමින් පහළොස්වැනි දින සවස් යාමය උදා වෙමින් තිබියදී සැකකරු සන්සුන් ගමනින් සහෝදරියගේ නිවසට පැමිණෙනවාත් සමඟ සැඟව සිටි පොලිස් කණ්ඩායම ඉදිරියට පැන සැකකරු කොටු කර ගනිද්දී සැකකරු අන්දමන්ද වී සිටියේය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු හක්මන පොලිසියට රැගෙන ගොස් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් පාපෝච්චාරණය කර ඇත්තේ සැකකරු සහ විරාජ් පියුමාල් අතර කලක සිට මෙම ආරවුල පැවත ඇති බවත් දෙදෙනා මුණගැසෙන ඇතැම් අවස්ථාවන්වලදී ගැටුම්වලට පවා පිවිසුණ බව ය. එමෙන්ම ඝාතනය සිදුවූ දිනයේ ද පියුමාල් බීමතින් පැමිණ සැකකරුගේ නිවස ඉදිරිපිට සිට බැණ වදිමින් තමාට තර්ජනය කළ බවත්ය. සැකකරු සඳහන් කළ තොරතුරුවලට අනුව ඝාතනය සිදුකර ඔහුට සැඟව සිටීමට අවස්ථාව සලසා දුන් සහ උදවු කළ සැකකරුගේ මිතුරකු ද දහසය වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගත් 15 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් ඔහුගේ නිවසට ගිනිතබා විනාශ කර ඇති බවට පසුගිය දහසය වැනි දින සැකකරුගේ බිරිය පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය දහසය වැනි දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

චන්ද්‍රකීර්ති මන:කල්පිත නමකි. පොලිස් පරීක්ෂණ අනුව ලිපිය සකස් කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division