Home » සමාජ මාධ්‍ය නැළවූ මනාල යුවල 

සමාජ මාධ්‍ය නැළවූ මනාල යුවල 

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

“ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි”

ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ ගයනු ලබන මෙම ගීතයට අපූරු නර්තනයක යෙදෙන මනාල යුවලක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මිලියන ගණනින් ප්‍රතිචාර ලබමින් සංසරණය වන අයුරු නොදුටු කෙනෙක් සොයාගන්නට නැති තරම්ය. බලන බලන අය ෂෙයාර් කරමින් මිලියන ගණනින් ලයික්, කමෙන්ට්ස් වැටෙමින් සංසරණය වන මේ අපූරු වීඩියෝව ගැන තොරතුරු විමසා බැලුවේ වයස් භේදයකින් තොරව සැමගේ ආකර්ෂණය දිනාගත් මේ යුවල කවුරුන්දැයි සොයා බැලීමේ අදහසිනි.

ඔහු අවන්ත ෂාමෙන්ය. ඇය හෂිනි ගයනිකාය. කුඩා කල පටන් බැඳි පෙමට දැන් අවුරුදු 16කි. ඉතාලියේ සේවය කරන ඇය සහ දකුණු කොරියාවේ සේවය කරන ඔහු වසර 7කට පසු 2021 වසරේ ලංකාවට පැමිණ විවාහ ගිවිස ගෙන තිබුණ ද ඊට වසර දෙකකට පසු මෙවර පැමිණ තිබුණේ විවාහ උත්සවය ගැනීමේ බලාපොරොත්තුවෙනි. සොළොස් වයසැති පෙම ජයගැනීමේ සතුට එදා ඔවුන් වෙතින් ගලාගියේ සීමා මායිම් බිඳලන අපූරු නර්තනයකිනි. එයද ඔවුන්ට මිතුරන්ගෙන් ලැබුණු සොඳුරු දඩුවමක ප්‍රතිඵලයකි.

එදින ඔවුන්ට සිදුවූවේ මිතුරන්ගෙන් ලැබෙන පැරණි ගීතයකට නර්තනයේ යෙදීමයි. තම පෙම්වතිය කැමතිම ගීතයේ පද පෙළ සොයන අවන්තගේ අභිප්‍රාය වහා වටහාගත් මිතුරන් ඔහු සොයන ගීතය ක්ෂණයකින් වාදනය කරද්දී දෙදෙනාම මවිත වූ අයුරුද එම දසුන් පෙළේ හොඳින්ම දක්නට ලැබේ. මේ ගීතය ඔවුන් අතර නිතර හුවමාරු වුණු ගීතයක් වීම නිසාම ඇය වෙතින් නිදහස් නර්තන ඉරියවු පිළිබිඹු වීම මෙය වයිරල් වීමට හේතුවක් වූ බව ද පැහැදිලිය. කිසිවකු නොදැන සිටි ඔවුන්ගේ ප්‍රේමයේ කතාව තවත් කෙනෙකුගේ මාර්ගයෙන් සමාජ මාධ්‍යයට මුදා හැරුණේ මේ නව යුවලගේ අපූරු නර්තනය ද සමඟිනි. ඒ වෙන කිසිවකු නොව ඔවුන්ගේ සුන්දර දසුන් කැමරා කාචයට හසුකර ගත් ඡායාරූප ශිල්පී තරූ නිමන්කය. ඔහුගේ දුරකතනයේ වීඩියෝ වූ නර්තන දසුන් සමාජ මාධ්‍යට මුදාහළ සැණින් ලැබෙන ප්‍රතිචාර දැක ඔහු ද මවිතයට පත්විය. මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ ද ඒ දසුන්ය.

නව දිවිය ඇරඹීමේ අදහසින් නව යුවල මේ වන විටත් ඉතාලිය බලා ගොස් සිටින බැවින් ඔවුන් ජනප්‍රිය චරිත බවට පත් කළ ජායාරූප ශිල්පී තරූ නිමන්ක අප හා සම්බන්ධ විය.

“අවන්ත කියන්නෙ මගේ ගෙවල් ළඟ අයිය කෙනෙක්. එයා වැඩිපුරම හිටියෙ විදෙස්ගත වෙලා. හෂිත් හිටියෙ ඉතාලියේ. මේ පාර දෙන්නම ලංකාවට ආවෙ මංගල උත්සවය ගන්න බලාගෙන. එයාල මට නිදහස දුන්න මට කැමති විදිහට ජායාරූප ගන්න. එයාලට ඕන වුණේ ෆ්‍රී ස්ටයිල් එකට අන්කොමන් වැඩක් කරන්න. ඒ වගේම නිදහසේ ලස්සන ජායාරූප ටිකක් කරගන්න. වෙඩින් එක ඉවර වුණු ගමන්ම එයාල ඉතාලියේ පදිංචියට ගියා. එදා මංගල දිනය දවසේ ඒ දෙන්නාගේ නර්තනය වීඩියෝ කළේ මගේ ජංගම දුරකතනයෙන්. ඒක තමයි මං එවෙලෙ සමාජ මාධ්‍යට දැම්මෙ. හින්දි සින්දුවකට නර්තනය කරන එකකුයි සිංහල සින්දුවකට නර්තනයේ යෙදෙන එකකුයි දෙකක් දැම්මා. සිංහල සින්දුවට හෂිනිගෙ නිදහස් නර්තන ඉරියවු හින්ද තමයි ගොඩක් අයගෙ අවධානය යොමු වුණේ. ඒක දාපු වෙලාවෙ ඉඳන්ම පුදුමාකාර විදිහට ලයික්, කමෙන්ස්ට් වැටෙනවා. ශෙයාර් වෙනවා. ඇත්තටම හිතුවෙ නෑ මේ තරම් දෙයක් වෙයි කියලා. එයාල වැඩිය සෝෂල් වෙන්න කැමති අය නෙවෙයි. මටත් දැන් ගොඩක් අය කතා කරනවා. ඒ සිද්ධිය මෙතරම් ජනප්‍රියවීම මටත් සතුටක්.“

ඡායාරූප – තරූ නිමංක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division