ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වසර හතරක් තුළ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මඟ පෑදීම උදෙසා පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම කළ යුතු බව දන්වා තිබුණි. ශ්‍රී ලංකාව විසින් දැනටමත් සම්පූර්ණ කර ඇති පූර්ව ක්‍රියාමාර්ග අතරට, වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2023 වසරේදී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම සඳහා වන ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, 2022 වසර සඳහා වන සංශෝධිත අයවැය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම, 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, මාසික වශයෙන් ඛනිජ තෙල් මිල ගණන් වෙනස් කිරීමේ ක්‍රමවේදය සහ වර්ෂයකට දෙවතාවක් පිරිවැය පිළිබිඹු කෙරෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, නව මහ බැංකු පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සහ මහ බැංකුව සතු අර්බුද කළමනාකරණ කාර්යයන්හි ප්‍රධාන අංග ශක්තිමත් කරමින් බැංකු පනත සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම, බැංකු පද්ධතිය විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය සඳහා ස්වාධීන ආයතනයක සේවය ලබා ගැනීම සහ ඉදිරි කාලීන මූර්ත ප්‍රතිපත්ති පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ යාම සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් වැඩි කිරීම ඇතුළත් විණි.
ඉහත සඳහන් ක්‍රියාමාර්ගවලට අමතරව, වැඩසටහනේ පරාමිතීන්වලට අනුකූල වන පරිදි 2023 වසර සඳහා වන අය වැයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම, 2023 වසර සඳහා වන ආදායම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සහ බැංකු සඳහා අදාළ වන හදිසි ද්‍රවශීලතා ආධාරක රාමුව යාවත්කාලීන කිරීම යන වැදගත් ඉදිරි පියවර තුනක් ද ක්‍රියාත්මක කරන ලදී. රාජ්‍ය මූල්‍ය සම්බන්ධ ගැටලු, රජය සතු වාණිජ ව්‍යවසායයන්, සමාජ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ, මුදල් හා විනිමය අනුපාතික ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය අංශ සහ පාලනය සම්බන්ධ ප්‍රතිසංස්කරණවලට අදාළ ව්‍යුහාත්මක මිණුම්දඬු කිහිපයක් ශ්‍රී ලංකාව විසින් ඉදිරි කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
වැඩසටහනේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම
ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක (QPCs), හිඟ විදේශීය ණය වගකීම් හා සම්බන්ධ අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායක (CPC) සහ ජා.මු. අරමුදලේ VIII වගන්තිය ප්‍රකාර බැඳීම, දර්ශක ඉලක්ක (ITs) සහ මුදල් ප්‍රතිපත්ති උපදේශන වගන්තියෙන් සමන්විත පුළුල් යන්ත්‍රණයක් අනුව විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කෙරේ. රජයේ අය වැයෙහි ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් උත්පාදනය කිරීමේ අවශ්‍යතාවය, ශුද්ධ ජාත්‍යන්තර සංචි උත්පාදනය කිරීමේ අවශ්‍යතාවය, ශුද්ධ ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම මඟින් දළ නිල සංචිත මට්ටම් වැඩිදියුණු කිරීම, මහ බැංකුව විසින් රජය වෙත ලබා දෙන ශුද්ධ ණය ක්‍රමයෙන් අඩු කිරීම ආදිය ශ්‍රී ලංකාව සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක වේ. විදේශීය ණය නොගෙවීම හේතුවෙන් තම හිඟ විදේශීය ණය එකතු නොකිරීම සම්බන්ධයෙන් අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායක පවතින අතර, එය බලධාරීන් විසින් අඛණ්ඩව අධීක්ෂණය කරමින්, එම අවස්ථා සපුරාලීමට නොහැකිව වුවහොත් ජා.මූ. අරමුදල වෙත ක්ෂණිකව වාර්තා කෙරේ. මීට අමතරව තම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායකයන් තුළ ජංගම විදේශීය ගනුදෙනු සඳහා වන ගෙවීම් සහ හුවමාරු සම්බන්ධයෙන් තවදුරටත් සීමා පැනවීම, විදේශ විනිමය ක්‍රියාමාර්ගයන් (multiple currency practices) හඳුන්වාදීම හෝ වෙනස් කිරීම, ජා.මූ. අරමුදලේ VIII වගන්තියට අනුකූල නොවන ගෙවීම් හා සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුම් සම්පූර්ණ කිරීම සහ ගෙවුම් තුලන අරමුණු සඳහා ආනයන සීමාකිරීම් තවදුරටත් පැනවීම හෝ වෙනස් කිරීම තහනම් වේ. මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කරමින් ඉලක්කගත මට්ටමට ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව උද්ධමනය අඛණ්ඩව අඩු කිරීමේ මාවතක ගමන් කරන බව සහතික කිරීමට නිශ්චිත ඉලක්කගත දිනවලදී වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය අධීක්ෂණය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති උපදේශන වගන්තියක් ඇතුළත් කර ඇත. තවද, ප්‍රධාන වශයෙන් මධ්‍යම රජයේ බදු ආදායම, සමාජ ආරක්ෂණ ජාල වියදම්, ඉන්ධන සහ විදුලිය සඳහා වන වාණිජමය නොවන වගකීම්වල පිරිවැය මෙන්ම භාණ්ඩාගාර ඇපකර සම්බන්ධයෙන් දර්ශක ඉලක්ක නිශ්චිතව දක්වා ඇත. විශේෂයෙන්ම, ණය තිරසරභාවය ළඟා කර ගැනීමේදී අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා සාධාරණ කාල රාමුවක් තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමේ අරමුණින්, සෑම වැඩසටහන් සමාලෝචනයකදීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය තක්සේරු කරනු ලැබේ. වැඩසටහනට අදාළ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක පෙන්නුම් කර ඇත.
විදේශීය මූල්‍යන පරතරය සහ මුල්‍යන මූලාශ්‍ර
විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් එ.ජ. ඩොලර් බිලියන 3.75ක අමතර සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන් එ.ජ. ඩොලර් මිලියන 900ක් 2023 වසරේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්වාරක්ෂක ගොඩනැංවීම හේතුවෙන් 2027 වසරේදී ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු මඟින් අරමුදල් රැස්කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අරමුදල් ඇතුළු විදේශ රාජ්‍ය ණය සේවා සහන මඟින් විදේශීය මූල්‍යන පරතරයන් අවම කරමින් ශ්‍රී ලංකාවට සිය දළ ජාත්‍යන්තර සංචිත යළි ගොඩනැංවීමට ඉඩ ප්‍රස්ථාව සලසනු ලැබේ.
ජා.මූ. අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටන යටතේ අපේක්ෂිත ප්‍රවණතා
ජා.මූ. අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මගින් අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිඵල කිහිපයක් පහත පරිදි වේ.
l ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම : ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය මූල්‍යනය සහ ණය සේවාකරණය සම්බන්ධ නිශ්චිත ඉලක්ක සපුරාගත යුතුය. තවද, ණය අඩු කිරීම සහතික කිරීම, ණය තොගයේ නැවත ආයෝජන අවදානම් කළමනාකරණය කිරීම, ණය සේවාකරණ අවශ්‍යතාවලින් ඇති කෙරෙන විදේශ පීඩන නැවත ඇතිවීම වළක්වා ගැනීම සහ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ මූල්‍යන පරතරයන් පියවා ඇති බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ස්වෛරීත්ව අවදානම් සහ ණය තිරසර රාමුව (SRDSF) යටතේ හඳුන්වා දෙන ලද ප්‍රමාණාත්මක ඉලක්ක මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවනු ලබයි. මෙම අවශ්‍යතා සපුරාලීම මගින් ණය හිමියන් සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය නැවතත් තිරසාර මට්ටමට පත්වීම සහතික කරනු ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ අනාගත ණය ගැනීම හා සම්බන්ධ දුෂ්කරතා සහ අවදානම් අධි මිල ලිහිල් වේ.
ජා.මූ. අරමුදල විසින් ණය තිරසරභාවය සම්බන්ධයෙන් සිදු කරන ලද විශ්ලේෂණය අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කර ගත යුතු තිරසර ණය ඉලක්ක පහත පරිදි වේ.
– ණය තොගය : 2032 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. යෙන් සියයට 95ට වඩා අඩු වීම.
– විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙන් පසු අවධිය තුළ දළ මූල්‍යන අවශ්‍යතා: 2027-2032 කාල පරිච්ඡේද තුළ දී මධ්‍යම රජයේ වාර්ෂික දළ මූල්‍යන අවශ්‍යතාවල සාමාන්‍යය ද.දේ.නි. යෙන් සියයට 13ට වඩා පහළ මට්ටමක පැවතීම.
– විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙන් පසු අවධිය තුළ විදේශ මුදලින් ණය සේවාකරණය: මධ්‍යම රජයේ වාර්ෂික විදේශ මුදලින් ණය සේවාකරණය 2027 – 2032 දක්වා කාලපරිච්ඡේදය තුළ සෑම වසරකම ද.දේ.නි.යෙන් සියයට 4.5කට වඩා පහළ මට්ටමක පැවතීම.
– විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙනි මූල්‍යන පරතරයන්: විදේශ මූල්‍යන පරතරයන් පියවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි 2023 – 2027 කාලපරිචඡේදය තුළ සේවාකරණය අඩු කිරීම.
l වැඩිදියුණු වූ රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය සහ රාජ්‍ය මූල්‍ය විනය: රාජ්‍ය මූල්‍ය අංශය සහ ඊට අදාළ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මඟින් කර ඇති අවධාරණය කිරීම තුළ, ආදායම් වර්ධනය කර ඇති ක්‍රියාමාර්ග සහ වියදම් තවදුරටත් තාර්කීකරණය කිරීම හරහා රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරාලීම සඳහා රාජ්‍ය මූල ඒකාග්‍රකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි කාලයේදී රාජ්‍ය අය වැය හිඟය මහ බැංකුව තුළින් මූල්‍යනය කිරීමට ඇති අවකාශය සීමිත වීම තුළ පවතින සංක්‍රාන්ති කාලසීමාව තුළ එවැනි අවශ්‍යතා මතු නොවන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ගැළපීම් සිදු කිරීම රජයෙන් අපේක්ෂා කෙරේ. ඒ අතරතුර කාලයේදී, රජය සතු ව්‍යවසායන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පුළුල් වැඩසටහන හරහා රාජ්‍ය මූල්‍ය ආදායමෙන් අනවශ්‍ය ලෙස ආදායම් අහිමිව යෑම විසඳනු ඇත.
l වැඩිදියුණු වූ පරිපාලන සහ වගවීමේ රාමුව සඳහා වන නීතිමය වෙනස්කම් : යෝජිත මහ බැංකු පනත වැනි නව නීති, බැංකු පනත සහ පවතින නීතිවලට සිදු කෙරෙන වෙනත් සංශෝධන ආදිය මඟින් රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ආයතනික සහ නියාමන රාමුව ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට සමගාමීව, නව දූෂණ විරෝධී නීතියක් දකුණු ආසියාවේ ප්‍රථම වරට මෙරට හඳුන්වාදීමට නියමිත අතර, එමගින් ස්වාධීන දූෂණ විරෝධී කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සපයයි. අය වැය සම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගවීමේ යන්ත්‍රණය වැඩි දියුණු කිරීමට නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියක් පනවනු ලැබේ.
l සමාජ ආරක්ෂණ ජාල ප්‍රතිසංස්කරණය කිරීම: මෑත වසරවල සමාජ ආරක්ෂණ ජාල හා බැඳුණු වියදම් සහ එම ප්‍රතිලාභීන්ගේ ඉහළ යෑමක් පැවතිය ද, ප්‍රතිලාභීන් ආවරණය කිරීම සහ ඔවුන් තෝරා ගැනීම සම්බන්ධ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු ඉඩකඩක් ඇති බව හඳුනාගෙන ඇත. දැනට පවතින සමාජ ආරක්ෂණ ජාල හමුවේ පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල කාර්යක්ෂමතාවය, ආවරණය සහ ඉලක්ක කරණය වැඩිදියුණු කිරීම සඳහා විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මඟින් ඇතැම් ආයතනික ප්‍රතිසංස්කරණ නියම කර ඇත.
l මිල ස්ථායීතාව යළි ස්ථාපිත කිරීම: සුදුසු මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කරණ රාමුව යටතේ උද්ධමනය ඉලක්කගත පරාසය වෙත ස්ථාවර නිර්-උද්ධමන මාවතක් ඔස්සේ නැවත ගෙන ඒමෙන්, මිල ස්ථායීතාව යළි ස්ථාපිත කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස රාජ්‍ය අය වැය හිඟය මහ බැංකුව තුළින් මූල්‍යනය කිරීම පියවරෙන් පියවර අඩු කිරීමට අපේක්ෂා කෙරේ. විනිමය අනුපාතිකයෙහි වැඩි නම්‍යශීලී බවක් පවත්වා ගැනීම සහ අනාගත කම්පනයන්ට ඔරොත්තු දීම සඳහා සංචිත නැවත ගොඩනැංවීම ද මිල ස්ථායීතාව යථාතත්ත්වයන්ට පත්කිරීමට ඇති කැපවීමට ඇතුළත් වේ.
l මූල්‍ය ආයතන සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ශක්තිමත් කිරීම : ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය රාජ්‍ය අංශය වෙත දැඩි ලෙස නිරාවරණය වී ඇති බවත්, ප්‍රාග්ධනීකරණය මධ්‍යස්ථව ඇති බවත් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් අනතුරුව මූල්‍ය පද්ධතිය ප්‍රාග්ධන හා විදේශ විනිමය හිඟයකට මුහුණ දිය හැකි බවත් ජා.මූ. අරමුදලෙහි අදහසයි. මේ අනුව, ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බැංකු සැලකිය යුතු ප්‍රාග්ධන හා විදේශ විනිමය හිඟයකට මුහුණ පෑමේ හැකියාවක් පවතී. එබැවින්, රාජ්‍ය බැංකුවල අවදානම්වලට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වත්කම්වල ගුණාත්මකභාවය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පද්ධතිමය වශයෙන් වැදගත් වන බැංකුවල ප්‍රාග්ධනය යළි ස්ථාපිත කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය අංශයේ අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කරනු ඇත.
මෙම විශේෂිත ප්‍රතිලාභවලට අමතරව, ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය කිරීම, ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සහ වෙළඳපොළ වෙත නැවත ප්‍රවේශවීමේ හැකියාව ඇති කිරීම ආදිය හරහා ජා.මූ. අරමුදලෙහි සහාය ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මඟින් ආර්ථිකයට වක්‍රාකාර ධනාත්මක බලපෑම් ඇති කරනු ඇත. ජා.මූ. අරමුදල විසින් ඉදිරිපත් කර ඇති ඉලක්කවල අභියෝගාත්මක ස්වභාවය සැලකිල්ලට ගනිමින්, වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව පුරා එය සාර්ථකව නිම කිරීම සහතික කිරීම සඳහා බලධාරීන්ට විශාල උත්සාහයක් හා කැපවීමක් කිරීමට සිදුවනු ඇත. එසේම, විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇති විය හැකි අප්‍රසාදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි මහජන විරෝධය සැලකිල්ලට ගනිමින්, මෙම වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ දේශපාලන හා සමාජයීය ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා, මුල් කාලයේදී කළ යුතු කැපකිරීම් තුළින් දිගුකාලීන ආර්ථික ප්‍රතිලාභ අත්කර ගත හැකි ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම අවශ්‍ය වේ.
ජා.මූ. අරමුදල් වැඩසටහනෙන් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය
දිගු කාලයක සිට නොසලකා හරින ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අනුව ජා.මූ. අරමුදලේ වැඩසටහනෙහි සාර්ථකත්වය බොහෝදුරට රඳා පවතියි. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මඟින් ආර්ථිකයේ තරගකාරිත්වය ඉහළ නැංවීම, ඵලදායීතාව ඉහළ නැංවීමට පදනමක් සැපයීම, සම්පත් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සහ එමඟින් වර්ධන විභවතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය මඟින්, ජා.මූ. අරමුදලෙහි ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙන් ඔබ්බට ගිය, පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සම්පාදනය කරන ලද හා පෞද්ගලික උවමනාවන් සහිත දේශපාලන බලපෑම්වලින් තෙර ජාතික ප්‍රතිපත්ති හරහා ඉදිරියේ ඇති දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු තිරසර ලෙස විසඳීමේ වැදගත්කම ඉස්මතු කරයි. වෙළඳ භාණ්ඩ අපනයන සහ සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ඇතුළත් විභවතාවන් ඇති සේවා අපනයන යනාදී අංශවල විවිධාංගීකරණය ඉහළ නංවා ගනිමින් සහ විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගනිමින්, තාක්ෂණික නවෝත්පාදනය සහ වෙළඳාම කිරීම මගින් ආර්ථිකයේ ඵලදායීතාව සහ නිෂ්පාදනය ඉහළ නැංවීමට, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය යොමු විය යුතුය. රාජ්‍ය ආයතනවල මහජන වගවීම් සහතික කිරීම සඳහා නීතිමය රාමු ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වන අතර, එමඟින් රටේ ආර්ථික සුභසාධනයේ කල් පැවැත්ම සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින නෛතික බලතල ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි ප්‍රතිසංස්කරණ ජා.මූ. අරමුදලේ වැඩසටහනෙහි ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුපූරක වෙමින්, ශ්‍රී ලංකාව විසින් හැකි ඉක්මනින් සර්ව ආර්ථික ස්ථායීතාවය අත්කර ගැනීම සහ එය පවත්වා ගැනීම සහතික කරනු ඇත.
(ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්තාව ඇසුරිණි)