Home » මං හොයන්නෙ මං වගේම විනෝදකාමී විවෘත කෙනෙක්

මං හොයන්නෙ මං වගේම විනෝදකාමී විවෘත කෙනෙක්

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– ආදර යෝජනා ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳන් ඇවිත් තියෙනවා තවමත් එනවා
– ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ ගැන දැන්ම කියන්න කැමති නැහැ

පුංචි කාලයේදීම රියලැටි වේදිකාව හරහා සංගීත ක්ෂේත්‍රය තුළ නමක් දිනාගන්නට සමත් වූ ඔශානි සංදිපා මේ වෙද්දී නම් සුන්දර යොවුන් වියේ පසුවන්නියකි. කාලයක් අතිශය ජනප්‍රිය වුණු ඔෂානිගෙන් මෑත කාලයේ නම් අලුත් නිර්මාණයක් අහන්න දකින්න ලැබුණේ නැහැ. හැබැයි වෙනස්ම ආකාරයේ ගීත නිර්මාණ කිහිපයක් ඔස්සේ මේ අවුරුද්දේ රසික රසිකාවියන් අතරට එන්නයි ඔෂානි හිතන් ඉන්නේ. ඒ ඔෂානි සංදිපා ගැන රසඳුනට කිව්වේ මෙහෙම

මේ දවස්වල මොකද කරන්නෙ

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු එක්ක මගේ බාහිර සංගීත ක්ෂේත්‍රයේ කටයුතු එක්කයි කාලය ගත වෙන්නේ.

ක්ෂේත්‍රයට ආ හැටි මතක් කළොත්..

2011 දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 තරගාවලියේ 12න් පහළ දක්ෂතම තරුව විදියට සංගීත ක්ෂේත්‍රයට එන්නේ. 2015 දී මම පෞද්ගලික උපකාරක පන්තියක ගැයූ දිමංක අයියාගේ “අවසාන ප්‍රේමයයි මාගේ” ගීතය නිසා එයට පිළිතුරු ගීතයක් කළා. ඒ හරහා තමයි නැවත ක්ෂේත්‍රය තුළ කතාබහක් ඇති වෙන්නේ.

වැඩිම රසික ආකර්ෂණයක් ලැබුණු ගීතය මොකක් ද?

අවසාන ප්‍රේමය කඳු‍ෙළ් ගීතයට. අවසාන ප්‍රේමයයි මාගේ…ඒ ගීතයයේ මුල් ගැයුම දිමංක වෙල්ලාලගේ. පද රචනය ඩිලාන් ගමගේ. සංගීතය අශාන් ප්‍රනාන්දු. ඒ අයියලාගේ ගීතයට පිළිතුරු ගීතයක් විදියට තමයි මම “අවසාන ප්‍රේමය කඳුළේ” ගීතය කළේ . ඒ ගීතයට තමයි වැඩිම රසික ආකර්ෂණයක් ලැබුණේ.

විශ්වවිද්‍යාල ජීවිතේන් පස්සෙ මොන වගේ ඉලක්ක ද තියෙන්නේ?

මම හින්දුස්ථාන් සංගීතයේ විශාරදවරියක් වෙනවා අවුරුදු 14දී. ඒ වෙලාවේ මම හිතනවා විශ්ව විද්‍යාලයට ගිහින් වෙනත් සංගීත අංශයක් තෝරාගන්න. ඒ අනුව මම විශ්වවිද්‍යාලයේදී තෝරා ගන්නේ බටහිර සංගීත අංශය. මට ලොකු ඉලක්කයක් තිබුණා. වැඩිදුර අධ්‍යාපනය හදාරන්න රටකට යනවා කියලා. ඒ ඉලක්කයත් මගේ හිතේ තවම තියෙනවා. ඒ එක්කම මට ආදරේ කරන රසික රසිකාවියන් වෙනුවෙන් හොඳ නිර්මාණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඔශානි සංදීපා කියන කෙනාව කොතනටද අරන් යන්නෙ

සංගීතය තුළ ඔශානි සංදීපා කියන කෙනාව මේ වෙද්දී කැටගරි වෙලා තියෙනවා බූට් සින්දු කියන ගායන ශිල්පිනියක් විදියට. මට ඕනේ එතැනින් මිදෙන්න. මම මේ වෙද්දී අධ්‍යාපනය ලබලා තියෙන හින්දුස්ථාන සංගීතයෙන් හෝ බටහිර සංගීතයෙන් මේ වෙනකම් ගීත කරලා නැහැ. මේ තරම් ලොකු කාලයක මගේ සංගීත ජිවිතේ තුළ මම හිඩැසක් තියලා තියෙන්නේ හොඳ නිර්මාණ කිහිපයක් ඉදිරියට කරන්න ඕනේ නිසා. මම සහ මගේ තාත්තා එකතු වෙලා මේ වෙනකම් ලංකාවේ බිහිවෙලා නැති විදියේ මාතෘකාවලට ගීත කිහිපයක් ලියලා තියෙනවා. ඒ දේවල් තුළින් හොඳ නිර්මාණ බිහිකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ජීවිතේ ලැබෙන දෙයින්, පින්දහම් කරන්න හිතුවේ කොයි කාලෙද?

පොඩි කාලේ ඉඳන් මම මගේ ආගමට ලැදී කෙනෙක්. ආගම ගැන ඉගෙන ගන්න හරිම ආසයි. ඒ ආසාව නිසා මම උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරයත් ඉගෙන ගන්නවා. ගොඩක්ම පින් දහම් කරන්න නැඹුරු වුණේ කෝවිඩ් කාලේ. ඒ කාලේ මම ගොඩක් සතුටින් කාලා බීලා ගෙදරට වෙලා ගත කළේ. ඒ කාලේ වේල් තුනම කන්න මම පින් කරලා තිබුණත් මට දැනුණා වේලක්වත් කන්න නැති අය කොච්චර ඉන්නවද කියලා. ඒ කාලේ සත්තු පවා බඩගින්නේ හිටියේ. මිනිසුන්ටවත් නැති වෙලාවේ සත්තුන්ට දෙන්න විදියක් තිබ්බේ නැහැ. ඒ කාලේ තමයි මම ගොඩක්ම දාන මාන පිංකම්වලට පෙලඹුණේ.

නිහඩවම කරන පිංකම් ගැන කිව්වොත්

පාසල්වලට අවශ්‍ය පොත් පත්. වියළි ආහාර මලු. අපේ ගෙදරම ආහාර හදලා සත්තුන්ට දෙනවා. ඒ හැර පොදුවේ වැඩිහිටි නිවාස: ළමා නිවාස සහ සංඝයාවහන්සේලා වෙනුවෙන් පිංකම් කරලා තියෙනවා. එක වතාවක් මම මගේ කොණ්ඩය දන් දුන්නා. අංශ භාගය වැළඳුණු රෝගීන් වෙනුවෙන් කරන පිසියෝ තෙරපි මම ඉගෙනගෙන ඒ දේවල් කරලා තියෙනවා. මේ හැමදේම කරන්න මට ගොඩක් අය උදව් කළා. ඒ හැමෝටම මම හැමදාම පින් දෙනවා.

කලාව තුළ ඉන්නකොට ආදර යෝජනා එහෙම එනව ඇති.

කලාව තුළ ආදර යෝජනා ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳන් ඇවිත් තියෙනවා. තවමත් එනවා. එදා ඉඳන් අද වෙනකම් මම හැමතැනම යන්නේ මගේ තාත්තා එක්ක.

ඔබ දැන් ආදරවන්තියක් ද?

ඔව් ඉතින්… අම්මට තාත්තට මගේ සහෝදරියන්ට යහළුවන්ට ඒ හැම කෙනෙක්ටම ආදරේ කරන හොඳ ආදරවන්තියක් මම.

මොනවගේ කෙනෙක් ද හොයන්නෙ.

මම හරිම විනෝදකාමී විවෘත කෙනෙක්. මම හොයන කෙනාත් ඒ වගේ කෙනෙක් වුණොත් හොඳයි. මම විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නිසා මම කැමැතියි එයත් මාත් එක්ක විදෙස්ගත වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්. මම පවුලේ වැඩිමල් ගැහැනු ළමයා. මගේ අම්මා තාත්තාව මම වගේම බලාගන්න කෙනෙක් වෙන්න ඕනේ. පවුලට විශ්වාසය ආදරේ තියෙන මහ පොළොවේ පයගහලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ට තමයි මම කැමති.

අනාගත බලාපොරොත්තු මොනවද?

ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන දැන්ම කියන්න කැමති නැහැ. ඒ අරමුණට යන ගමන් ජීවිතේ බොහොම පහසුවෙන් ප්‍රශ්නවලින් තොරව ගත කරන්න කැමති කෙනෙක්. සරල ජීවිතයක් මම කරන්න කැමති කෙනෙක්. මගේ හඬට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා. ඒ බව මට දැනුණේ ගීතයක් නොකර ඉන්න කාලේ ඇයි ගීතයක් කරන්නේ නැත්තේ කියලා අහපු පිරිස එක්ක. ඒ තමයි හරිම රසික ආදරේ. ඒ අය වෙනුවෙන් ලස්සන ගීත කිහිපයක් කරනවා. මම වැඩිමහල් දියණිය විදියට අම්මා තාත්තව ආදරෙන් රැක බලාගන්න එකත් මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුවක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division