Home » බැරි කාලේ හයියක් වුණු එයාව ජනප්‍රියත්වය ලැබුණම කොහොමද අත අරින්නේ

බැරි කාලේ හයියක් වුණු එයාව ජනප්‍රියත්වය ලැබුණම කොහොමද අත අරින්නේ

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

– මට ලැබෙන ප්‍රතිචාරවලට මගෙ දරුවෝ පුදුම වෙන අවස්ථා තියෙනවා
– අපි වෙනුවෙන් කලාව වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරගෙන නාට්‍ය බලන එක ගැන සතුටුයි
– මාව හැදුවේ වේදිකාව. ඒ නිසා වේදිකා නාට්‍ය කරන්නේ රඟපාන්නේ හරි ආසාවෙන්
– ගමේ ජීවිතේ එක්ක දුක සැප බෙදාගෙන ජීවත් වෙන දෙන්නෙක් අපි දෙන්නා
– ඇය නැත්තම් මම මේ ගමන මේ විදිහට දුර යන්නෙ නැහැ

ඉන්ගම් මාරුවෙන් පුංචි තිරයට ඇවිත් කලාත්මක නිර්මාණ බොහෝමයකට සම්බන්ධ වූ ඔහු ‘රෝමය ගිනි ගනී‘ වේදිකා නාට්‍යයෙන් සජීවී මාධ්‍යකරණය ආකර්ෂණය කරගත් නමුත් වඩාත් කතාබහට ලක්වෙන්නේ ‘මචං‘ සිනමාපටයෙන්. රංගනයේ පොඩි රස්තියාදුකාර පෙනුමක් ඇති ඔහු පුංචි තිරයේ වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්නේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ආනන්ද වෙමින්. ඔහු ධර්මප්‍රිය ඩයස්. හැමෝගෙම ආදරය හිමි වෙන සම්මානනීය රංගන ශිල්පි ධර්මප්‍රිය ඔහු හා ඔහුගේ ආගිය තොරතුරු මේ විදිහට රසඳුන එක්ක කතා කළා.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ආනන්ද කියන නපුරු තාත්තා ඇතුළේ හිටපු ආදරණීය තාත්තාට බොහෝ දෙනෙක් ආදරේ කරනවා ?  

ආනන්දට තවම ආදරේ කරන ආදරණීය රසිකයින් පිරිසක් ඉන්නවා. මාව ‘මචං‘ චිත්‍රපටය නිසා ජනතාව අතරට ගියා වගේම ඊට පස්සේ බොහෝ දෙනෙක් මට ආදරේ කරන්න ප්‍රතිචාර දක්වන්න ගත්තේ මේ චරිතයෙන්. ඒක මාර ප්‍රතිචාරයක්. රංගන ශිල්පියෙක් ඒ තරම් ප්‍රතිචාර ලබන්න වාසනාවන්ත වෙන්න ඕන. මට ඒ ගැන හරි සතුටුයි

තාත්තගේ රඟපෑම්වල වැරදිම දකින පුත්තු දෙන්නෙක් ඔබට ඉන්නේ?

මට ඉන්නේ පුත්තු දෙන්නෙක්. ලොකු පුතා ස්වර්ණ රාවණ ඩයස්. එයාගේ වයස අවුරුදු 16ක්. පොඩි පුතා භාෂණ ඩයස්. එයාගේ වයස අවුරුදු 12ක්.

එයාලා මගේ වැරදි විතරක් දකිනවා කියන්න බැහැ. වැරදි නම් වැරදියි හොඳ නැහැ කියනවා. හොඳයි නම් හොඳයි කියනවා, එයාලා විචාරශීලී දරුවෝ දෙන්නෙක් කියන්න පුළුවන්. ඒ වගේම තාත්තා නළුවෙක් කියලා මහා ලොකු ආදරයක් නැහැ. නමුත් මට ලැබෙන ප්‍රතිචාරවලට පුදුම වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රතිචාර එක්ක එයාලා අපහසුතාවට පත්වෙද්දී මාත් එක්ක ගමන් බිමන් යන්නෙ හරි ප්‍රවේශමෙන්. පුතාලා සෙනඟ ගැවසෙන්නේ නැති තැන්වලට යන්න උත්සාහ කරනවා.

ඔබ කලා පසුබිමකින් රංගනයට පැමිණි කෙනෙක් නොවෙයි. නමුත් ඔබේ උදව්වෙන් ඔවුන්ට කලාවට පිවිසෙන්න පහසුයි?

ළමයි කැමැති මාර්ගය තෝරා ගනියි. බලකරන්නෙ නැහැ. ඒ වගේම මගෙන් අරකට දාලා දෙන්න මේක කරන්න කියලා ඉල්ලිම් කරලත් නැහැ. කලාවට කැමැත්තක් තියෙනවා. මේ දෙන්නා සමහර වෙලාවට කෙටි චිත්‍රපට හදනවා කියලා පිටපත් ලියලා, කැමරා කරලා ඒක එඩිට් කරලා, අවශ්‍ය මියුසික් ඇතුළත් කරලා ෆිල්ම් හදනවා. ඒ වගේම චිත්‍රපට බලන්න ආසයි. වේදිකා නාට්‍ය බලන්න හරි කැමැතියි. එකම වේදිකා නාට්‍ය වුණත් නැවත නැවත බලන්න හරි කැමැතියි. ඉදිරියේදි පුතාලා මොනවා කරයි ද කියන්න දන්නෙ නැහැ.

ඔබට ආදරණීය බිරිඳ මුණගැහෙන්නේ රඟපාන්න කලින්. ඇතැම් තරු , තරු ගුණය යයි කියලා අතීතය වහලා තියෙනවා. ඇය කොහොමද ඔබව දකින්නේ?

මගේ බිරිඳ අනෝජා මිලන්ති. ඇයත් මාත් එකම ගමේ. මම නළුවෙක් වෙන්න කලින් එයාව මුණගැහෙන්නේ. ගමේ ජීවිතේ එක්ක දුක සැප බෙදාගෙන ජීවත් වුණු දෙන්නෙක් අපි දෙන්නා. බැරි කාලේ හයියක් වුණු එයාව ජනප්‍රියත්වය නළුකම එක්ක කොහොමද අත අරින්නේ. එහෙම අමතක කරන්න බැහැ. ජනප්‍රියත්වය එක්ක වෙනස් වෙන අය බොහෝ දෙනෙක් අපි දකිනවා. ඒත් මට එහෙම වෙන්න ඕන වුණේ නැහැ . කවදාවත් මගේ මේ ගමනට හරස් වෙලා නැහැ. මම දන්නෙ නැහැ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ එක්ක එයාට ඊර්ෂ්‍යාවක්, අහිමි වීමේ දුකක් ඇති වෙලා ඇති කියලා. මට එහෙම පෙන්නලත් නැහැ. හිත ඇතුළේ තියෙනවාද දන්නෙ නැහැ. කොහොම නමුත් ඇය නැත්තම් මම මේ ගමන මේ විදිහට දුර යන්නෙ නැහැ. ඒක මට විශ්වාසයි.

ජනප්‍රියත්වයේ උණ, එහෙම නැත්තම් ආර්ථිකයෙන් ගොඩ එන්න ද නළුවෙක් වෙන්නේ?

ඒක ඇත්තටම ආසාවට වුණු දෙයක්. ගම කැස්බෑව. ගමේ නාට්‍ය පෙන්නන කාලේ ඒවා බලන්න යනවා. එතැනින් හීනේ පටන් ගන්නේ. මුතුහර වගේ එක එක කලා සංගම්, සමාජවලට සම්බන්ධ වෙනවා. එතැනදි රංගනයට ලැබෙන ආකර්ෂණය එක්ක කැමැත්ත වැඩි වෙනවා. උසස් පෙළට නාට්‍ය හා රංගකලාව කියලා විෂයයක් තිබ්බා. එතැනදි ප්‍රේමකුමාර කරුණාරත්න සර් තමයි මාව හදන්නේ. මොකද මම නහයට අහන්නෙ නැති එකෙක්. ගුරුවරයෙක්ට පුළුවන් ළමයෙක් හදන්නත් විනාශ කරන්නත්. සර් කළේ මාව ඒ පාත් එකට ඇදලා දාලා මට ඇහුම්කන් දීලා මාව හදපු එක. ප්‍රේමකුමාර සර් ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාගේ ගෝලයෙක්. ඒ නිසා ඔහු තුළත් දැනුම් සම්භාරයක් තිබ්බා. ප්‍රේමකුමාර සර් එක්ක මම අවුරුදු 5ක් රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. වැඩ කළා. එහි ප්‍රතිපලයක් හැටියට ජාතික රූපවාහිනියේ නලින් මාපිටිය හඳුනාගෙන ඉන්ගම්මාරුව ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව හිමි වෙනවා. මගේ පළමු අධ්‍යක්ෂෙ විමලරත්න මහත්තයා පළමු වේදිකා නාට්‍යය බන්දුල විතානගේ මහතාගේ රෝමය ගිනි ගනී. එතැන ඉඳලා ප්‍රවීණයෝ දක්ෂයින් එක්ක වැඩ කරන්න අවස්ථාව හිමි වෙනවා. වේදිකාව, ටෙලි නාට්‍ය දෙකේම හොඳම නිර්මාණවලට සම්බන්ධ වෙන්න වාසනාව හිමිකරගත් රංගන ශිල්පියෙක් මම. අදටත් ජයනි සේනානායක එක්ක රඟපාද්දි කියනවා ඔහොම බැහැ මදි මේක හැදෙන්න ඕන කියලා. ඉතිං ඒ වැරදි හදාගෙන හිටපංකෝ, අද හොඳට කරනවා කියලා යද්දී තව අඩුපාඩුවක්. ජයනි, ගිහාන් වගේ අවුරුදු තිහක් මාත් එක්ක ඉන්න අන්න ඒ වගේ වැරදි දැකලා මුලාවට හොඳයි නොකියා වැරදි කියලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න අත දුන් කලාකරුවෝ එක්ක වැඩ කරන්න ලැබීමත් වාසනාවක්.

ඔබ වැඩිපුරම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ රාජිත දිසානායකගේ නිර්මාණවලට?

ඒක අහම්බයක්. ප්‍රදර්ශනයක් බලන්න ගිහින් එතනදි රාජිතව මුණගැහුණා, හම්බෙලා කතා කරා ඩයියා අලුත් වැඩක් පටන් ගන්නවා අහවල් දවසේ අහවල් තැනට එන්න පුළුවන් ද ඇහුවා. මමත් ගියා. ඔහුගේ ‘මට වෙඩි තියන්නේ නැද්ද‘ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ එහෙම. එතැනින් පටන් ගෙන ‘වීරයා මැරිලා‘, ‘ආපසු හැරෙන්න බැහැ‘. ‘හිතලා ගත්ත තීරණයක්‘ වගේ සාර්ථක නාට්‍ය 9කට සම්බන්ධ වුණා ඔහුගේ. මේ දවස්වලත් ඔහු එක්ක වැඩ කරනවා.

ඔබ ගුරුවරයෙක් විදිහටත් සේවය කරනවා, උපාධියකුත් තියෙන රංගන ශිල්පියෙක්. කලාත්මක නිර්මාණවලින් ඔබේ රංගනය පෝෂණය කරගෙන ඇයි මේ දැන් බාල ගණයේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ කියලා කවුරුත් අහනවා ඇති…?

ඔය ටික මගෙන් ගොඩක් අය අහනවා. ඇයි වාණිජමය අරමුණින් කරන දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතිං මොකද කියන්නේ, මම ගුරුවරයෙක්. එතැනින් ලැබෙන සොච්චම් මුදල මදි. රඟපානවා එතැනත් එහෙමයි. මම තෝරා ගත්ත දෙකම එහෙමයි. මම අන්න අර නළුවා කියනවට කැමැති නැහැ. අන්න අර අධ්‍යක්ෂකවරයා කියනවාටයි කැමති. මොකද මම නළුවෙක් වෙනවට වඩා හීනයක් තිබ්බේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒ වගේම කියන්න ඕන මට ලැබෙන නිර්මාණ මම උපරිමයෙන් කරනවා කියන එකත්. මේ දවස්වල මම ‘ලලයි ලිලයි ලා‘ හා ‘රැල්ල වෙරලට ආදරෙයි‘ කියන මේ නාට්‍ය දෙකේ ඉන්නවා. ප්‍රතිචාර නම් හොඳයි. ඒ වගේම දුකක් තියෙනවා කලාකරුවන්ගේ වටිනාකම ගිලිහෙමින් යන එක ගැන. ඒ වගේම සම්පූර්ණ පිටපත් අතට ලැබෙන්නේ නැහැ. දවසේ පඩියක් ගෙවන්න ගත්තේ දවසේ ඉඳලා නාට්‍ය බාල වෙලා කියන කනගාටුවක් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ

ලොකුවට ආමි උණකුත් තිබ්බ කෙනෙක් නේද?

සාමාන්‍ය පෙළ ඉවර වුණාට පස්සේ මට ලොකු ආසාවක් ආවා ආමි එකට යන්න. ඒක උණක් තමයි. අසූ ගණන්වල කැසට් පීස් ගැහුවා ආමී එකට සපෝට් එකට තමයි ඒ සින්දු නිර්මාණය කරලා තිබ්බේ. සිංහල ගීත අනුවර්තනය කරලා ආමි එකට. උදාහරණයක් විදිහට කිව්වොත් “සොමියට වරෙන් පුතා“ කියන සින්දුව, “යුද්දෙට වරෙන් පුතා ජාති භේද නැහැ අපේ“ කියලා ගයන ගීත ගියා. අන්න ඒ වගේ සින්දු අහලා තමයි යුධ හමුදාව ගැන ආසාව එන්නේ. ඊට පස්සේ ටික ටික තේරුම් ගත්තා යුද්ධය කියන්නේ වෙන ව්‍යාපාරයක් කියලා. ඒ නිසා ඒ ආසව එහෙමම අයින් කළා. උසස් පෙළ කරන්න පටන් ගනිද්දි අධ්‍යාපනයේ වටිනාකම තේරිලා ඉගෙන ගත්තා. ඊට පස්සේ පුරාවිද්‍යාව පැත්තට යොමු වෙන්න ආස කළා. මම රංගන ශිල්පියෙක් නොවුණා නම් පුරාවිද්‍යාව පැත්තට යොමු වෙයි.

ඔබට පියා ගැන තියෙන්නේ සංවේදී මතකයක්. ට්‍රැක්සි ඩ්‍රයිවර්වරයකුගේ පුතෙක් නළුවෙක් වෙනවා දකින්න ඔහුට වාසනාව අහිමි වුණා නේද ..?

මගේ තාත්තා ටැක්සි ඩයිවර් කෙනෙක්. එයා හරි ගාම්භීර විදිහට ඒකට හරියන විදිහට ඇඳලා කරලා හිටපු කෙනෙක්. සුදු සරම, බෙල්ට් එක, කාරේ දාගෙන ඉන්න පුංචි ලේන්සුව තවම මතකයි. තාත්තා නැති වෙන්නේ මට වයස අවුරුදු 13දී. අපේ පවුලට ආර්ථික අපහසුතා හොඳටම තිබ්බ කාලේ. තාත්තා ලෙඩ වෙලා හාන්සි පුටුවේ වාඩි වෙලා හිටියා මතකයි. එයාට බජාර් එකේ ගොඩක් යාළුවෝ හිටියා. ඒත් අසනීප වුණාට පස්සේ ඒ කවුරුත් නැහැ. මට මතකයි තාත්තාට යාළුවෙක් හිටියා රතු ආරි කියලා. එයා දවසක් ගෙදර ආව වෙලාවක ඒ දෙන්නා කතා කරනව මම අහගෙන. මම හිටියේ කාමරේ. තාත්තා රතු ආරිට කියනවා කවදා හරි අපිට මෙහෙම වෙයි කියලා හිතුවෙ නැහැ නේද මචං කියලා. මම කල්පනා කළා මෙහෙම වෙයි කිව්වේ කොහොමද කියලා. ඒ වගේම පවුලේ අයටවත් නොකියා යාළුවෙක්ට ප්‍රශ්න කියන්න තරම් කොච්චර හිතේ වේදනාවක් ඇති ද කියලා මම කල්පනා කළා. එතැනින් තමයි මම ජීවිතේ ප්ලෑන් කරන්න පටන් ගන්නේ හිඟන්නෙක් නොවී මැරිලා යන්න මොනවද කරන්න ඕනේ කියලා

ඔබේ ‘මම නෙමෙයි වෙන කෙනෙක්‘ වේදිකා නාට්‍යය මේ දිනවල වේදිකාගත වෙනවා, ආර්ථිකය එක්ක ගත්තේ අවදානමක් නෙමෙයි ද..?

මේ වෙද්දී දර්ශන වාර 75ක් පෙන්නලා ඉවරයි. දිවයින පුරා වේදිකාගත වෙනවා මම අධ්‍යක්ෂණය කරපු ‘මම නෙමෙයි වෙන කෙනෙක්‘ වේදිකා නාට්‍යය. ඒ වගේම අගෝස්තු මාසේ ඔස්ට්‍රේලියාවේ යනවා එහි වේදිකාගත කරන්න. හරි අමාරු වැඩක්. ඒත් හරියට වැඩේ කරන නිසා අපි තවම අවදානමක නෙමෙයි ඉන්නේ. අපේ නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයෝ එනවා. අපි වෙනුවෙන්, කලාව වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරගෙන නාට්‍ය බලන එක ගැන සතුටුයි. ඒ වගේම මතක හිටින කාලෙක නාට්‍යයක් බලලා හිනා වුණේ නැහැ මේ නාට්‍ය බලලා හිත පිරෙන්න හිනා වුණා පුතේ කියලා කියපු රසිකයෝ ඉන්නවා. ඉස්සර මාසෙට දහයක් දොළහක් ෂෝ පෙන්නුවා. දැන් පහක් හයක් හෝ පෙන්නගන්න පුළුවන් එක ගැන සතුටු යි. මාව හැදුවේ වේදිකාව. ඒ නිසා වේදිකා නාට්‍ය කරන්නේ, රඟපාන්නේ හරි ආසාවෙන්. ඒක තෘප්තියක්.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division