Home » කැම්පස් සිසුවාගේ මත්ද්‍රව්‍ය සාදය

කැම්පස් සිසුවාගේ මත්ද්‍රව්‍ය සාදය

by thanushika
March 16, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

ෆේස්බුක් සහ තවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානය කරන විනෝද ගමන්, සුහද හමුවීම්, සංගීත ප්‍රසංග, මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ප්‍රධාන මාර්ග බවට පත්වී තිබීම නම් ඛේදනීය කාරණයකි. මත්ද්‍රව්‍ය මූලික කරගෙන මෙවැනි ෆේස්බුක් සාද ගණනාවක් පොලිසිය විසින් පසුගිය කාලයේ වටලා තිබිණි.

පෞද්ගලික සරසවියක සිසුවකු සිය මිතුරු මිතුරියන් වෙනුවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය සහිත සාදයක් පොලිසිය විසින් වැටලීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුයේ කහතුඩුව පොලිස් ස්ථානයෙනි.

මේ කතාව පියවරෙන් පියවර පෙළ ගැසෙන්නේ මෙසේය.

මේ සිසුවාගේ වයස අවුරුදු 22කි. ඔහුගේ පදිංචිය දියතලාව ප්‍රදේශයේය. සිසුවා අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකය. අධ්‍යයන කටයුතුවලට පහසුව සඳහා මේ සිසුවා නවාතැන්ගෙන සිටියේ හෝමාගම මහල් නිවාස සංකීර්ණයකය. එහි නිවෙසක් මේ සිසුවා විසින් කුලියට ගෙන තිබුණේ මාසයකට රුපියල් හතළිස්පන්දහසක් ගෙවීමේ පදනම මතය.

සිසුවාගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගියදාය. ඒ සඳහා ඔහු උත්සවයක් සංවිධානය කරන්නේ මිතුරු මිතුරියන් සමඟ හොඳ හැටි විනෝද වීම සඳහාය. අන්තර්ජාලයේ සැරිසරන සිසුවා තම උපන් දින උත්සවයට සහභාගී වන ලෙස තමන්ගේ අන්තර්ජාල මිතුරු මිතුරියන්ට ආරාධනා කෙළේය.

උපන්දින උත්සවය සඳහා මිතුරු මිතුරියන් පැමිණෙන්නේ එදින උදෑසන සිටය. විවිධ තරාතිරමේ ගැහැනු පිරිමි සිසුවාගේ නවාතැනට පැමිණියේ සුබ පැතුම් ද පිරිනමමිනි. දහවල් වෙද්දී සාදය ඉතා සරුවට පැවැත්විණි. ඊට සහභාගී වූවෝ කමින් බොමින් ගී ගයමින් හිතේ හැටියට කටයුතු කළහ.

අදාළ මහල් නිවාස සංකීර්ණයේ සෙසු පදිංචිකරුවන්ගෙන් ඇතැමෙකුට මේ සාදය කන්කරච්චලයක් වන්නට වැඩි වේලාවක් ගියේ නැත. සාදය මුවාවෙන් අදාළ නිවසේ යම් නීති විරෝධී ක්‍රියා ද සිදුවන බවට ඇතැම් නිවැසියන් දීර්ඝ වේලාවක සිට නිරීක්ෂණය කර තිබිණි.

ඒ අනුව මේ පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නේ කහතුඩුව පොලිසියටය. කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකරට ලැබෙන මේ තොරතුරත් සමඟ ඔහුගේ උපදෙස් අනුව අදාළ නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් නිවසට යන්නේ ඒ මොහොතේමය.

සාදය පැවැති නිවසට පොලිසිය එද්දී එහි සිටි සියලු දෙනා තුෂ්ණිම්භූතව සිටියේය. පොලිසියට ලැබුණු තොරතුරු සියයට සියයක්ම නිවැරැදි බවත් සාදය මුවාවෙන් අදාළ නිවසේ මත්ද්‍රව්‍ය පානය සිදුවන බවත් පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය විය.

ඒ අනුව එහි සිටි පුද්ගලයන් 27ක් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

අත්අඩංගුවට ගත් පිරිස් පොලොන්නරුව, බළපිටිය, හික්කඩුව, දෙහිඅත්තකණ්ඩිය, යක්කලමුල්ල, ගොඩකවෙල, බොරැල්ල, ගාල්ල, අම්බලන්ගොඩ, දියතලාව, රත්නපුර, හෝමාගම සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වන්නේ මෙහිදීය.

විවිධ වර්ගවල මත්පැන්, මත්පෙති සහ මත්ද්‍රව්‍ය මේ සාදය සඳහා ගෙනැවිත් ඇති බව අනාවරණය විය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පිරිස් අතරේ තරුණයන් 21ක් තරුණියන් 8 දෙනෙකු සිට ඇති අතර, ඒ අතර සරසවි සිසුවියන් පස්දෙනෙකු සහ සරසවි සිසුන් 12ක්ද සිටින බව හෙළි විය. සිසුවියන් අතර එකම පවුලේ අක්කා නගෝ සිටීමද විශේෂය.

මේ පිරිස සාදය අතරේදී කොකේන්, ඈෂ්, අයිස්, හෙරොයින්, ගංජා, මෝදක, මත්පෙති සහ මත්පැන් පානය කරන්නට ඇතැයි පොලිසියේ සැකයයි.

සැකකරුවන් සතුව තිබී ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක්, මත්පෙති, ජංගම දුරකතන, වැගන්ආර් මෝටර් රථයක් අත්අඩංගුවට ගැනෙන්නේ පොලිසිය එහිදී සිදු කරන ලද විමර්ශනයේදීය.

අදාළ වැගන්ආර් රථය ගාල්ලේ අයකුට අයත් අතර, ගාල්ලේ සිට පුද්ගලයන් තිදෙනෙකු මේ සාදයට සහභාගීවීම සඳහා එම මෝටර් රථයෙන් හෝමාගමට පැමිණ ඇතැයි පොලිසිය සැක කරන අතර එම වාහනයෙන් මත්ද්‍රව්‍ය අදාළ නිවසට රැගෙන එන්නට ඇතැයි සැක කැරේ. අදාළ නිවසේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබු කතුන් තිදෙනා ද මුදලට සිය සිරුර අලෙවි කරන අය බව විමර්ශනවලදී හෙළි විය.

අත්අඩංගුවට ගනු ලැබූ අය අතරින් 21 දෙනෙකු හෝමාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මත්ද්‍රව්‍ය ගෙන සිටීද යන්න සොයා බැලීමෙන් පසු මවුපියන් ගෙන්වා භාර දී ඇත.

අයාලේ යෑමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු කතුන් තිදෙනා සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

ගණිකා වෘත්තියේ නිරත බවට සැක කරන කතුන් තිදෙනා සම්බන්ධව සමාජ රෝග වාර්තාවක් කැඳවිණි. එය ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද 21 දෙනා අවුරුදු 22 – 28 අතර වයස්වල පසුවන අය වෙති.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී. නිලංග යන නිලධාරීන්ගේ උපදෙස් මත කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු වික්‍රමරත්න, සැරයන්වරුන් වන (6215) තෙන්නකෝන්, (50228) සමන්ත, කොස්තාපල්වරුන් වන (8436) ප්‍රියංකර, (40517) චතුරංග, (78650) පුෂ්ප කුමාර, (92440) චාමර, (93586) ඩිල්ෂාන්, (97332) ඒකනායක, (39842) සංජීව, කොස්තාපල්වරියන් වන (11171) අංජලිකා, (11819) සෙව්වන්දි යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division