Home » IMF සාකච්ඡාවට යනවද? නැද්ද?

IMF සාකච්ඡාවට යනවද? නැද්ද?

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

අපි යන්නෙ නෑ
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවන්ට එක් නොවන්නේ ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විපක්ෂය දැනුම්වත් කිරීමට ආණ්ඩුව පියවර නොගත් නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ඉකුත් දා පැවති සාකච්ඡාවට සහභාගි නොවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ලේකම් ඩී.බී. විජයගුණවර්ධන විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත යැවූ ලිපියේ ඒ බව සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විපක්ෂය දැනුම්වත් කිරීමට මුල සිටම ආණ්ඩුව පියවර ගත යුතුව තිබුණා. අප මුල සිටම එහි අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළේ වගකිව යුතු පාර්ශ්වයක් ලෙස අපගේ අදහස් ඊට ලබා දීම තුළින් රටට ප්‍රතිලාභ ලැබෙන ගිවිසුමක් සකස් කරගැනීමේ අරමුණ ඇතිවයි”

සාකච්ඡාවට කැමතියි ඒත් ජනපති එක්ක බෑ
– පා.ම. මහාචාර්ය ජී. ඇල්. පීරිස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වුවත් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී සාකච්ඡාවලට සහභාගි වීමට විපක්ෂය සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂය සුදානම්. නමුත් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී එම සාකච්ඡාවලට සහභාගි වීමට සූදානම් නැහැ. ආණ්ඩුව මැතිවරණවලට බය නිසා මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට නොයෙකුත් උපක්‍රම යොදමින් සිටිනවා. ජනාධිපතිවරණය සඳහා වෙන්කළ මුදල හෝ ඉන් කොටසක් හෝ මහමැතිවරණය සඳහා ලබාගත නොහැකි බව නීතියෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ නම් වෙනම මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරගත යුතුයි. කෙසේ වෙතත් මැතිවරණ කල් දැමීමට විපක්ෂය ඉඩ තබන්නේ නැහැ. ”

කවුරු ආවත් ඉදිරියට යෑමට බැඳී ඉන්නවා 
– සජබ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා

ඊළඟට පත්වන ආණ්ඩුව කවුරු වුණත් ණය හිමියන් සමඟ එක්වී මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

“ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීම මේ දිනවල කරගෙන යනවා. ඡන්දෙට තිබෙන්නේ තව මාස කිහිපයයි. ඊළඟට පත්වන ආණ්ඩුව බැඳී සිටිනවා ණය හිමියන් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරලා එකඟතාවකට ආවෙත් හොඳයි කියල මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා. මොකද එතුමා තව කොච්චර කාලයක් ඉන්නව ද කියලා අපට හරියටම කියන්න බැහැ. ප්‍රේමදාස මහතා යටතේ හරි වෙන කවුරු යටතේ හරි අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. එතකොට මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අහන්න කැමතියි‘

අප සාකච්ඡා කළා
– ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වත්මන් රජය එළඹි ගිවිසුම නැවත සමාලෝචනය කරන බව එහි විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති සිළුමිණට පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව සඳහා අයිඑම්එෆ් එකට ආරාධනා කර නොතිබූ බවත් එම අරමුදලේ නියෝජිතයන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවේ පැවසූ බව හෙතෙම මෙහිදී සිහිපත් කළේය.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පමණක් සහභාගි වූ අතර එම සාකච්ඡාව සම්බන්ධ මාතෘකාවේදී ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ නොමඟ යවා තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය. කිසිදු ජනවරමක් නොමැති දූෂිත ආණ්ඩුවක් සමඟ කටයුතු කර ආර්ථික අර්බුදය විසඳිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු නියෝජිතයන් හමුවී පැවසූ බවත්, පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය ක්‍රියාත්මක කරන කෝප් කමිටුවේ සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධන වැනි චෝදනාලත් මන්ත්‍රීවරයෙකු පත් කර ආණ්ඩුව අයිඑම්එෆ් එකටත් රටටත් පෙන්වන ආදර්ශය කුමන්ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ බවත් හෙතෙම මෙහිදී හෙළි කළේය.

ආණ්ඩුවට ඕන විදිහට නෙමෙයි අපි යන්නෙ 
– පා.ම. ඩිලාන් පෙරේරා

මීට වසරකට පෙර විරුද්ධ පක්ෂයත් එකතු කරගෙන මේ සාකච්ඡා ආරම්භ කරන්න කියලා අපි ජනාධිපතිතුමාට කිව්වා. දැන් අශ්වයා පැනල ගියාම ඉස්තාලෙ වහන්න තමයි මේ සැරසෙන්නේ. ඒ නිසා කුඩා ආණ්ඩුවක් හදාගෙන ඉදිරි සැලසුම් සකස් කරමු කියලා විපක්ෂය පැවසූ බව නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පෙන්වා දෙයි.

ඒගොල්ලෝ තනි කැමැත්තට අත්සන් කරපු දේවල් වලට සීල් එක ගහගන්න, ජනාධිපතිවරයා කියන විදියට නටන්න විරුද්ධ පක්ෂය රූකඩයක් නෙමෙයි.

ඒක පාර්ශ්විකව අයිඑම්එෆ් එකත් එක්ක මූලික කොන්දේසිවලට ආණ්ඩුව අත්සන් කරලා දැන් අපිට කියනවා දෙවන වටයේ සාකච්ඡාවලට එන්න කියලා. නමුත් විරුද්ධ පක්ෂය විදියට කොන්දේසිවලට අත්සන් කරන්න කළින් එහි විස්තර ඉල්ලුවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කරන්න කිව්වා. නමුත් ආණ්ඩුව ඒ වෙලාවේ ඒක කළේ නැහැ. ඒ මූලික කොන්දේසි සියල්ලම තනි කැමැත්තට අත්සන් කරලා ඒ අනුව මහ බැංකුව ස්වාධීන කළා, ඒක දැන් හැසිරෙන්නේ ලංකා ආණ්ඩුවේ නෙවෙයි වගේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division