Home » ගිනි උණ්ඩයට බිලි වූ ඇතිමලේ දළ ඇතා

ගිනි උණ්ඩයට බිලි වූ ඇතිමලේ දළ ඇතා

by thanushika
March 16, 2024 12:30 am 0 comment

කැලේ කොළේ වනාන්තරයේ වෙසෙන අහිංසක වන සතුන් මරා උන්ගේ මස් මුදලට විකුණන, දළ ඇතුන් වෙඩි තබා මරා ඇත් දළ ජාවාරම් කරන, වන සතුන්ටත් අන්ත චර්යාවන්ගෙන් සමන්විත පුද්ගලයන් මේ ජන සමාජයේ නැත්තේම නැත. මුදල් මත ඕනෑම දෙයක් සිදු කරන මේ පුද්ගලයන්ට කැලේ කොළේ වනාන්තරයේ වෙසෙන අහිංසක සතා සිව්පාවා මරු තුරුළට යවා ඒ මළකුණු විකුණා මුදල් සෙවීම මහ කජ්ජක් නොවේ. ඒ අතරිනුත් ඉතා බිහිසුණුම කාර්ය දළ ජාවාරම් සඳහා සද්ධන්ත හස්ති රාජයන් ගිනි බිඳ වළපල්ලට යැවීමට තරම් අමානුෂික පුද්ගලයන්ද පසුගිය කාලය ඇතුළත බිහිවී සිටීමයි.

යුක්තිය මෙහෙයුමේ නිරත පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මේ මෙහෙයුම්වලට සම්බන්ධ සෙසු ආරක්ෂක අංශවල නිලධරයන් මත්ද්‍රව්‍ය, පාතාලය, අපරාධ මර්දනයට මෙන්ම අහිංසක සතා සීපාවාට වින කටින පුද්ගලයන් අල්ලා ගැනීමද යුක්තිය මෙහෙයුමේම කොටසක් කරගෙන තිබීම සතුටට කරුණකි.

අලි – මිනිස් ගැටුම් නිසා නැතිවන මිනිස් ජීවිත සේම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මරු වසඟයට යන අලි ඇතුන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු තරම් එකකි. දළ ලබා ගැනීම සඳහා ද අලි ඇතුන් ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

මොනරාගල දිසාවේ සියඹලාණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ටී. රත්නායකට පසුගියදා තොරතුරු ලැබෙන්නේ ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් නරියාය ප්‍රදේශයේ බඩ ඉරිඟු හේන් යායක් අසල ඇතකු ඝාතනය කර සිටින බවකි. ඒ තොරතුරු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලබා දෙන්නේ එම ප්‍රදේශවල මෙහෙයුමේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් විසිනි.

වහාම මේ ස්ථානයට යන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු කණ්ඩායමට නිරීක්ෂණය වන්නේ මේ දළ ඇතා ඝාතනය කර එම සතාගේ දළ දෙකද කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවයි.

ඇතිමලේ, සිරිපුර, 220 කොටසේ අස්වැන්න නෙළන ලද බඩ ඉරිඟු හේනක මේ දළ ඇතා ඝාතනය කර තිබිණි. ඇතිමලේ සිට මේ ස්ථානයට ඇති දුර කිලෝමීටර 8ක් පමණය.

මේ බව ඇතිමලේ පොලිසියට වාර්තා කිරීමත් සමඟ ඇතිමලේ පොලිසියේ නිලධරයන් කණ්ඩායමක් ද ඒ ගැන විධිමත් විමර්ශනයක් ආරම්භ කරන්නේ ලැබුණු තොරතුරු ද විශ්ලේෂණය කරමිනි.

මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ දකුණු පළාත් භාර පශු වෛද්‍ය නිලධාරී ආනන්ද ධර්මකීර්ති විසිනි. ඝාතනය කෙරුණු හස්තිරාජයාගේ වයස අවුරුදු 25ක් තරම් වු අතර එම සතාගේ උස අඩි 9ක් පමණ බව නිරීක්ෂණය කැරිණි.

වනජීවි දෙපාර්තමේන්තුවේ ඌව පළාත භාර සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්ගේ උපදෙස් මත මේ සිද්ධිය ගැන මොනරාගල වනජීවී අඩවි ආරක්ෂක අජිත් කුලතුංග විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

අදාළ ප්‍රදේශයේ මේ දළ ඇතා සමඟ තවත් අලි ඇතුන් තිදෙනෙකු පමණ සැරිසරමින් සිටි බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ සියඹලාණ්ඩුව කඳවුරේ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක තොරතුරු හෙළිකර ගන්නේ ඔය අතරය.

දළ ඇතා ඝාතනය ගැන ඇතිමලේ පොලිසියද විමර්ශනය කරමින් සිටින අතරේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඉතා වැදගත් තොරතුරක් සොයා ගත්තේය. ඒ ඝාතනය කැරුණු දළ ඇතාගේ දළය සඟවා තිබුණු ස්ථානයක් ගැනය.

ඒ අනුව නරියාය ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබුණු දළය සොයා ගත් විශේෂ කාර්ය බළකා නිලධරයෝ සැකපිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු ඇතිමලේ වැව ප්‍රදේශයේ පදිංචි කිරි පට්ටියක් බලාකියා ගන්නා අයෙකි. ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයන්ට හැකි විය. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී දළ ඇතාට වෙඩි තැබූ බවට සැක කරන බෙහෙත් කොටන තුවක්කුවක් සහ දළය කැපීමට උපයෝගී කරගත් බවට සැකකරන පොරොවක්ද සොයා ගැනිණි. සැකකරුවන් දෙදෙනාම අවුරුදු 21 ,26 වයස්වල පසුවන අය වෙති.

දළ ඇතාට වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකාය හෙළි කරගත්තේ ඉන් අනතුරුවය. ඉන් එක් අයෙක් ආගිය අතක් නැති අතර ඈතාගෙන් කපා ඉවත් කරගත් වම් දළයද මෙතෙක් සොයා ගෙන නැත.

දළ ඇතා තමන්ට පහර දීමට එද්දි වෙඩි පත්තු වූ බව සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයන්ට පවසා ඇත.

සැකකරුවන් දෙදෙනා බෙහෙත් කොටන තුවක්කුව වැඩිදුර විමර්ශන සඳහා කොටියාගල වනජීවි බීට්ටු කාර්යාලයට භාර දී ඇත.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division