බන්ධනාගාර ඇතුළත සිටින රැඳවියන් පිටත සිටින සිය ගෝලබාලයන් ජංගම දුරකතන මඟින් සම්බන්ධ කරගෙන සිදුකරන ජාවාරම් නැවැත්වීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධාරින් අනන්ත අප්‍රමාණ උත්සාහයන් ගත්තද තවමත් එම ජාවාරම් මුළුමනින්ම අවසන්ව නැත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉතා සූක්ෂමව එම ජාවාරම් සිදුකරගෙන යන නිසාය.
මත්ද්‍රව්‍ය වැරදිවලට හසුව බන්ධනාගාරවල සිටින රැඳවූවන් ඔවුන්ට විරුද්ධව අධිකරණවල විභාග වන නඩුවලට පෙනී සිටීම සඳහා බන්ධනාගාරවලින් පිටතට රැගෙන එන අවස්ථාවලදී ඔවුන් අතට මත්ද්‍රව්‍ය ඉතා සංවිධානාත්මක ලෙස ලබාදීමට ද මේ ජාවාරම්වල පුරුක් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් සැදී පැහැදී සිටින්නේ එම මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට කෙසේ හෝ රැඳවූවන් මඟින් යැව්වොත් ඒ සඳහා බන්ධනාගාර රැඳවූවන් අතරේ ඒවාට විශාල මුදලක් නියම වන බව දන්නා නිසාය. රැඳවූවකු මඟින් බන්ධනාගාර ඇතුළට යැවෙන මත්ද්‍රව්‍ය, මත්පෙති, ගංජා, අයිස්, දුම්කොළ, ජංගම දුරකතන, බැටරි චාජර්, සිම්පත් ආදියට ද රැඳවූවන් අතරේ නියම වී ඇත්තේ විශාල මුදලකි.
බන්ධනාගාරවලින් පිටතට නඩු කටයුතු සඳහා එසේ ගෙන එන ලද රැඳවූවකුට අයිස් මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවන ලද ජංගම දුරකතනයක බහා ලබාදීමට උත්සාහ කළ කාන්තාවක් කළුතර අධිකරණ සංකීර්ණයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියකගේ සූක්ෂම නුවණ නිසා අත්අඩංගුවට ගැනීමට හැකිවූ පුවතක් පසුගියදා වාර්තා වූයේ දකුණු කළුතර පොලිසියෙනි.
කළුතර අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ පසුගිය දිනෙක නිරතව සිටි දකුණු කළුතර පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියක වන 7974 දමයන්ති සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියක වන 4828 චන්ද්‍රා යන නිලධාරිනියන් මේ සැකකාරිය අල්ලා ගන්නා ලද්දේ ඇගේ සැක කටයුතු හැසිරීම නිසාය.
එදින උදෑසන කළුතර අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි මේ නිලධාරිනියන් දෙදෙනා අධිකරණ සංකීර්ණයට ඇතුළුවීමට තැත් කළ සැක කටයුතු කාන්තාවක් නිරීක්ෂණය කෙළේ ඔවුන්ගේ පෙර රාජකාරි අත්දැකීම් නිසාය.
මේ සැක කටයුතු කාන්තාව හැඳ සිටි බ්ලවුසයේ (උඩුකය ඇඳුමේ) ඇතුළත කිසිවක් සඟවාගෙන සිටින බවට නිලධාරිනියන් දෙදෙනාට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත.
වහාම ක්‍රියාත්මක වූ නිලධාරිනියන් දෙදෙනා සැක කටයුතු කාන්තාව අධිකරණ සංකීර්ණයට ඇතුළුවීම නවත්වා ඇයගෙන් ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.
සැකකාරියගෙන් ප්‍රශ්න කරද්දි ඇය පොලිස් නිලධාරිනියන්ට කිසිම කලබලයක් නොපෙන්වා පවසන්නේ අධිකරණ සංකීර්ණය ඇතුළේ රාජකාරියේ නිරත වන තමා දන්නා හඳුනන පොලිස් නිලධරයකු හමුවීම සඳහා යන බවකි.
එම පොලිස් නිලධරයා හමුවන්නේ කුමකටදැයි නිලධාරිනියන් දෙදෙනා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන සැකකාරිය පවසන්නේ අදාළ පොලිස් නිලධරයාට පණිවුඩයක් ලබාදීම සඳහා ඔහු හමුවීමට යන බවකි.
නිලධාරිනියන් දෙදෙනා මේ සැකකාර කාන්තාව කියූ කතාව විශ්වාස නොකර ඒ පිළිබඳව තම ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට දන්වා සැකකාරි කාන්තාව පරික්ෂා කරන්නේ ඉන් අනතුරුවය.
නිලධාරිනියන් දෙදෙනාගේ සැකය සියයට සියයක් නිවැරදිය. සැකකාරිය සිය බ්ලවුසය ඇතුළේ සඟවාගෙන ආ කුඩා ජංගම දුරකතනයක් පොලිස් නිලධාරිනියන් විසින් සොයා ගන්නේ සිදුකරන ලද පරික්ෂාවේදීය.
බැලූ බැල්මට එය ජංගම දුරකතනයක් ලෙස පෙනුණද එය ද සැක කටයුතු නිසා නිලධාරිනියන් එම ජංගම දුරකතනය ගලවා පරික්ෂා කරන්නේ ඉන් අනතුරුවය.
ජංගම දුරකතනයේ බැටරිය ගලවා බැටරිය තිබෙන ස්ථානයට අයිස් මත්ද්‍රව්‍ය කුඩා පාර්සලයක් ලෙස ඇසුරා ඒ වටා කළු පැහැති ටේප්වලින් ඔතා තිබිණි.
තමා හසුවූ බව දැනගත් සැකකාරියට නිලධාරිනියන් හමුවේ බැගෑපත් වීමට සිදුවූයේ කළ වරදට සමාව ගැනීමට වුවත් එය සමාව දිය හැකි වරදක් නම් නොවීය.
අත්අඩංගුවට ගැණුනු සැකකාරියගෙන් ප්‍රශ්න කරද්දි හෙළි වන්නේ කළුතර බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන ආ රැඳවූවකුට දීමට මේ අයිස් මත්ද්‍රව්‍ය සහිත ජංගම දුරකතනය සූදානම් කරගෙන පැමිණි බවකි.
මේ සැකකාරිය 27 හැවිරිදිය. විවාහක කතක් වන ඇයගේ පදිංචිය දකුණු කළුතර පන්විල ප්‍රදේශයේ බවද විමර්ශනවලදී හෙළි විය.
දකුණු කළුතර පොලිස් නිලධාරින්ට මේ බව දැන්වීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගැනිණි.
දකුණු කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ජයසිංහගේ උපදෙස් මත දකුණු කළුතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකාරියගෙන් ප්‍රශ්න කරගෙන යන්නේ මේ ජාවාරම ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය.
මේ අතර නඩු කටයුතු සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන රැඳවූවන් නැවත බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවල ඔවුන් බන්ධනාගාර නිලධාරින්ගේ පරික්ෂාවට ලක්වන්නේ මේ පුද්ගලයන්ට එළියේදී ජාවාරම්කරුවන් විසින් ඉතා සූක්ෂමව යම් යම් තහනම් භාණ්ඩ බන්ධනාගාරය ඇතුළට ගෙන යාමට ලබා දෙන බැවිනි.
එවැනි තහනම් භාණ්ඩ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළට සිය අධෝ මාර්ගයේ සඟවාගෙන ගෙන යාමට තැත්කළ රැඳවූවන් දෙදෙනෙක් බන්ධනාගාර හදිසි උපක්‍රමික බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගියදාය.
මේ රැඳවූවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමෙන් පසු නැවත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේදී ඔවුන් සිය අධෝ මාර්ගයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන, සිම්පත්, බැටරි සහ දුම්කොළ සොයා ගැනීමට බන්ධනාගාර හදිසි උපක්‍රම බළකායේ නිලධරයන්ට හැකිවිය.
මෙලෙස මහර බන්ධනාගාරයේ රැඳවූවකුට දීම සඳහා බඩල්ගම යුවළක් ගෙන ආ හෙරොයින් පාර්සලයක් ලබාගෙන එය බන්ධනාගාරය තුළට යැවීමට සූදානමින් සිටි බවට සැක කරන 26 හැවිරිදි පුද්ගලයකු රාගම දඹුව ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැනිණි.