Home » සීසීටීවී 20ක් බලා ඇල්ලූ හොරණ කාර් කොල්ලය

සීසීටීවී 20ක් බලා ඇල්ලූ හොරණ කාර් කොල්ලය

by thanushika
March 30, 2024 12:30 am 0 comment

පසුගිය 17 වැනිදා හොරණ පොලිස් වසමේ සිදු වූ කාර් සොරකම ද හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ දීර්ඝ විමර්ශනයකින් වශයෙන් එහි සැකකරු අත්අඩංගුවට ගැනුණේ පැහැරගත් කාර් රථයද සොයා ගනිමිනි.

මේ සොරකම සිදු වී දින දෙකකට පසු එනම් පසුගිය 19 වැනිදා හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවලගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන කාරය සොයාගත් ආකාරය හොරණ මූලස්ථාන පොලිසියේ සටහන් වන්නේ මෙලෙසිනි.

26 හැවිරිදි දිනේෂ් විවාහකය. ඔහු හොරණ පොලිස් වසමේ හොරණ – පාදුක්ක මාර්ගයේ ප්‍රසිද්ධ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක් ආසන්න පදිංචිකරුවෙකි. මෘදුකාංග ඉංජිනේරුවරයකු වන දිනේෂ් පසුගිය දිනෙක සිය නිසාන් වර්ගයේ මෝටර් රථය විකිණීම සඳහා ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේ වෙබ් අඩවි කීපයක දැන්වීමක් පළ කළේය. එම කාරය ගැන කීප දෙනෙක්ම ඔහුට දුරකතන ඇමතුම් දෙමින් තොරතුරු විමසූහ.

ඒ අතර ඉකුත් 17 වැනිදා දහවල මුව ආවරණයක්ද පැලඳ පුද්ගලයෙක් දිනේෂ්ගේ නි‍ෙවස සොයා පැමිණියේ විකිණීමට තිබෙන කාරය ගැන විමසමිනි. එම පුද්ගලයා කාරය ගැන විමසමින්ම එහි මිල ගණන් විස්තර ද අසමින් දිනේෂ් සමඟ යම් කුලුපගතාවක් ඇති කරගත්තේය. ඒ අතර ඔහු රැගෙන ආ ‘ටැබ්‘ වර්ගයේ ජංගම දුරකතනය ද එහි බැටරිය අක්‍රිය වී තිබීම නිසා නැවත ‘චාජ්‘ කිරීම සඳහා ද දිනේෂ්ගේ නි‍ෙවසේ විදුලි පේනුවකට ද සවි කළේ නැවත යන විට රැගෙන යාමේ අටියෙනි.

“දිනේෂ් මහත්තයා… මට කාර් එකේ ට්‍රයල් එකක් බලන්න ඕන… පුළුවන්ද අපිට ට්‍රයල් එකක් යන්න…“ ඔහු විමසීය.

“කිසි ප්‍රශ්නයක් නෑ… යමු ට්‍රයල් එකක්… මං එන්නම්…“ දිනේෂ් ද කීවේ කිසිම චකිතයකින් තොරවය.

ඒ අනුව දිනේෂ් රිය අසුනට පිවිස කාරය මොරගහහේන දෙසට කිලෝමීටර් කීපයක් ධාවනය කළේය.

“මාත් ටිකක් එළවලා බලන්න ද?“ කාරයේ ඉදිරි අසුනේ සිටි ගනුදෙනුකරු විමසීය. ඒ සමඟම ඊට එකඟ වූ දිනේෂ් රථය නතරකොට ඔහුට කාරය ධාවනය කිරීමට පැවරුවේ තමා ඉදිරි අසුනට එමිනි. ඒ අනුව නැවත රථය තවත් කිලෝමීටර් තුනක් පමණ මොරගහහේන දෙසට ධාවනය කෙරිණි. හරියටම කනන්විල විහාරස්ථානය ආසන්නයේදී, ‘හීට් වෙනව වගේ නේද? බැරිද දිනේෂ් මහත්තයා බැහැලා බොනට් එක අරින්න…‘ යැයි කී රිය අසුනේ සිටි පුද්ගලයා රථය නතර කොට දිනේෂ්ට රථයෙන් බසින්නට ඉඩ හැරියේය. ඒ සමඟම ඔහු ක්ෂණයෙන් රථය විදුලි වේගයෙන් ඉදිරියට ධාවනය කරන්නට වූයේ දිනේෂ්ට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩ නොතබමිනි.

දිනේෂ්ට උන්හිටි තැන් අමතක විය. කළ යුත්තේ කුමක් ද යන්න ඔහු මොහොතක් කල්පනා කළේය. ඒ සමඟම ක්ෂණයෙන් දිනේෂ්ට එත්තු යන්නට වූයේ රථය සොරකු පැහැරගත් බවය. දිනේෂ් කාරය ගැන පැය කීපයක් සොයා බැලුව ද කිසිම හෝඩුවාවක් නොවීය. ඒ අනුව දිනේෂ් සිය නිසාන් වර්ගයේ කාරය සොයා ගැනීමේ අටියෙන් එදින සවස් වෙද්දී හොරණ මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කළේය.

හොරණ මූලස්ථාන පොලිසියට ලැබුණු දිනේෂ්ගේ එම පැමිණිල්ල පිළිබඳව හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවලගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ඇරැඹිණි.

එහිදී විමර්ශන නිලධාරින් දිනේෂ්ගේ නි‍ෙවස අවට සීසීටීවී කැමරා පරීක්ෂා කරද්දී රථය පැහැරගත් පුද්ගලයා එම නි‍ෙවසට එන ආකාරය මෙන්ම රථය රැගෙන යන ආකාරය ද දිස්විණි. ඒ අනුව මේ දිනවල උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්තව ක්ෂේත්‍ර පුහුණුව ලබන උපපොලිස් පරීක්ෂකවරුන් වන කුමාර, ඕෂධ සහ ශ්‍රිමාල් යන නිලධාරින් තිදෙනා රථය පැහැරගත් පුද්ගලයා රථය රැගෙන ගිය ගමන් මාර්ගයේ සීසීටීවී කැමරා සියල්ල පරීක්ෂා කරන්නට විය.

ඒ සඳහා සීසීටීවී කැමරා 20ක පමණ දර්ශන පරීක්ෂා කළ උපපොලිස් පරීක්ෂකවරුන් තිදෙනා රථය පැහැරගත් පුද්ගලයා කිලෝමීටර් 20ක් පමණ දුරක් ගොස් වාද්දුව වේරගම ප්‍රදේශයට කාරය රැගෙන ගිය බව දීර්ඝ විමර්ශනයකින් පසු අනාවරණය කරගත්තේය.

එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ගැන සෝදිසි කිරීමේදී රථය පැහැරගෙන ගිය පුද්ගලයා හඳුනා ගැනීමට හොරණ පොලිස් නිලධාරින්ට හැකි විය. ඒ අනුව රථය පැහැරගත් දිනට දින දෙකකට පසු එනම් පසුගිය 19 වැනිදා දහවල් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවලගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා සැරයන්වරුන් වන 35477 ලලිත්, 14934 ජනක සහ 69776 නිලාන්, කොස්තාපල් 69128 ප්‍රභාත් යන නිලධාරින් රථය පැහැරගත් පුද්ගලයා සිය නි‍ෙවසේ සිටියදී අත්අඩංගුවට ගන්නේ වැඩි ආයාසයකින් තොරවය.

එලෙස අල්ලාගත් සැකකරු මධුරංග පෙරේරාය. මහ වාද්දුව, වේරගම පදිංචි මධුරංග වයස අවුරුදු 31ක එක්දරු පියෙකි. ‘බයින් ඇන්ඩ් සේලින්‘ ව්‍යාපාරයක නිරතව සිටි ඔහු බරවාහන යන්ත්‍ර ශිල්පියකු ලෙස ද කටයුතු කළ අයෙකි. මධුරංග අත්අඩංගුවට ගත්තේ කාර් රථය පැහැරගත් මොහොතේ හැඳ සිටි ඇඳුම්, පැලඳ සිටි කැප් තොප්පය සහ සපත්තු ද සමඟිනි. ඊට අමතරව කාර් රථයේ යතුර ද එම නි‍ෙවසේ ලාච්චුවක තිබී සොයා ගත්තේය. එහෙත් කාරය එම නිවෙසේ නොතිබිණි.

“කෝ කාර් එක…?“ පොලිස් නිලධාරියෙක් සැකකරුගෙන් එලෙස විමසීය.

“සර්… කාර් එක මොරොන්තුඩුවේ මගේ යාළුවෙක්ගෙ ගෙදර තියෙනවා…“ යැයි චින්තක පොලිස් නිලධාරින්ට පැවැසීය.

එසැණින් සැකකරු සමඟ එම නි‍ෙවසට ගිය පොලිස් නිලධාරින් කාරය ද එම මිතුරාගේ නිෙවසේ රෙද්දකින් වසා තබා තිබියදී සොයා ගත්තේය. මිතුරාගෙන් ද පොලිසිය කරුණු විමසීය.

“සර්… මේකා මට කිවුවෙත් බොරුවක්නේ… ඔය දවසේ මේකා කාර් එක අරන් මගේ ගෙදරට ආවා… ඇවිත් කිවුවේ, ‘මං කාර් එකක් ගත්ත මචන්… මේකේ ලීසිං ඇරියස් වෙලා තියෙන්නේ… ලීසිං එක ක්ලියර් කරනකල් උඹගේ ගෙදර තියාගනින් කියලා තමයි මෙහේ තියලා ගියේ සර්… “ යැයි කාරය නවතා තිබූ එම නිෙවස හිමි මධුරංගගේ මිතුරා ද ඔහුට කී බොරුව පොලිස් නිලධාරින් ඉදිරියේ එලෙස පැවැසීය.

“තමුන් ඇයි මේ වගේ වැඩක් කළේ…?“ අත්අඩංගුවට ගත් චින්තකගෙන් පොලිස් නිලධාරින් එලෙස ප්‍රශ්න කළේය.

“සර්… මං කරපු බිස්නස් සේරම පහුගිය කාලේ ලොස් වුණා… මම සෑහෙන්න ණය වෙලා ඉන්නෙ… ඒක නිසා තමයි මං මෙහෙම දේකට පෙලඹුණේ… මේ කාර් එක අරන් ඇවිත් කොහොමහරි විකුණලා ගාණක් හොයාගන්නයි හැදුවේ…“

‘ටැබ්‘ දුරකතනයක්ද රැගෙන ගොස් එය දිනේෂ්ගේ නිෙවසේ චාජ් කිරීමට යොදවා වැඩි විශ්වාසයක් ඇති කරමින් කාර් රථය පැහැරගත් මධුරංගට සිදු වූයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් වීමටය.

විමර්ශන පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්නගේ අධීක්ෂණයෙන් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවලගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා, උපපොලිස් පරීක්ෂකවරුන් වන කුමාර, ඕෂධ, ශ්‍රිමාල්, සැරයන්වරුන් වන 35477 ලලිත්, 14934 ජනක, 69776 නිලාන් සහ කොස්තාපල් 69128 ප්‍රභාත් යන නිලධාරීහු සිදු කළහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division