Home » සිසුන්ට දිවා ආහාර දෙන්න සහල් පරිප්පු පාසල්වලටම

සිසුන්ට දිවා ආහාර දෙන්න සහල් පරිප්පු පාසල්වලටම

by sachintha
April 20, 2024 2:35 am 0 comment

පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සියලු‍ පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දෙන රජයේ වැඩසටහන නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ක්‍රියාත්මත වන අතර, ඒ සඳහා පරිප්පු මෙට්‍රික්ටොන් 378.835ක්, සන්ෆ්ලවර් පිසින තෙල් මෙට්‍රික්ටොන් 412.08ක්, රටඉඳි මෙට්‍රික්ටොන් 300ක් පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ප්‍රදානය කළ ‘සබලකරණය‘ කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී පසුගිය 19 දා ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම‍ ආරම්භ වූ අතර එය සෙනසුරාදාද ක්‍රියාත්මක විය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු විය. රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDIA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division