Home » අනියම් ප්‍රේමය ගෙන ආ මරණය

අනියම් ප්‍රේමය ගෙන ආ මරණය

by thanushika
March 30, 2024 12:30 am 0 comment
අමිල මලවිසූරිය

අනියම් ඇසුරට ලොල් වීම නිසා ජීවිතවලින් වන්දි ගෙවූ ඇතැම් කාන්තාවන් – පිරිමින් පිළිබඳ කතාන්දර පසුගිය කාලයේ බොහෝ සේ මාධ්‍ය මඟින් හෙළි කැරිණි. තම දරුමල්ලන් ගැන ද නොසිතා පවත්වාගෙන යන එවැනි අනියම් ඇසුරු නිසා බොහෝ අවස්ථාවල ඇතැමුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙද්දී තවකෙකුට අත්වන්නේ මහඋළු ගෙදර තපින්නටය.

තමන්ගේ දරුමල්ලන්, හිතෛෂින් ගැනවත් නොසිතා වසර 10ක පමණ කලෙක සිටම ‘තහනම් ගහේ ගෙඩි කෑමට‘ ගිය ‘දිවුලපිටියේ නිරෝෂා‘ට ද සිදු වූයේ එලෙස තම ජීවිතයෙන් වන්දි ගෙවන්නටය.

ඉකුත් පෙබරවාරි මස 28 වැනිදා රාත්‍රියේ දිවුලපිටිය නගර මධ්‍යයේදී ‘අවාසනාවන්ත ඉරණමකට‘ මුහුණ දුන් නිරෝෂා ඊට දවස් 11කට පසු ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොව හැර ගියේ දරු දෙදෙනෙකු ද මෙලොව තනි කරමිනි.

පෙබරවාරි 28 වැනිදා රාත්‍රි 8.15ට පමණ දිවුලපිටිය නගර මධ්‍යයේදී අනියම් පෙම්වතාගේ පිහි පහරකට ලක්ව ගම්පහ මහ රෝහලේදී නිරෝෂා තම දිවිය අවසන් කළ හද කම්පා කරවන කතාන්දරය දිවුලපිටිය පොලිසියේ පොත්වල මෙලෙස සටහන් වේ.

සෑම මොහොතකම පාහේ දුරකතන නාදයෙන් රැව් පිළිරැව් දෙන මිරිහාන 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ දුරකතනයක් ඉකුත් පෙබරවාරි මස 28 වැනිදා රාත්‍රි 8.25ට පමණ නාද වන්නට විය.

“සර්… දිවුලපිටියේ ටවුන් එකේ රවුම් පාරේදී ගෑනු කෙනෙකුට කවුදෝ පිහියෙන් ඇන්නා… මේ දැන් වුණේ සර්… ඒ ගෑනු කෙනා ත්‍රිවිල් එකක හිටියේ… බයික් එකකින් ආපු දෙන්නකුගෙන් එකෙක් එයාට පිහියෙන් ඇනලා ඒ බයික් එකේම නැගලා පැනලා ගියා… ගෑනු කෙනා මේ දැන් හොස්පිට්ල් අරන් ගියා…“

මිරිහාන 119 පොලිස් හදිසි ඇමතුම් මූලස්ථානයට ලැබුණු එම දුරකතන ඇමතුම ක්ෂණයෙන් යොමු කෙරුණේ අදාළ පොලිස් වසම වන දිවුලපිටිය පොලිස් ස්ථානය වෙතයි. එම 119 හදිසි ඇමතුම අනුව ක්‍රියාත්මක වූ දිවුලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණියගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමාල් ලියනගේ ඇතුළු කණ්ඩායමක් පිහි පහර කෑ තැනැත්තිය ගැන සොයා බැලුවේය.

එම තැනැත්තිය ඒ වන විට පිහි පහරට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් ගම්පහ මහ රෝහලට මාරු කර යවා තිබිණි.

පොලිස් පරීක්ෂක හේමාල් ඇතුළු කණ්ඩායම ගම්පහ රෝහලට ගොස් ඇය ගැන සොයා බැලුවේය. එසේ සාහසිකයකුගේ පිහි පහරට ලක්ව සිටියේ 26 හැවිරිදි නිරෝෂා දමයන්ති නමැති දෙදරු මවකි. ඒ වන විටත් ඇගේ තත්ත්වය බරපතළ විය. නිරෝෂාට පිහි පහර එල්ල කළ පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීම සඳහා ඇගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය තැත් කළද එය ව්‍යර්ථ වූයේ ඒ වන විටත් නිරෝෂා අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයේ පසු වූ හෙයිනි.

අනතුරුව පොලිස් නිලධාරි කණ්ඩායම නිරෝෂාට පිහි පහර එල්ල වූ දිවුලපිටිය නගර මධ්‍යයේ පිහිටි රවුම් පාර ස්ථානයට ගියේය. නිරෝෂා පිහි පහර කෑ මොහොතේ ඇය සමඟ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා ද එහිදී එම ස්ථානයට කැඳවන ලද්දේ පොලිස් නිලධාරින් විසිනි. ඔහු කුමාර නමැත්තෙකි.

“සර්… නිරෝෂට පිහියෙන් ඇන්නෙ මංජු… මායි නිරෝෂයි ත්‍රිවිල් එකේ වාඩිවෙලා ඉද්දි ඔය මංජු ආවා… එයා තව කෙනෙක් එක්ක බයික් එකකින් ආවේ… ඒ ඇවිත් මාත් එක්ක රණ්ඩුවට ආවා සර්… මුලින්ම පිහියෙන් ඇන්නේ මට… මං පැනලා දිව්වා… මං ගියාට පස්සෙ තමයි නිරෝෂට ඇන්නේ… මං හීනෙකින්වත් හිතුවේ නෑ සර් ඒ මිනිහා නිරෝෂට පිහියෙන් අනිවි කියලා…“ යැයි ඔහු කීවේය.

එතෙක් නිරෝෂාට පිහියෙන් ඇන්නේ කවුරුන්ද යන්න පොලිස් නිලධාරින්ට හෙළිදරව් වී තිබුණේ නැත. කුමාරගේ එම ප්‍රකාශයෙන් ඇයට පිහි පහර එල්ල කළ තැනැත්තා හෙළිදරව් වීමත් සමඟ පොලිස් පරීක්ෂක හේමාල් ඇතුළු කණ්ඩායම මංජුල නමැත්තා ගැන සොයන්නට විය. ඔහු 41 හැවිරිදි මංජුල ප්‍රසාද්ය. ගම්පහ, උඩුගම්පොළ, අස්ගිරි වල්පොළ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන මංජුල වෙළෙඳ සහායකයෙක් ලෙස දිවුලපිටිය නගරයේම වෙළෙඳසලක සේවය කරමින් සිටි අයෙකි.

දරු දෙදෙනෙකුගේ පියෙක් වන මංජුල එම විවාහයෙන් වෙන්ව සිටි බවද පොලිසිය හෙළිදරව් කරගත්තේය. මංජුලගේ තොරතුරු එලෙස හෙළිදරව් කරගත් විමර්ශන නිලධාරින් ඔහු සොයා විමර්ශනයක් කරන්නේ ඉන් අනතුරුවය.

ඒ අතරේ පොලිසියට පෞද්ගලික තොරතුරුකරුවන් මාර්ගයෙන් තොරතුරු ලැබුණේ නිරෝෂාට පිහියෙන් ඇනීමට මංජුල යතුරුපැදියෙන් එන්නේ හරිත් නමැත්තෙක් සමඟ බවටය. ඒ අනුව විමර්ශන නිලධාරින් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා ගැනම සොයන්නට විය.

ඒ වන විට සැකකරුවෝ දෙදෙනාම සැඟවී සිටියෝය. නිරෝෂාට පිහි පහර එල්ලකොට දින හතරක් ගෙවිණි. එදින එනම් මාර්තු 3 වැනිදා මංජුල, නිරෝෂාට පිහි පහර එල්ල කිරීමට යතුරුපැදිය පැදවූ බව කී පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ යතුරුපැදිය ද සමඟිනි. ඒ උඩුගම්පොළ – සීදුව පාරේ නිවෙසක සිටියදීය. අත්අඩංගුවට ගත් ඔහු 32 හැවිරිදි හරිත් පොන්නම්පෙරුම නමැත්තෙකි. අවිවාහකයෙකු වන හරිත් කටුනායක ප්‍රදේශයේ රැකියාවක් කළ අයෙකි.

“කෝ… තමුන්ගෙ යාළුවා… මංජුල…?“ පොලිස් නිලධරයෝ හරිත්ගෙන් එලෙස ප්‍රශ්න කළෝය.

“මංජුල කොහේද ඉන්නෙ කියලා මං දන්නෙ නෑ සර්…“ යැයි හරිත් බැගෑපත්ව කීවේය.

“මොකද්ද එදා වුණේ…“ නැවත පොලිස් නිලධාරියෙකු ප්‍රශ්න කළේය.

“ඒ සිද්ධියේ අගක්-මුලක් මං හරියටම දන්නෙ නෑ සර්… මංජුල මට කිවුවා දිවුලපිටිය ටවුන් එකට එන්න කියලා. මං ආවා… ඊට පස්සෙ මාත් එක්ක ඔය සිද්ධිය වෙච්ච තැනට ගියා… එතැනින් පස්සේ මාත් එක්ක ගෙදර ඇවිත් එයා ටික වෙලාවකින් ගියා යන්න… එච්චරයි මම දන්නෙ සර්…“ යැයි හරිත් කීවේ බියෙන් ගැහෙමිනි.

හරිත්ගේ එම ප්‍රකාශයෙන් පසු මංජුල සොයා දිවුලපිටිය පොලිස් නිලධරයෝ විමර්ශන පුළුල් කළහ. එහිදී මංජුල භාවිත කරන ජංගම දුරකතනයේ අංකය සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. ඊට අමතරව පොලිස් නිලධාරින් සිය පෞද්ගලික තොරතුරුකරුවන් ඔස්සේ ද මංජුල ගැන සෙවීමට කටයුතු කළේය.

ඒ අතරේ මංජුල භාවිත කළ, පොලිස් නිලධාරින් සොයාගත් දුරකතන අංකයේ විශ්ලේෂණ වාර්තාවක් ගත් පොලිස් නිලධාරින් ඒ ඔස්සේ ද විමර්ශන ඇරඹීය. එම දුරකතන අංකයේ කුලුනු වාර්තා මඟින් අනාවරණය වූයේ එම දුරකතනය දිවුලපිටියට කිලෝමීටර් සිය ගණනකින් එපිට දුරකින් පිහිටි ගලේවෙල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවයි.

දිනය පෙබරවාරි 10 වැනිදාය. ඒ වන විට පිහි පහරට ලක්ව දින 12ක පමණ කලක් ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිරෝෂාගේ තත්ත්වය බරපතළ විය. එදින නිරෝෂා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත්තේ සැමගේ සිත්සතන්වලට සෝ සුසුම් එක් කරමින් අනියම් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ තවත් එක් කාන්තාවක් ද විලසිනි.

ඇගේ මරණයත් සමඟ පොලිසිය ඒ වන විටත් දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ මංජුලගේ දුරකතනය ක්‍රියාත්මක වන ගලේවෙල, වහකෝට්ටේ ප්‍රදේශයට යවන ලද තොරතුරුකරුවන්ගෙන් ද ඔහු පිළිබඳ හෝඩුවාවන් ලබාගෙන තිබිණි. ඒ අනුව දිවුලපිටිය පොලිස් නිලධරයෝ මංජුල සොයා ගලේවෙල, වහකෝට්ටේ ප්‍රදේශයට ගියේය. ඔහු එම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඉකුත් පෙබරවාරි 10 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. අත්අඩංගුවට ගත් මංජුලගෙන් ඒ මොහොතේම පොලිස් නිලධාරින් ප්‍රශ්න කරන්නට වූයේය.

“ඇයි තමුන් නිරෝෂට පිහියෙන් ඇන්නෙ…?“ යැයි පොලිස් නිලධාරින් අසද්දී මංජුල නිරුත්තර විය. එහෙත් පොලිස් නිලධාරින්ගෙන් මංජුලට ගැලවීමක් නැත. මංජුල අත්අඩංගුවට ගත් දිනම නිරෝෂා ද මෙලොව හැර ගිය හෙයින් මිනිස් ඝාතනයක් සිදුකළ මංජුලට නීතියෙන් කිසිම සමාවක් නැත. එම නිසා මිනිස් ඝාතනයක් සිදුකළ චෝදනාව ඔහුට එල්ල විය.

“සර්… මම නිරෝෂාට පුදුම ආදරෙකින් හිටියේ… මගේ හිතට හරිම දුකක් ඇතිවුණේ එයා වෙන කෙනෙක් එක්ක යන එක ගැන…“ යැයි කියමින් මංජුල දීර්ඝ පාපෝච්චාරණයක් කළේය. ඒ අනුව අනාවරණය වන්නේ මෙවැනි කතාවකි.

දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන මංජුල ප්‍රසාද් විවාහයෙන් දික්කසාද වී තනිව වාසය කළ අයෙකි. 41 හැවිරිදි ඔහු උඩුගම්පොළ අස්ගිරිවල්පොළ පදිංචිව සිටියේය. ඔහු දිවුලපිටිය නගරයේ වෙළෙඳසලක වෙළෙඳ සහායකයෙක් ලෙස රැකියාව කළේය.

නිරෝෂා දමයන්ති 26 හැවිරිදිය. ඇය ද දිවුලපිටිය නගරයේ වෙළෙඳසලක වෙළෙඳ සහායිකාවක් ලෙස රැකියාව කළාය. ඇය අවුරුදු 8 සහ 4 වයසේ පසුවන දරුවන් දෙදෙනෙකුගේ මවකි.

නිරෝෂා සහ මංජුල අතර වසර 10ක පමණ කලක සිටම අනියම් ඇසුරක් තිබිණි. මංජුල නිරෝෂාට පණ මෙන් ආදරය කළේ ඇයට අවශ්‍ය කෑමබීම කළමනා ද ලබා දෙමිනි. නිරෝෂාට අමතරව ඇගේ දරුවන්ට ද ඔහු සැලකුවේය.

මෑතක සිට නිරෝෂාගේ වෙනස්වීමක් මංජුලට දැනෙන්නට විය. මංජුල ඒ පිළිබඳව සෝදිසියෙන් පසු විය. එහිදී දැනගන්නට ලැබුණේ නිරෝෂාගේ වෙනස්වීමට ඇගේ ‘වෙනත් ඇසුරක්‘ හේතු වී ඇති බවය. නිරෝෂා දිවුලපිටිය නගරයේ ත්‍රිරෝද රථ රියැදුරෙක් සමඟ තවත් අනියම් ඇසුරක් පවත්වන බව මංජුල සොයාගෙන තිබිණි.

ඒ සමඟ මංජුලගේ සිත කඩා වැටෙන්නට වූයේ ඔහු නොසෑහෙන සේ ආදරයෙන් පසුවූ පෙම්වතියගේ වෙනස් වීම ගැන ළතැවෙමිනි. මංජුල, නිරෝෂා ගැන සෝදිසියෙන් පසු විය. දින කීපයක්ම ඔහු දුටුවේ ඇය, තමාව මඟ හරිමින් දිවුලපිටිය නගරයේ ත්‍රිරෝද රථ නැවතුමේ තිබෙන ත්‍රිරෝද රථයක නැඟී යන ආකාරයයි.

දිනය ඉකුත් පෙබරවාරි මස 28 වැනිදාය. එදින මංජුල, නිරෝෂාට දුරකතන ඇමතුමක් දුන්න ද ඇය ඊට පිළිතුරු නුදුන්නාය. අනතුරුව එදින රාත්‍රි 8.15ට පමණ මංජුල පිහියක්ද සඟවාගෙන ඔහුගේ මිතුරෙකුගේ යතුරුපැදියකට නැඟි දිවුලපිටිය නගරයේ රවුම් පාරට පැමිණියේ නිරෝෂා අනියම් ඇසුර පවත්වන ත්‍රිරෝද රථ රියැදුරු සිටින ස්ථානයටය. මංජුල පැමිණියේ දෙදෙනාට ‘සත්තම‘ක් දා බිය ගැන්වීමේ අටියෙනි. එහෙත් ඒ මොහොතේ ද මංජුල නිරෝෂාට දීමට බඩුමල්ලක් ද රැගෙන පැමිණියේ ඇයට තිබූ ආදරය නිසාමය. මංජුල බස් නැවතුම්පොළ ආසන්නයේ සිට හොර රහසේ දෙදෙනා දෙස බලමින් සිටිද්දී දුටුවේ නිරෝෂා ත්‍රිරෝද රථය තුළ සිටිමින් එහි රියැදුරු කුමාර සමඟ කතාබහ කරමින් සිටින ආකාරයයි.

කේන්තිය ඉහවහා ගිය මංජුල ඒ අසලට ගොස් දෙදෙනාට දොස් පරොස් කියන්නට විය. අනතුරුව ත්‍රිරෝද රථ රියැදුරු කුමාර සමඟ මංජුල බහින්බස් වීමක් සිදු විය. පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. මංජුල එතෙක් තමා සන්තකයේ සඟවාගෙන සිටි පිහියක් ගෙන කුමාරට අනින්නට තැත් කරද්දී කුමාර පලා ගියේ නිරෝෂා ත්‍රිරෝද රථයේ තනි කරමිනි.

කුමාර පලාගිය සැණින් නිරෝෂා දෙසට හැරුණු මංජුල සිත්පිත් නැත්තකු විලසින් ඇයට පිහි පහර එල්ල කරන්නට වූයේ කිසිවක් ඇයට සිතා ගැනීමටවත් නොහැකි ලෙසිනි. ඒ සමඟම නිරෝෂා එම ස්ථානයේ ඇද වැටෙද්දී මංජුල පිහියද රැගෙන තමන් පැමිණි යතුරුපැදියටම නැඟී මිතුරා සමඟ පලා ගියේය. මංජුල ගිය සැණින් එම ස්ථානයට දිව ආ කුමාර අවට රැස්වූවන්ගේද සහාය ඇතිව නිරෝෂා දිවුලපිටිය රෝහලට රැගෙන යෑමට කටයුතු කළේය.

“තමුන් පිහියෙන් ඇනලා කොහේද ගියේ…?“ පොලිස් නිලධාරින් මංජුලගෙන් එලෙස ප්‍රශ්න කළේය.

“මං සර්… මගේ යාළුවගේ ගෙදරට ගියේ… එහේ ගිහින් ලේ ගෑවිච්ච ඇඳුම් ගලවලා නිරෝෂා බලන්න හොස්පිට්ල් එකටත් ගියා සර්… ඒත් මට නිරෝෂා බලන්න බැරිවුණා…“ යැයි මංජුල පවසන්නට වූයේ තමන් කළ පව ගැන ළතැවෙමිනි.

නිරෝෂාට පිහි පහර එල්ල කළදාට පසුදා පොලිසිය තමන් සොයන හෙයින් මංජුල සැඟවීමට සිතුවේය. ඒ අනුව ඔහු පසුදා අලුයමම මීගමුවට ගොස් එතැනින් කුරුණෑගලට ගියේය. කුරුණෑගලින් ඔහු ගියේ ගලේවෙල, වහකෝට්ටේ ප්‍රදේශයේ සිටින ඔහුගේ ඥාතියකුගේ නිවෙසටය.

එම නිවසේ දින දහයක් පමණ සැඟවී සිටියදී මංජුල කොටු වූයේ දිවුලපිටිය පොලිස් නිලධාරින් දුරකතන වාර්තා සහ තොරතුරුකරුවන් ඇසුරෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සිදුකළ සූක්ෂ්ම විමර්ශනයක් හේතුවෙනි.

“කෝ දැන්… නිරෝෂට ඇනපු පිහිය…?“ පොලිස් නිලධාරින් මංජුලගෙන් එලෙස ප්‍රශ්න කළේය.

“සර්… ඒක මගේ ගෙදර හංගලා තියෙනවා…“ යැයි ඔහු පැවැසීය.

ඒ අනුව මංජුල පදිංචිව සිටි අස්ගිරිවල්පොළ නිවසේ තිබී මංජුල විසින් නිරෝෂාට අනින ලද පිහිය ඒ මොහොතේ ඔහු ඇඳ සිටි ලේ තැවරුණු ටී ෂර්ටය, කලිසම සහ ලේ තැවරුණු හෙල්මටය ද සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.

නිරෝෂා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මංජුල සහ හරිත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරිණි.

එවකට මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත පොලිස් අධිකාරි II පාලිත අමරතුංගගේ අධීක්ෂණයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණියගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමාල් ලියනගේ, කොස්තාපල්වරුන් වන 72419 සඳරුවන්, 102390 දේශාන් සහ 102513 දිමුතු යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

ඡායාරූප – කොටදෙනියාව සමූහ – එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division