Home » තමන් හැදු ස්කෑනරයෙන් නිදන් සෙවූ සම්මානලාභියා

තමන් හැදු ස්කෑනරයෙන් නිදන් සෙවූ සම්මානලාභියා

by thanushika
March 30, 2024 12:30 am 0 comment
මනම්පිටිය නිමල් ජයරත්න

මෙරට පුරාවස්තු පිහිටා ඇතැයි කියන බොහෝ ප්‍රදේශවල නිදන් හොරුන් මෙන්ම විවිධ ජාවාරම්කරුවන් පුරාවස්තු විනාශ කර ඒවායේ තැන්පත් කර තිබෙන බවට සැක කරන මැණික්, රත්තරන් ඇතුළු නිදන් වස්තුන් ලබා ගැනීමට සූක්ෂ්මව මෙහෙයුම් ක්‍රියාත්මක කරති.

මේවාට බොහෝ ලෙස සම්බන්ධ වන්නේ ඇතැම් ව්‍යාපාරිකයන්, දානපතින් සහ දේශපාලන ආධාරකරුවන් මෙන්ම යමක්කමක් කර කියා ගැනීමට හැකි බලසම්පන්න පුද්ගලයන්ය.

එවැනි ජාවාරම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ පුරාවස්තු පිහිටා තිබෙන ස්ථාන නිරීක්ෂණය කරමින් පොලිස් ඇස්වලට මෙන්ම ආරක්ෂක අංශ නොමඟ යවමින් සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට මාන බලති. ඒ අයුරින් දිගු කලක සිට සැලසුම් කරමින් නිදන් වස්තු කැණීම් කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ පසුගියදා සමත් වූහ.

ඒ පොලොන්නරුව වළේ කඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි ජනාධිපති සම්මානලාභියෙකු ඇතුළු පස්දෙනෙකු පුරාවස්තු කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් ද සමඟය.

මෙම ජාවාරම්කරුවන් පිරිස මීට වසර කිහිපයකට පෙරද සාවද්‍ය තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදී ‘වළේ කඩේ ගෙවත්තේ’ එම පුරාවස්තු කැණීම් කර ඇති බවට මූලික පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව පොලොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක කේ.ටී. බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචි අතර සෙසු සැකකරුවන් බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, මීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ත් 50ත් අතර වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ටී. බණ්ඩාර සඳහන් කළේය.

පොළොව යට නිදන් වස්තූන් තිබේද යන්න සෙවීම පිණිස භාවිත කරන ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් 46 වියැති සැකකරු 1999 වර්ෂයේදී එම යන්ත්‍රය නිපදවා ජනාධිපති සම්මාන ලබාගත් අයකු වන අතර ඔහු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු නිපදවූ යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂ්ම ලෙස සවි කරන ලද කැමරාවකින් පොළොව යට ඇති සියලු දේ පටිගත කිරීමට හැකි අයුරින් යන්ත්‍රයක් නිපදවා ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැණීම් සිදුකර ඇති අතර දෙවන වරට මෙම නිදන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරදී බවද පොලිසිය සඳහන් කරයි. ඔවුන් ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානයේ කැණීම් සිදුකර තිබෙන අතර ඔවුන් සතුව තිබූ උල් කටු, යකඩකූරු, වතුර මෝටර්, වයර් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් නිලධාරීන් විසින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කැරිණි.

පොලොන්නරුවේ පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන මෙන්ම පෞරාණික සිද්ධස්ථාන රැසක් පසුගිය කාලය පුරා නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබිණි. එලෙස එම ස්ථාන විනාශයට පත් කිරීමට ආසන්නව තිබියදි ජාවාරම්කරුවන් සහ කැණීම් කිරීමට යොදාගත් රුපියල් ලක්ෂ ගණනින් වටිනා උපකරණ සහ අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙන්ම පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත්වීම සුවිශේෂත්වයකි.

මඩකළපුව, පොලොන්නරුව, අනුරාධපුර, වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු පෞරාණික සිද්ධස්ථාන පිහිටා තිබෙන ප්‍රදේශවල තිබෙන ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවිද්‍යා ස්ථාන කැණීම් කිරීමට කණ්ඩායම් කල්ලි පිටින් වාහනවලින් පැමිණෙන පුරාවස්තු ජාවාරම්කරුවන් අතරින් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මේ වන විට සමත් වී ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි පොලොන්නරුව සහකාර ‍පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ අධීක්ෂණයෙන් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර, සැරයන්වරුන් වන (42229) රංග, (71750) චින්තක, (68973) අතාවුද, කොස්තාපල්වරුන් වන (84707) කුලතුංග, (65318) සිල්වා, (34973) නිශ්ශංක යන නිලධාරිහු වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division