Home » රේටිං විව්ස් මුදල් බලාගෙන මම වැඩ කරන්නෙ නෑ

රේටිං විව්ස් මුදල් බලාගෙන මම වැඩ කරන්නෙ නෑ

by thanushika
March 23, 2024 12:30 am 0 comment

එකල, දක්ෂ නිවේදකයින්, ගායක ගායිකාවන් නළු නිළියන් බොහෝ දෙනෙක් බිහි වුණේ තුරුණු ශක්තියෙන්. මේ කතාවේ කතා නායකයාත් 2007 තුරුණු ශක්ති වැඩසටහනේදි නිවේදනයෙන් ප්‍රථමයා වෙමින් දැන් දක්ෂ ප්‍රවෘත්තී නිවේදකයෙක් බවට පත් වෙලා, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තී නිවේදක චරිත ධනංජය ගැනයි මේ.

චරිත ධනංජය කියන්නේ පුංචි කාලේ ඉඳලා නිවේදකයෙක් වෙන්න හීන මවපු කෙනෙක්, කෙසේ හෝ ඒ හීනය දිගේ දුර ගමනක් ආවා නේද ..?

ඕනම දෙයක හොඳ හෝ නරක සිදු වෙන්නේ අපි හිතන පතන අනුව තමයි. හීන තමයි පාර කපන්නේ, මගෙත් හීනය නිවේදකයෙක් වෙන එක. ඒ නිසා මම පාසල් මාධ්‍ය කටයුතුවලට සම්බන්ධ වුණා. උසස් පෙළෙන් පසු තුරුණු ශක්ති වැඩසටහනට සම්බන්ධ වුණා. ජාතික තරුණ සේවා සභාවත් ස්වර්ණවාහිනියත් එක්ක තමයි ඒ කටයුතු වුණේ, ඒ 2007 වර්ෂයේ, ඒ අවුරුද්දේ ජයග්‍රහණය කරන්නේ මම. ඒත් එක්කම යෞවන සම්මානය හිමි කර ගන්න සමත් වෙනවා. එතැනින් තමයි මම සලකුණු තිබ්බේ. ඒත් එක්ක ස්වර්ණවාහිනිය එක්ක එකතු වෙලා ටික කාලයක් වැඩ කළා. ඒ තමයි අර හීනයේ ආරම්භය.

ඒත් ඔබ නිවේදනයෙන් ඈත් වෙලා රැකියාවක් කරනවා..?

කොළඹ ජීවිතේ අපහසුතා එක්ක මම වෙනත් රැකියාවක් කරන්න යනවා. රැකියාව කරගෙන ඉන්න අතරේ තමයි ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වෙන්නේ. ඒ 2009 වර්ෂයේ. එතැන් පටන් අද වෙනකල් මම රූපවාහිනී මහගෙදර එක්ක ආස කරන ජීවිතේ ගෙවනවා.

සම්මාන ගත්ත; සම්මාන සඳහා නිර්දේශ වූ නිවේදකයෙක්?

පළමු සම්මානය ගන්නේ යෞවන සම්මානය. යෞවනයෙක් හැටියට ගන්න පුළුවන් ඉහළම සම්මානය ඒක. ඊට පස්සේ අවස්ථා හයකදි නිර්දේශ වෙනවා. ඒ හොඳම ප්‍රවෘත්ති වාර්තකරණයට. ඒ හොඳම ප්‍රවෘත්ති නිවේදක හා හොඳම වැඩසටහන් ඉදිරිපත් කරන්නා කියන ඒවා සඳහා. නමුත් සම්මාන ලබන්නේ 2024 වර්ෂයේ. විශිෂ්ටතම කාලීන පුවත් වාර්තාකරණයට දෙවැනි ස්ථානය. සම්මාන ලැබීම උත්තේජනයක් කියන්න පුළුවන්. නමුත් අපේ භූමිකාවේ කාර්යය හරියට තේරුම් අරගෙන වැඩ කරන එකත් අපේ වගකීමක්.

ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න ආස කළේ මොන හේතුවක් නිසාද ..?

මම ප්‍රවෘත්ති නිවේදකයෙක් වගේම ක්‍රීඩා ආගමික, කාලීන වැඩසටහන් කරනවා. එකකට සීමා වෙලා නැහැ, ප්‍රවෘත්ති කියන්නේ සෘජු පෞරුෂත්වයක්. ඒක වෙනමම තැනක තියෙන්නේ. වෙනම වටිනාකමක් තියෙන දෙයක්. ඒ වගේම ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් සිදු කරන කාර්‍යයක්. ඒ නිසා මම ප්‍රවෘත්ති භූමිකාවට ගොඩක් ආසයි.

ඔබත් රේටිං, විව්ස් බලාගෙන වැඩ කරන නිවේදකයෙක් ද..?

රේටිං, විව්ස්, මුදල් කියන දේ බලාගෙන මම වැඩ කරන කෙනෙක් නෙමෙයි. යහපත් වැඩක් කරලා යහපත් ප්‍රතිචාර ලැබෙනවා නම් ඒක තමයි වටින්නේ. මාධ්‍යවේදීන් හැටියට අපිට ගුවන් කාලයක්, විකාශනයක්, අපේ අතට මයික් එකක් පෑනක් ලැබෙනවා නම් ඒකෙන් සමාජය. සියයට සියයක් දෙන්න බැරි වුණත් පුළුවන් උපරිම දේ කරන්න මම උත්සාහ කරනවා.

ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද ..?.

නමුත් දැක්කට පස්සේ අර අහවලා නේද? කොහොමද කියලා කතා කරන පිරිසක් ඉන්නවා. එයාලගේ හිතේ ඇඳුණු යම්කිසි රූපයක් තියෙනවා. ඒ රූපෙට ලැබෙන ප්‍රතිචාර ආදරණීයයි. මාධ්‍යවේදියෙක් හැටියට දැන හඳුනාගෙන කෙනෙක් ප්‍රතිචාර දක්වනවා කියන්නේ ඇත්තටම සතුටක්.

බිරිඳ වෛද්‍යවරියක්, ඔබත් ඇයගෙත් කාර්‍යබහුල බව කොහොමද පවුල් ජීවිතේ එක්ක කළමනාකරණය කරගන්නේ..?

ඇය සුනීතා දිවාරත්න. වෛද්‍යවරියක් විදිහට ගම්පොළ මූලික රෝහලේ සේවය කරනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතාගේ වයස අවුරුදු හතරයි. එයාගේ නම සෙහස් අක්නි. දුව විදුනි මලිංසා. ඇය තුන වසරේ ඉගෙන ගන්නවා. අපේ පදිංචිය පේරාදෙණියේ. මම රාජකාරි කටයුතු කරන්නේ කොළඹ. පවුලක් හැටියට දෙතැනක ඉන්න වෙලා. නමුත් මම රැකියාව උපරිමයෙන් කළත් බිරිඳ, දරුවෝ, අම්මා, අප්පච්චි, සහෝදර, සහෝදරියෝ කියන පවුලට තමයි වැඩි දායකත්වය දෙන්න කැමති. එහෙම කියලා අංකවලින් බෙදන්න කැමැති නැහැ, රැකියාව පවුල මට සමබරයි.

බිරිඳ වෛද්‍යවරියක් හැටියට මට වඩා කාර්‍යබහුලයි හා ලොකු වගකීමක් එක්ක ගනුදෙනු කරන කෙනෙක්, සමහර දවස්වලට සායනවලදි රෝගීන් හත් අටසියයක් බලන්න වෙන අවස්ථා තියෙනවා. එයාගේ වගකීම් කාර්‍යබහුලකම හා එයාගේ මානසික මට්ටම තේරුම් අරන් දෙන්නට දෙන්නා උදවු කරගෙන ජීවත් වෙනවා සතුටින්,

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division