Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
March 16, 2024 12:28 am 0 comment

මුළු රටේම අවධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවෙන් පැමිණ සිටින නියෝජිත පිරිස පිළිබඳ යොමුවී ඇති බැවින් මෙවර කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය තුළින් IMF භීතිකාව තුළ විපක්ෂයේ නිරුවත ප්‍රදර්ශනය වීම සම්බන්ධයෙනි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමය අග භාගයේ පටන් දිගින් දිගටම අවුරුද්දක කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වට රාශියක් පැවැත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ විසින් අධිඅවදානම් ආර්ථික බෝම්බය පුපුරා යාම වළක්වා ගැනීම සඳහා 2023 මාර්තු මස අගදී IMF සමඟ විස්තීර්ණ ණය ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. මේ ගිවිසුම මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඒ අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අනුව ලංකාවේ කවර ආණ්ඩුවක් බලයට පත් වුවත් මූලික වශයෙන් පහත දැක්වෙන කොන්දේසි අත්‍යවශ්‍යයෙන්ම ඉටු කර ගත යුතුය.

1. පොලී ගෙවීම් හැර රජයක් එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් වන පරිද්දෙන් රාජ්‍ය අය වැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සෑම වර්ෂයකදීම පවත්වා ගෙන යා යුතුය.

2. රටේ සමස්ත ණයබරතාව එනම් නොපියවා ඇති මුළු ණය ප්‍රමාණය 2032 වන විට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 95% දක්වා අඩු කළ යුතුය.

3. 2022 – 2027 කාල පරිච්ඡේදය තුළදී රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා ප්‍රමාණය විදේශීය රාජ්‍ය මූල්‍යන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% නොඉක්මවිය යුතුය.

4. රාජ්‍ය ණය සේවාකරන අනුපාතය (ණය වාරික හා පොලී ගෙවීම්) වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5 % නොඉක්මවිය යුතුය.

5. හිර වී ඇති විදේශ ණය තොගය 37%ක් ඉදිරි අවුරුද 5 – 6 තුළදීද, 51%ක් ඉදිරි අවුරුදු 6 – 20 අතරදීද ඉතිරි 12%ක් තව අවුරුදු 20කින් පසුවද ගෙවා අවසන් කළ යුකුය.

ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ට වඩා අඩු මට්ටමක පවත්වා ගෙන යා යුතු අතර ගෙවුම් ශේෂය මත වන පීඩනය අඩු කර ගැනීමට අනාගතයේදී ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගත යුතුය.

මේ අනුව රට ගොඩනැගීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හා විදේශීය ණය හිමියන් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව රනිල් වික්‍රමසිංහයන්ගේ සමස්ත ආර්ථික වැඩපිළිවෙළේ සාර්ව අරමුණු 4කි.

1. රාජ්‍ය ආදායම හෝ ලැබීම් හැකිතාක් උපරිම ලෙස වර්ධනය කර ගැනීම.

2. රාජ්‍ය වියදම් හැකිතාක් සීමා කිරීම, පාලනය කිරීම හා අඩු කර ගැනීම.

3. රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය හැකිතාක් වැඩි කර ගැනීම

4. රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය හැකිතාක් අඩු කර ගැනීම

මතු දශක කිහිපය තුළ කවුරුන් ලංකාවේ ජනාධිපති වුවත් කුමන දේශපාලන බලවේගයක් ලංකාවේ ආණ්ඩු කළත් මේ හැර වෙනත් විකල්පයක් නැත. ඉහතින් දක්වා ඇති කරුණුවලට විකල්පයක් රට ගොඩනැඟීම සඳහා ඇත්නම් එය මේ කොලමට ලියා එවන ලෙස නැවත නැවතත් අපි සියලු දේශ‍ප්‍රේමීන්ට ආරාධනය කරමු.

මේ තත්ත්වය වටහා ගත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, කීප විටක් රටේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධුරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් වැනි ඉගෙන කියාගත් කියාගත් මිනිස්සු ප්‍රබුද්ධ දේශපාලනඥයන් රටක් ආණ්ඩුකරණය පිළිබඳ අත්දැකීම් නැති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව IMF නායකයන් සමඟ සාකච්ඡාවකට තල්ලු කරමින් සිටී. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන කතා, IMF නියෝජිත පිරස ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හොඳින් දන්නා බැවින් විපක්ෂනායකවරයා රටේ දැවැන්තම අර්බුදය නිසි ලෙස අවබෝධ කරගෙන නොමැති බව ඔවුහු දනිති.

විපක්ෂ නායකතුමා ගමින් ගමට ගොස් බස් රථ බෙදා දෙමින් පාසල්වලට ගොස් මවුපියන් සියලු දෙනා ඉදිරියේදී පොරොන්දු වෙන්නේ මේ අවුරුද්ද නිමවීමට කලින් තමා ලංකාවේ සියලුම පාසල් දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බවයි. කාන්තා සමුළුවකට ගිය විට ඔහු ප්‍රකාශ කරන්නේ සියලුම කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා ආදිය නොමිලේ ලබා දෙන බවය. ඔහු විසින් දෙන්න යන දේවල පොරොන්දු වෙනම ගොනු කොට සටහන් කර ගැනීම කෞටිල්‍යගේ ගෝලබාලයන්ට පවරා ඇති වගකීමකි.

සජිත් ප්‍රේමදාස මහතා මේ පොරොන්දු දෙන්නේ ඔහුගේ හෝ ඔහුගේ පියාගේ බූදලයෙන් ලබා දීමට නොවේ. ලංකා ආණ්ඩුවේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් ලබා දීමටය. ආර්ථික අර්බුදය හමුවේ සුවිශාල බදු බරක් දරාගෙන සිටින පොදු මහජනතාවට තව තවත් සහනාධාර ගෙවීමට වැඩි වැඩියෙන් තව බදු ගෙවීමට පිළිවන්කමක් නැත. සජිත් ප්‍රේමදාස මහතා රටක් භාර ගන්න සිටින ජනාධිපතිවරණ අපේක්ෂක නම් ඔහු විසින් විසින් කෑමෙන් පසු නින්දට පෙර කඩදාසියක් සහ පැන්සලක් ගෙන පහත දැක්වෙන දේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය දන්නා කාගෙන් හෝ අසා සටහන් කරගත යුතුය.

1. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට අවශ්‍ය කරන මුදල‍

2. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍ය කරන මුදල

3. සමෘද්ධි, අස්වැසුම ඇතුළු සහනාධාර හා කුටුම්බ පැවරුම්වලට අවශ්‍ය මුදල‍

4. ගත් ණය සදහා පොලී ගෙවීමට අවශ්‍ය කරන මුදල

5. යටිතල පහසුකම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය කරන මුදල

6. දේශීය හා විදේශීය ණය ආපසු ගෙවීමට අවශ්‍ය කරන මුදල යනාදී වියදම් වර්ග සඳහා භාණ්ඩාගාරයෙන් එළියට ඇදී යන මුදල් ප්‍රමාණය.

2023 වර්ෂයේදී ඉහත දැක්වෙන වියදම් වර්ග සඳහා ලංකා ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරයෙන් පිටතට ඇදී ගිය මුදල ට්‍රිලියන 13කි. බදු, බදු නොවන හා වෙනත් සියලුම ආකාරයන්ගෙන් 2023 වර්ෂයේදී මහා භාණ්ඩාගාරයට ගලා ආ ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3කි. 2023 වර්ෂයේ මෙතරම් අසීරුතා මැදත් ට්‍රිලියන 10කටත් වඩා ණය වීම තුළිනුයි රට ආණ්ඩු කර ඇත්තේ. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන කතා අනුව එතුමා දිනපතා රටට ඔප්පු කරමින් සිටින්නේ ඔහු ඉතා හොඳ කතාකරුවෙක් වන බවත් වෙහෙස මහන්සි වී කැපවීමෙන් ජනතාව සිහින ලෝකවලට රැගෙන යන බවත්ය. ඔහු ඉතා හොඳ දේශපාලනඥයෙක් විය හැකිය. නමුත් මෙවැනි අර්බුදයක් පවතින රටක ආණ්ඩුකරණයට සුදුස්සෙක් නොවන බව ඔහු විසින්ම ඔප්පුකර ගනිමින් සිටීම ගැන රටක් වශයෙන් අපි කනගාටු විය යුතුය.

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහයෙන් උපුටා දැක්වෙන කරුණුවලට අදහස් දැක්වීමට අයිතියක් ඇත. ඒ පිළිතුරු ලබන සතියේ පළ කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division