Home » සොරණාතොට කොන්ත්‍රාත්කරුගේ හොර කච්චේරිය

සොරණාතොට කොන්ත්‍රාත්කරුගේ හොර කච්චේරිය

by thanushika
March 23, 2024 12:30 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ග්‍රාමසේවා නිලධාරීන්ගේ, මිනින්දෝරු සහ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාගේ, විවිධ පෞද්ගලික මෙන්ම බැංකුවල නිලධාරීන්ගේ රබර් මුද්‍රා ව්‍යාජ ලෙස සාදාගෙන ආයතනවලින් නිකුත් කරන උසස්වීම් ලිපි, වැටුප් විස්තර, සේවා සහතික අන්තර්ජාලය හරහා කූට ලෙස සෑදීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු බදුල්ලේදී අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වූයේ පසුගියදාය.

බදුල්ල, සොරණාතොට, කොහොවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ ඔහුගේ නිවසේ තිබූ පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ලිපි ශීර්ෂ, ව්‍යාජ රබර් මුද්‍රා 13ක්, ව්‍යාජ හැඳුනුම්පත්, බැංකු සහතික, උසස් වීම් ලිපි, වැටුප් විස්තර, සහතික පත්‍ර ඇතුළු ව්‍යාජ ලියකියවිලි රැසක් ද පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට ගැනිණි.

බදුල්ලේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස වසර අටක පමණ කාලයක් සේවය කර ඇති මොහු එහිදී කොන්ත්‍රාත් වැඩ කටයුතු සඳහා බණ්ඩාරවෙල සහ කොළඹ නගරයේ විවිධ වෙළෙඳ ආයතනවලින් අවශ්‍ය බඩුබාහිරාදිය ණයට ලබාගෙන පසුව එම ණය මුදල් ගෙවාගත නොහැකිව එම කොන්ත්‍රාත් වැඩ කටයුතු අතරමඟ නවතා දමා ඇත.

මොහු විසින් ඔහුගේ විවිධ අවශ්‍යතා සඳහා මෙසේ නිවසේ සිට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාගේ, මිනින්දෝරු නිලධාරින්ගේ, බැංකු නිලධාරින්ගේ නම් සඳහන් ව්‍යාජ රබර් මුද්‍රා සාදාගෙන අවශ්‍ය ලියකියවිලි තමන් විසින්ම සකසාගෙන තිබෙන බවද විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු පවසති.

කොළඹ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවය කරන බවට මොහු විසින් ව්‍යාජ සේවා සහතික පවා සාදාගෙන තිබී ඇති අතර පොලිස් නිලධාරීන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටින විටදී එවැනි ආයතනයක් කොළඹ නොමැති බවටද අනාවරණය කරගෙන තිබිණි.

මොහු මිතුරෙකු සමඟ එක්වී බණ්ඩාරවෙල නගරයේ බැංකුවකින් රුපියල් ලක්ෂ 20ක ණය මුදලක් ලබා ගැනීමට සූදානම් වී ඇත. එහිදී තමන් විසින් ම ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාජ ලිපි ලේඛන ලියකියවිලි සාදාගෙන අදාළ බැංකුවට ලියකියවිලි ඉදිරිපත් කෙරිණි.

පසුව බැංකු නිලධාරීන්ට එම රාජකාරි කටයුතු කරගෙන යන අතරේ මොහුගේ අදාළ ලියකියවිලි අතර තිබූ වැටුප් සහතික, සේවා සහතික ව්‍යාජ බවට සැක සිතී මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියට පැමිණිලි කළේය.

ඒ අනුව බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම සැකකාර තරුණයා බදුල්ල, සොරණාතොට, කොහොවිල නිවසේ සිටියදී සැකපිට අත්අඩංගුවට ගැනිණි.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ රබර් මුද්‍රා යොදා ගනිමින් රජයේ උසස් වගකිවයුතු නිලධාරීන්ගේ නම් සඳහන් රබර් මුද්‍රා භාවිත කරමින් කූට ලිපි ලේඛන මුදලට සාදන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

බදුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම සැකකරුගේ නිවස පරික්ෂාවට ලක්කර එහි කාමරයක තිබූ ව්‍යාජ කූට ලේඛන සාදා ගැනීමට යොදාගත් පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ රබර් මුද්‍රා, ලියකියවිලි, ලිපි ශීර්ෂ, සහතික පත් රැසක් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

අවිවාහක තරුණයකු වන සැකකරු මව සහ සහෝදරිය සමඟ නිවසේ කල් ගෙවන බවත්, නිවසේ කාමරයක කුඩා දේවාලයක් සාදාගෙන එහි ආගමික වතාවත් සිදු කරන බවත් පොලිසිය කියයි.

සැකකරු සිය ප්‍රයෝජනය සඳහා මෙසේ තමන් විසින්ම නිවසේ සිට ව්‍යාජ රබර් මුද්‍රා ලේඛන, සහතික පත්‍ර සාදාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට ඇප මත මුදා හැර ඇත.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. එම්. රත්නායකගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.පී. ජයවර්ධන, උපපොලිස් පරීක්ෂක සරත‍්, සැරයන් (27183) ඉන්දික ඇතුළු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

සී .ගමගේ - සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division