දරුවෝ සහ දෙමවුපියෝ සමඟ සම්බන්ධය ගැන කොතරම් කතා කළත් කවදාවත් අවසානයක් සීමාවක් පෙන්වන්න බැහැ. වර්තමාන සමාජයේ වැඩිහිටියෝ ජීවිතයේ සමහර තීරණ ගන්න බැරුව අසහනයෙන් පෙළෙනවා. අහිමිවීම් දරාගන්න බැරුව, විඳවන තරුණ ප්‍රජාවත් සුළුපටු නැහැ, වැඩිහිටියෙක් වුණාම ජීවිතයේ නිවැරදි තීරණ ගන්න නම් ළමා කාලයේ ඒ අවශ්‍ය මානසික පෙරහුරුව ලබාදීම අනිවාර්යය වෙනවා.
ළමා කාලයේ නියමාකාර හුරුව පුරුදුව ලබන දරුවන් වැඩිහිටියන් වුණු පසු ජීවිතයේ කඩඉම්වලදී තීරණ ගන්න බැරුව දෙගිඩියාවෙන් ඉන්නෙ නැහැ.
දරුවෙක්, තරගයකින් පරාද වුණාම, විභාගයක් ෆේල් වුණාම, යාළුවෙක්ගෙන් ගුටි කාලා ආවම, අඬලා, රිදිලා එයාලටම ඒ වේදනාව දරාගන්න කියලා දෙන්න. ඒ වේදනාත්මක හැඟීම අත් විඳින්න ඉඩ දෙන්න .
උදේ ඉඳන් රෑ වෙනකන්, මන්තරයක් වගේ පන්තියේ පළවෙනිය වෙයන්, අරයට වැඩිය ලකුණු ගනින්, උගතෙක් වෙයන්, සල්ලි කාරයෙක් වෙයන් කියල කියව කියව ඉන්නේ නැතුව ජය පරාජය, ලාභ පාඩු, නින්දා ප්‍රසංශා, යස අයස, ඉස්සරහ එක වගේ ඉවසීමක් තියන, ප්‍රතික්ෂේප වීම්, තනිවීම් ඉස්සරහ දරා ගන්න දන්න, සංයමයෙන් සැනසීමෙන් ජීවත් වෙන මනුස්සයෙක් වෙන්න කියල ළමයින්ට ඉඳලා හිටලා හරි කියල දෙන්න. සහකම්පනය සහිත වැඩිහිටියෙක් නිර්මාණය වීම එක දවසකින් සිදු වෙන්නේ නැහැ,
ශීග්‍රයෙන් හෝමෝන වෙනස් වෙන තරුණ වයසේදි, අමුතු කිචියක් දැනිලා කෙල්ලෙක් එක්ක, කොල්ලෙක් එක්ක පොඩි ඇයි හොඳයියක් තිෙයනවා කියලා දැනගත්තම හදිස්සි වෙලා, ඕක නවත්තපන් නැත්තම් මරණවා, කොටනවා කියලා දරුවො මානසිකව වට්ටන්න කලින් තව සැරයක් හිතන්න.
හතු පිපෙනවා වගේ ඇතිවෙන ඉක්මනින් නැතිවෙන ඒ වගේ දේවල්වලට අනවශ්‍ය හදිස්සියකින් මැදිහත් වෙලා ඒවා චොර කරලා දරුවන්ගේ ලජ්ජාව නැති කරලා, නියපොත්තෙන් කඩන්න තියන දේට පොරවක් ඕන වෙන තත්ත්වෙට නොගෙනෙන්න තරම් බුද්ධිමත් වෙන්න. දරුවන්ගේ ජීවිතවල ගෞරවය රැකීම මවුපියන්ගේ වගකීමක්.
දරුවන්ට ඒ ජීවිතවලට අත්දැකීම් එකතු කරගන්න ඉඩ දෙන්න.
නොලැබීම්වලට හුරු වෙච්ච, පරාජය විඳගන්න පුරුදු වෙච්ච, පොඩි පොඩි සම්බන්ධතාවලින් අත්දැකීම් විඳ ගත්ත දරුවෝ, කවදාවත් තමන්ට ජීවිතේ දේවල් අහිමි වෙනකොට මිනිස්සුන්ව මරලා, පිහිවලින් ඇනල, වහ බීල, කෝච්චියට පැනල ඒවට උත්තර හොයන්නේ නෑ,.
දරුවන්ව කිසිම අත්දැකීමක් නැති, සල්ලි කොළ පස්සෙ විතරක් දුවන හැඟීම් දැනීම් නැති රොබෝවරු කරලා, ජීවිතේ මැද හරියෙදි උන් උන්ගෙ අනාගතේ අනාගත්තහම වැඩිපුරම ඇඬෙන්නෙ මවුපියන්ට. ඒ නිසා හෙට දවසේ මරුවෝ නොවෙන දරුවෝ හදන වගකීම තියෙන්නෙත් මවුපියන්ටම තමයි.
වයසට ගිහින් තමන්ගෙ දරුවෝ දිහා බලලා සැනසිල්ලේ මැරෙන්න ඕනේ නම්, ළමයි පොඩි කාලෙම, ලොකු මිනිහෙක් වෙන විදිහ නෙමෙයි, හොඳ මිනිහෙක් වෙන හැටි කියලා දෙන්න උත්සාහ කරන්න.
වර්තමානයේ, තරුණ දරුවන්ට සිද්ධවෙන අපරාද වැඩිවෙලා වගේම ඔවුන් අතින් සිදුවෙන අපරාදත් හොඳටම වැඩිවෙලා.
කාලේ වෙනස් තාලෙ අලුත්. අපි හැමෝම ඒ වෙනසට හැඩ ගැහෙන්න ඕනෙ. තරුණ දරුවන්ගේ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් නොකර, පුළුවන් තරම් ඔවුන්ට සවන් දීලා, ඔවුන්ගේ පැත්තෙන් හිටගෙන ඔවුන්ව තේරුම් අරගන්න උත්සාහ කරලා, දරුවන්ට ජීවිතේට සුන්දර අසුන්දර දෙවර්ගයේම අත්දැකීම් එකතු කරගන්න අවස්ථාව සලසලා දෙන එක තමයි වර්තමාන මවුපියන්ගේ වගකීම.
එහෙම නොකර දරුවො තමන්ගෙ ජීවිත විනාශ කරගත්තට පස්සේ, අපි කන්න බොන්න දුන්නා ඉල්ලන ඉල්ලන දේ දුන්නා කියලා මවුපියන්ට අත පිහිදගෙන හිත හදාගන්න බෑ.
හේතුව, වැව්වේ තල් නම් පොල් කඩන්න බලන් හිටියට වැඩක් වෙන්නෙ නෑ.
අනිශා ජයකොඩි