Home » සල්මාන්ට යළිත් මරණ තර්ජන

සල්මාන්ට යළිත් මරණ තර්ජන

ප්‍රසිද්ධිය සඳහා කරන රඟපෑමක් ද?

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

මුම්බායි නුවර පිහිටි සල්මාන් ඛාන් ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම පසුගිය දවස්වල එරට මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. මෙයින් සල්මාන්ට හෝ පවුලේ කිසිවකුට හෝ අනතුරක් සිදු නොවුණත් ඔවුන් යම් කම්පනයකට ලක්ව සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අලුයම් කාලයේ මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු තමයි මෙම වෙඩි තැබීම කර තිබුණේ. කෙසේ හෝ වේවා, මෙය ප්‍රසිද්ධිය උදෙසා සල්මාන්ලා විසින්ම කරන ලද රඟ දැක්වීමක් විය හැකි බවටත් සමහරුන් අදහස් දක්වා තිබෙනු දක්නට ලැබුණු අතර සල්මාන්ගේ පවුලේ සාමාජිකයන් මේ කතා දැඩි සේ ප්‍රතික්‍ෂේප කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. මෙයට පෙර ද කිහිප වතාවකම සල්මාන්ට මරණ තර්ජන එල්ල වී තිබෙන බව රහසක් නොවෙයි.

මෙම වෙඩි තැබීම සිදු වී වැඩි වේලාවක් යාමට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ආරක්‍ෂක කැමරාවල සටහන්ව තිබූ දර්ශන මෙම සැකකරුවන් හඹා යාමේ දී පොලිසියට උදව් වී තිබූ බවයි පෙනුණේ. ඔවුන් මුලින්ම සොයා ගොස් තිබුණේ මෝටර් සයිකලයේ ලියාපදිංචි හිමිකරුයි. නමුත් ඔහු පවසා තිබුණේ තමා එම මෝටර් සයිකලය අලෙවි කිරීම සඳහා ඊට ටික දිනකට පෙර අලෙවි ආයතනයක් වෙත බාර දුන් බවයි. පොලිසිය මෙම ආයතනය වෙත ගොස් තිබූ අතර මෝටර් සයිකලය ඒ වනවිට යම් පාර්ශ්වයක් මිල දී ගෙන ඇති බව එහි දී දැනගන්නට ලැබී තිබුණා. එය මිල දී ගත් අයගේ හැඳුනුම්පත් විස්තර සහ ඔවුන්ගේ පදිංචිය පිළිබඳ විස්තර පොලිසියට එහි දී ලබා ගැනීමට හැකිව තිබූ බව සඳහන්. ඒ ඔස්සේ කළ මෙහෙයුමකින් පසු සැකකරුවන් අල්ලාගෙන තිබුණේ ඔවුන් ගුජරාත් ප්‍රාන්තයේ භුජ් නැමැති ප්‍රදේශයේ ආගමික ස්ථානයක සැඟවී සිටියදී යි.

පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ විකී ගුප්තා සහ සාගර් පාල් නැමැති තරුණයන් දෙදෙනෙක්. ඔවුන්ගේ වයස් පිළිවෙළින් අවුරුදු 24 ක් සහ 21 ක්. මේ දෙදෙනා සල්මාන් ගේ මුම්බායි නිවසට වෙඩි තැබීමට දින හතරකට පෙර පන්වෙල් නැමැති ප්‍රදේශයේ පිහිටි සල්මාන්ගේ ගොවිපල අවටත් ගැවසී විපරම් කර තිබුණා ලු. වෙඩි තැබීම කළේ තමුන් බැව් ඔවුන් පිළිගත් බවත් පොලිසිය පවසා තිබුණා.

සල්මාන්ට මෙම මරණ තර්ජන එල්ල වන්නේ ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල නායකයකුගේ කල්ලියකින් බවයි පැවසෙන්නේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ද එම කල්ලියේ කොන්ත්‍රාත්තුවක් ඉටු කර ඇති බව විශ්වාස කෙරෙනවා. ලෝරන්ස් බිෂ්නෝයි මේ වනවිට සිටින්නේ බන්ධනාගාරයේ වුවත් ඔහුගේ කල්ලියේ සාමාජිකයන් විවිධ රටවල සිට ක්‍රියාත්මක වන බව සඳහන්. පසුගියදා වූ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ වගකීම බාර ගනිමින් ලෝරන්ස් ගේ සොහොයුරකු වන අන්මෝල් බිෂ්නෝයි සමාජමාධ්‍ය හරහා ප්‍රකාශයක් කර ඇති බවකුත් සඳහන් වුණා.

බිෂ්නෝයිලා සල්මාන් සමඟ වෛර බැඳගෙන සිටින්නේ මෙයට වසර ගණනාවකට පෙර සිදු වූ සිද්ධියක් නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. 1998 වසරේ එක්තරා චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ගොස් සිටිය දී ජෝද්පූර් නම් ප්‍රදේශයේ දී සල්මාන් බ්ලැක්බක් වර්ගයේ සතුන් දෙදෙනකු දඩයම් කළ බවට චෝදනා එල්ල වුණා. බිෂ්නෝයි යනු මෙම ප්‍රදේශයේ ජීවත් වන විශේෂ ජන කණ්ඩායමක්. ඔවුන් මෙම සතුන් පූජනීයත්වයෙන් සලකන ජන කොට්ඨාසයක් බව සඳහන්. ලෝරන්ස් බිෂ්නෝයි ඇතුළු පිරිස සල්මාන් සමඟ වෛරයෙන් පසුවන්නේ මෙම සිද්ධිය නිසා බව පැවසෙනවා.

2022 සහ 2023 වසරවලත් මේ ආකාරයෙන්ම සල්මාන්ට සහ ඔහුගේ පවුලේ අයට මරණ තර්ජන එල්ල වුණා. එක් අවස්ථාවක ඊමේල් පණිවුඩයක් මඟින් ද, අනෙක් අවස්ථාවේ ලිපියක් මඟින් ද තර්ජන එල්ල වී තිබුණා. එම ලිපිය තබා ගොස් තිබුණේ සල්මාන් ගේ පියා වන සලීම් ඛාන් ව්‍යායාම පිණිස ඇවිදින්නට යන මංතීරුවක් අද්දර බංකුවක් මත යි.

කෙසේ හෝ වේවා, මරණ තර්ජන පිළිබඳ කාරණා ඒ ආකාරයෙන් සිදු වෙද්දී සල්මාන් මේ දිනවල අලුත් චිත්‍රපටයක වැඩ කටයුතුවලටත් සූදානම් වෙමින් සිටින බව සඳහන්. මෙම සිනමාපටයේ නම ‘සිකන්දාර්‘. එහි රූපගත කිරීම් මැයි මාසයේ ආරම්භ වනු ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division