Home » ලොවම තිගැස්සු කේට් කුමරියගේ රෝගය

ලොවම තිගැස්සු කේට් කුමරියගේ රෝගය

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

බ්‍රිතාන්‍යයේ රජ පවුලට මේ ලබා ඇත්තේ තරමක් නරක කාලයක් බවයි පෙනෙන්නේ. චාල්ස් රජුට පිළිකාවක් වැලඳී ඇති බව නිවේදනය කර මාස එකහමාරක් වැනි ඉතා කෙටි කාලයකට පසු නැවතත් එවැනිම කනගාටුදායක පුවතක් ගැන පසුගිය දා රජ පවුලෙන් වාර්තා වුණා. එයින් පැවසුණේ මීළඟට සිහසුන බාර ගැනීමට සිටින විලියම් කුමරුගේ බිරිඳ කැතරින් හෙවත් කේට් කුමරියට ද පිළිකාවක් වැලඳී ඇති බව යි. මෙය රජ පවුලේ රසිකයන් දැඩි කම්පනයට පත් කළ ආරංචියක් වූවාට කිසිදු සැකයක් නැහැ.

කේට් කුමරියගේ පිළිකාව හටගෙන තිබෙන්නේ උදරයේ බවයි සඳහන් වන්නේ. පසුගිය ජනවාරි 16 වැනි දින ඇය සැත්කමක් සඳහා ලන්ඩන් ක්ලින්ක් නැමැති රෝහලට ඇතුළත් වුණා. එය බරපතළ සැත්කමක් බව පෙනුණේ සැත්කමෙන් පසු සති දෙකකට ආසන්න කාලයක් කේට් රෝහලේම රැඳී සිටීම නිසයි. රෝහලෙන් නික්ම ඒමෙන් පසුව ද ඇයට මාස කිහිපයක් විවේක ගන්නට සිදුවනු ඇති බව පැවසුණා. ඒ කාලය තුළ ඇය සියලු නිල කටයුතුවලින් බැහැරව සිටිනු ඇති බවයි සඳහන් වුණේ.

කෙසේ නමුත් ජනවාරි මාසයේ සැත්කම කළ අවස්ථාවේ රජ පවුල පැවසුවේ එය පිළිකාවක් සම්බන්ධ සැත්කමක් නොවන බවයි. නමුත් සැත්කම කළේ කුමක් සඳහා ද යන්න නිශ්චිතව සඳහන් වුණේත් නැහැ. කෙසේ හෝ වේවා කේට් ගේ අසනීපය සුළු අසනීපයක් විය නොහැකි බවට බොහෝ දෙනා තුළ එම අවස්ථාවේ සැකයක් ඇති වුණා.

තමාට ඇත්තේ පිළිකාවක් බව කේට් විසින්ම වීඩියෝවක් හරහා නිවේදනය කරන ලද්දේ ඉහත කී සැත්කමෙන් මාස දෙකකට ආසන්න කාලයකට පසුවයි.

“මට තිබුණේ පිළිකාවක් නොවන බවයි සැත්කම කළ අවස්ථාවේ පෙනෙන්නට තිබුණේ. කෙසේ නමුත් පසුව සිදු කෙරුණු පරීක්‍ෂණවලින් හෙළි වූයේ පිළිකාමය තත්ත්වයක් පවතින බවයි”.

පිළිකාව ගැන හෙළි කිරීම ප්‍රමාද වීමට හේතුව කේට් එලෙස සඳහන් කර තිබුණා.

ඇයගේ පිළිකාව මේ වනවිට ඇත්තේ කවර තත්ත්වයක ද යන්න අනාවරණය කෙරුණේ නැහැ. නමුත් පෙබරවාරි අවසන් භාගයේ පමණ රසායනික ප්‍රතිකාර හෙවත් කිමෝ ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පැවසෙනවා.

42 වැනි වියෙහි පසුවන කේට් දරුවන් තිදෙනෙකුගේ මවක්. ඔවුන් තවමත් ඉතා කුඩා වයස්වලයි පසුවන්නේ. වැඩිමහල් පුතා වන ජෝර්ජ් ගේ වයස තවමත් අවුරුදු 10 ක් පමණයි. දෙවැනි දරුවා වන චාලට් දියණිය 8 වැනි වියෙහි ද, බාලයා ලුවී 5 වැනි වියෙහි ද පසුවෙනවා. දරුවන් ද ඉතා කුඩා නිසා කේට්ගේ පිළිකාව ඇය තුළ විශාල මානසික පීඩනයක් ඇති කර තිබෙනවාට සැකයක් නැහැ.

‘මගේ තත්ත්වය ගැන ජෝර්ජ්ට, චාලට්ට සහ ලුවීට, ඒ අයට තේරෙන ආකාරයෙන් පැහැදිලි කර දීමටත්, මා නැවත සුවය ලබා සමාන්‍ය තත්ත්වයට පත් වන බවට විශ්වාසයක් ඔවුන් තුළ ඇති කිරීමටත් බොහෝ කාලයක් ගත වූණා” යැයි කේට් ඇයගේ විඩියෝ පණිඩුඩයේ දී සඳහන් කරනවා. එමෙන්ම විලියම් තමා අසල සිටීම තමාට කෙතරම් ශක්තියක් වී ඇත්ද යන්නත් ඇය මෙහි දී ප්‍රකාශ කරනවා.

කේට්ගේ මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ඇයට සුවය ප්‍රාර්ථනා කරමින් සහ ඇය වෙත ආදරය දක්වමින් පණිවුඩ ගලා එන්නට පටන් ගත් බවත් සඳහන්. කේට් යනු රජ පවුලේ සාමාජිකයන් අතුරින් ජනප්‍රියම සාමාජිකාවක බව රහසක් නොවෙයි. මෑතක කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබුණේ මේ වනවිට බ්‍රිතාන්‍ය ජාතිකයන් ගේ ප්‍රියතම රාජකීයයා කේට් බවයි. ඇය මෙහි දී විලියම් පවා පසු කර ගොස් තිබුණා.

කේට් අනාගතයේ රජ බිසවක බවට පත් වීමට සිටින කාන්තාවක බවත් අමතක කළ නොහැකියි. එම තත්ත්වය තුළ ඇය නැවත සම්පූර්ණ සුවය ලබා සුපුරුදු තත්ත්වයට පත් වීම බොහො දෙනාගේ ප්‍රාර්ථනය වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

විලියම් සහ හැරී අයිය මලෝ අතරත් පසුගිය කාලයේ වැඩි ඇයි හොඳයියක් තිබුණේ නැහැ. විවිධ හේතු නිසා ඔවුන් විරසක වෙලයි ඉන්නේ. රජ පවුලේ ප්‍රධානම සාමාජිකයන් දෙදෙනකු දැඩි ලෙස ගිලන් වී පවුල දැඩි අර්බුදයක වැටී සිටින වේලාවක මෙවැනි විරසකයන් තවදුරටත් පවත්වාගෙන යාම කෙතරම් සුදුසු ද යන්න ගැනත් බොහෝ දෙනා මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. කෙසේ හෝ වේවා, කේට් ගේ පිළිකාව ගැන දැනගත් වෙලාවේ හැරී සහ ඔහුගේ බිරිඳ මෙගන් දෙදෙනාම විලියම්ට සහ කේට්ට කතා කර තිබූ බවත් මාධ්‍ය තුළ සඳහන් වුණා. පසුගිය කාලයේ ඔවුන් අතර පැවැති නොහොඳ නෝක්කාඩුකම් ඉදිරියේ දී සමතයකට පත් වීමට යම් ඉඩක් ඇති බවත් පෙනෙනවා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division