නා තුරු සෙවණින් වසාගත් මිහිමත මැවූ රෝස තිරුවානා නිධියකට උරුමකම් කියන ජාතික නාමල් උයන වන සෙනසුන වනවාසී රාහුල හිමි විසින් ලෝකයට හඳුන්වා දී මාර්තු මාසයේ 28 දිනට වසර 33ක් සපිරේ. මේ වසර 33 පුරා ජාතික නාමල් උයන මේ තත්ත්වයට රැගෙන ඒමට උන්වහන්සේ දැරූ වෙහෙස අපමණය.
එතෙක් ලංකාවේ කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ ප්‍රදේශයට රාහුල හිමියන් රුපියල් 300ක් වැනි සොච්චම් මුදලක් අතැතිව වැඩම කරන්නේ 1991 දී මාර්තු මාසේ 28 වැනිදාය. ගම්මුන්ගේ ආධාර උපකාර ඇතිව ගහක් උඩ පැලක් අටවා ගන්නා උන්වහන්සේ එදා පටන් සොබා සෞන්දර්යයෙන් ආඩ්‍ය කිසිවකට සම කළ නොහැකි නා තුරුවලින් ගැවසී ගත් මේ අසිරිමත් රමණීය පරිසරය රැක ගැනීමට පේ වුහ. අනේකවිධ බාධාවන් දුක්කම්කටොළු එක සේ සම සිතින් විඳ දරා ගනිමින් සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් තනිව සටන් කළහ. මේ කාලයේදී උන්වහන්සේගේ මේ අමිල කාර්ය පිළිබඳ තත්පර වූ මාධ්‍යවේදීහු, මාධ්‍ය ආයතන උන්වහන්සේ රැකගනිමින් උන්වහන්සේ සිදු කරන කාර්ය රටට අනාවරණය කරමින් යෝධ සෙවණැල්ලක් මෙන් සිටියහ. අදත් සිටින්නේය.
මේ වසර 33ක කාලය පුරා උන්වහන්සේ කළ කී දෑ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සිළුමිණ සමඟ සිහිපත් කළේ මෙලෙසිනි.
“මෙතෙක් පැමිණි ගමන පිළිබඳව ආපසු හැරීලා බැලුවොත් මේ රටේ පුරවැසියෙක් විදියටත් බෞද්ධ භික්ෂුවක් හැටියටත් මට ඉතාම සතුටින් මැරෙන්න පුළුවන් පරිසරයක් මවිසින් ගොඩනඟාගෙන තිබෙනවා. මම මෙතෙන්ට එන්න කලින් මේක ‘නා කැලය’ කියලයි ගම්මුන් කිව්වේ. කිසිවකුට මෙහි වටිනාකමක් තිබුණේ නෑ. ඔවුන්ට මේක නිකම්ම නිකම් නා කැලයක් විතරයි. ලෝකයේ ඉතා දුර්ලභ රෝස තිරිවානා නිධිය ඒ යුගයේ ප්‍රදේශවාසීන් හැඳින්වූයේ ලුණු ගල් කියලයි. එම නිධිය කෙරෙහි ලෝකයේම අවධානය යොමු වුණේ මම එතෙන්ට ගියාට පස්සේ. ඒක එක දිනකින් එක රැයකින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මට ගොඩක් තර්ජන ගර්ජන නින්දා අපහාස විඳින්න වුණා. අහපු බැණුම් මෙපමණයි කියල කියන්න බැහැ. එහෙත් ඒ කිසිම බාධකයකට මාව නතර කරන්න බැරි වුණා. මගේ අධිෂ්ඨානය හා චේතනාව ඊට වඩා බලවත් වුණා.
මෙය ජාතික, ආගමික, පාරිසරික, භූගෝලීය හා ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක්. ඒ වගේම නාමල් උයන ලංකාවේ ඉතාම දුර්ලභ සුවිශේෂී පාරිසරික පද්ධතියක් බව පැවසීම ඉතාමත් නිවැරදියි. 1991 සිට මේ මොහොත දක්වාම ලේක්හවුස් ආයතනය ප්‍රමුඛව මේ රටේ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මවිසින් නාමල් උයන රැකගැනීමට ගෙන ගිය අරගලයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් වුණා. වර්තමානය වන විට දේශීය හා විදේශීය වශයෙන් ඉතාමත් ආකර්ෂණීය පාරිසරික සංචාරක කර්මාන්තයේ ඉතාම වැදගත් ගමනාන්තයක් බවට ජාතික නාමල් උයන මේ වන විට පත්ව තිබෙනවා. මම අහස උසට පිළිම, ස්ථූප හැදුවේ නැති වුණාට මගේ රටේ ජනතාවට පිරිසිදු හුස්මක් ගන්න පුළුවන් ඔක්සිජන් වලින් පිරුණු අක්කර 2000ක වන භූමියක් ආරක්ෂා කරල දීලා තියෙනවා.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සිට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වා මේ රටේ බලයට පත් වූ සියලුම ජනාධිපතිවරුන් මට මේ ස්ථානය මේ ආකාරයට ගොඩනඟාගන්න, ආරක්ෂා කර ගන්න උදව් උපකාර කළා. මට දේශපාලන භේදයක් නැහැ. ඒ වගේම ජාති භේදයක් හෝ හෝ ආගම් භේදයක් නැහැ. ලෝකයේ පවතින මේ භෞතික අභෞතික සියලු දේ ස්වභාව ධර්මයේ නිර්මාණ. අපි ඉපදුණායින් පසුව තමයි ජාතීන් වශයෙන් බෙදුණේ, ආගම් වශයෙන් බෙදුණේ. පක්ෂ පාට අනුව බෙදුණේ. මේ හැම එහෙකටම බෙදිල තියෙන්නේ ඉපදුණාට පසුවයි. නමුත් අප අමතක කරන දේ තමයි අපි සොබා ධර්මයේ නිර්මාණ කියන කාරණාව. ඒ කියන්නේ අපි නොබෙදුණු සහජීවනයෙන් යුතුව වාසය කළ යුතු පිරිසක්.
ඒක තමයි සොබාදහමේ නියතිය. නමුත් අද අපි කටයුතු කරමින් ඉන්නේ ඊට අනුගතව නොවෙයි. මේ ගැටලු පැන නඟින්නත් මූලික හේතුවක් ඒක. අපේ හැඟීම් දැනීම් හැමදෙයක්ම එකයි. සොබාදහම කියන්නෙත් බෞද්ධ ධර්ම මාර්ගය කියන්නෙත් එකම දෙයක්. මේ දෙක දෙකක් නෙමෙයි එකක්. ස්වභාවයට අනුගතව ජීවත්වීම තමයි බුදුන්වහන්සේ පෙන්වා දෙන ධර්ම මාර්ගය. ඒ වගේම අනෙකුත් ආගමික ශාස්තෘෘන් වහන්සේලා පෙන්වා දෙන මාර්ගයත් ඒකමයි. ඔවුනුත් සොබාධර්මයත් එක්ක බද්ධ වෙච්ච නිවැරදි ගමන් මඟ තමයි ඔවුන්ගේ දර්ශන තුළින් පෙන්වා දී තිබෙන්නේ. ලෝකයේ කිසිවකුට මේ සොබාදහමට පරිබාහිරව ගමන් කළ නොහැකියි. කවුරු හරි කෙනෙක් එහෙම යන්න පුළුවන් කියල කියනව නම් ඒක තනිකරම මුසාවක්.
මං මේ ගමන එද්දී සිළුමිණ පුවත්පතේ එකල කර්තෘව සිටි නිමල් හොරණ, ධර්මසිරි ගමගේ සිට පසුව පැමිණි සෑම කර්තෘවරයකුම මගේ ගමනට විශාල ශක්තියක් ලබාදුන්නා. ඒ වගේම ඩේලි නිවුස්, තිනකරන් සහ සන්ඩේ ඔබ්සවර් ආදී පුවත්පත් කතුවරුනුත් එහෙමයි ඔවුනුත් මගේ ගමනට විශාල ශක්තියක් වුණා.
අද නාමල් උයන කියන්නේ අපේ රටට විදේශ විනිමය උපයා දෙන ඉතාම කේන්ද්‍රීය ස්ථානයක්. කොටින්ම මේක ඩොලර් උල්පතක්. මෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ආදයම් සහ වියදම් ඇතුළු සියලු නඩත්තු කටයුතු මීට වසර හයකට ප්‍රථම 2018 දී මධ්‍යම සංස්කෘතික අරමුදලට ස්වෙච්ඡාවෙන් පැවරුවා. මට නිදහසේ මැරෙන්න ඕන. මට සියලු දේ තිබෙනවා. නමුත් මං ඒ සියල්ලක්ම මනසින් අත් හැරලා අහවරයි. අල්ලා බදාගෙන නැහැ. ඒ නිසා මගේ චංචල නිශ්චල දේපළ ආදායම් ඔක්කෝම මධ්‍යම සංස්කෘතික අරමුදලට නෛතිකවම පවරා දුන්නා. දැන් මම බොහෝම ස්වාධීන අල්පේච්ඡ මනුස්සයෙක්. ජාතියට ඉටු විය යුතු යුතුකම් කොටස නිසි ලෙස මම ඉටු කළ නිසා දැන් කැලයේ ගසක් යට වුණත් මට නිදහසේ සැනසිල්ලේ ඇස් දෙක පියාගන්න පුළුවන්.
උන්වහන්සේ සතුව ඍජු නායකත්වයක් ප්‍රකට කරයි. වැනෙන සුළු අදහස් උන්වහන්සේ සතුව නැත.“මම වැරදි වැඩ කරන්නේ නැහැ. රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට අන්තිම පහළ පුරවැසියා දක්වා ඕනම කෙනෙකුට නිර්භයව ඇඟිල්ල දික්කර විවේචනය කරන්න පුළුවන් පරිසරයක් මවිසින් ගොඩනඟාගෙන තිබෙනවා. එවැනි ආත්ම අභිමානයක් මට තිබෙනවා.”
එසේම නාමල් උයන වන සෙනසුන කරුණු ගණනාවක් නිසා ඉතාමත් වැදගත් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. මේ තුළ පවතින රෝස තිරුවානා නිධිය වසර කෝටි 50ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන අතර දකුණු ආසියාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස ද සැලකෙනවා. මෙම රෝස තිරිවානා නිධිය තුළ “ආගනේය “නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මඟින් සනාථ වී තිබෙනවා. පුරාවිද්‍යා ගවේෂක බන්දු වීරවර්ධන විසින් 2002 ජනවාරි මස දී වසර කෝටි 25 ක් පැරණි ශාක පොසිල මෙහි පවතින මේ තුළ කළ පර්යේෂණවලින් තහවුරු කර ගෙන තිබෙනවා. ඔහුගේ නිගමනය වන්නේ මෙහි අක්කර 20ක පමණ භුමි භාගයක පොසිල විසිර පවතින බවයි. පුරාවිද්‍යාත්මක, අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකින් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක් ද ඇති බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. එසේම පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් රෝස තිරිවානවලින් නිර්මාණය කළ පබළු හමුවී ඇති අතර, මෝගල් සමයේ එම අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරීමට ද රෝස තිරිවාන යොදා ගෙන ඇති බව සනාථ වී ඇත. එසේම මේ වන විට පරිගණක අමතර කොටස් සඳහා හා වාහනවල වින්ඩිස්ක්‍රීන් සඳහා ද රෝස තිරිවාන යොදා ගැනෙන අතර මෙය ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ඛනිජ සම්පතකි. එනිසා උන්වහන්සේගෙන් පසුව මෙම ස්ථානය රැක බලාගෙන උන්වහන්සේ ජාතියට රටට ලෝකයට මෙය රැකදුන් ආකාරයටම ඉදිරියට පවත්වා ගෙන යාම හෙට දවසේ අපගේ ද පරම යුතුකම වන්නේය.
රසික කොටුදුරගේ