Home » කුරුලු කූඩුවක් කඩා බිඳ දැමූ කැනඩාවේ ඛේදවාචකය

කුරුලු කූඩුවක් කඩා බිඳ දැමූ කැනඩාවේ ඛේදවාචකය

ඝාතන සැකකරු ධනුෂ්කගේ මිතුරෙක්

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment
පියා (වම් පස) ඉතිරි කර සදහටම සමුගෙන ගිය දරු පවුල සහ 19 හැවිරිදි ඝාතන සැකකරු

කැනඩාවේ ඔටාවා පළාතේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව්දෙනා ඇතුළු පුද්ගලයන් 6 දෙනකු ඝාතනයට ලක්වීමෙන් එරට ජනතාව තවමත් දැඩි කම්පනයට පත්ව සිටින බව කැනඩාවේ මාධ්‍ය වාර්තා කළේය. ඔටාවා පළාතේ බර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි ධනුෂ්ක මධුරංග සහ පවුලේ සාමාජිකයන් මේ කුරිරු ඉරණමට මුහුණ පෑවේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රි 10.00ට පමණය.

එදින රාත්‍රී ඔටාවා පොලිස් ස්ථානයට ලැබුණු හදිසි ඇමතුමකින් පසු මධුරංගගේ නිවෙසට ගිය පොලිස් නිලධාරින්ට දැකගත හැකි වූයේ නිවෙසේ තැන් තැන්වල වැටී තිබූ ලේ වැගිරෙන මළ සිරුරු බව ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

මිය ගොස් සිටි සියලු පුද්ගලයන් තියුණු ආයුධයකින් සිදු කළ කැපුම් තුවාල හේතුවෙන් සිදු වූ අධික ලේ වහනයෙන් ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, ඒ වනවිට කැපුම් තුවාල සහිතව සිටි ධනුෂ්ක මධුරංග වහා රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. දරුණු ලෙස කැපුම් තුවාල සහිතව මියගොස් සිටියේ ධනුෂ්කගේ බිරිය වන 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා, ඔවුන්ගේ දරුවන් වන සත් හැවිරිදි පුත්‍රයා ඉනුක, සිව් හැවිරිදි දියණිය අශ්විනි, දෙහැවිරිදි දියණිය රිනායා සහ දෙමසක් වයසැති බිළිඳිය කේලි ලෙස හඳුනා ගෙන තිබේ.

ධනුෂ්ක මධුරංග සහ පවුලේ සාමාජිකයන්ට අමතරව එම නිවෙසේ බාහිර පුද්ගලයන් දෙදෙනකු පදිංචිව සිටි බවත්, ඉන් එක් අයකු 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති ධනුෂ්කගේ මිතුරකු බවත් සඳහන් වේ.

ධනුෂ්ක සහ එම මිතුරා කලක් ශ්‍රී ලංකාවේ සුප්‍රකට ජංගම දුරකතන සමාගමක සේවයේ නිරතව සිටි මිතුරන් බව ද වාර්තා වේ. සෙසු පුද්ගලයා ඒ වනවිට නිවෙසින් අතුරුදන් වී සිටි අතර, ඝාතකයා ඔහු බවට සැක කළ අතර, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබිණි. මේ සිදුවීමට අදාළ නිවෙසේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකදී අත්අඩංගුවට පත්වූයේ ධනුෂ්කගේ නිවෙසේහිම පදිංචිව සිටි 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවෙකි. ඝාතකයා ඔහු බවට පොලිසිය සැක කරන අතර, ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසු වෙයි.

මහනුවර පදිංචිව සිටි ධනුෂ්ක මධුරංග කැනඩාවට ගොස් ඇත්තේ මීට වසර තුනකට පෙර බවත්, ඔහු එරට විවිධ ව්‍යාපාරවල නිරතව සිටි බවත් ඔහුගේ පවුලේ ඥාතියකු ‘සිළුමිණ‘ට ප්‍රකාශ කළේය.

‘එයා මගේ ඥාතියෙක්. තවම රෝහලේ ඉන්නේ. සැත්කමක් කරලා තිබුණා එයාගේ ඇඟිල්ලක් නෑ. මුහුණ කැපිලා ඇස්වලටත් තුවාල වෙලා තියෙනවා. හැබැයි ජීවිත අවදානමක් නැති බවයි කැනඩාවේ ඉන්න අපේ හිතවතුන් කියන්නේ.

එයාගේ මල්ලි මාලදිවයිනේ හිටියේ. එයාත් ලංකාවට ආවා. මල්ලි හරි තාත්තා හරි එමර්ජන්සි වීසා එකකින් කැනඩාවට යවන්න තමයි අපි මේ උත්සාහ ගන්නේ. ඔය කියන ශිෂ්‍යයා ධනුෂ්කගේ හිතවතෙක්. අනිත් යාළුවා ලංකාවේදී ධනුෂ්ක එක්ක පෞද්ගලික ජංගම දුරකතන සමාගමේ වැඩ කළේ. මේ තුන්දෙනාම ඒ ගෙදර හිටියා.

එයා වයිෆ්වයි ළමයිවයි ගෙන්න ගත්තේ ගිය අවුරුද්දේ. එයාගේ වයිෆ් උපාධිධාරිනියක්. සැකකරන තරුණයා එක්ක කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ අපි දන්න විදිහට. ධනුෂ්ක හැමදාම වගේ පවුලේ අයට කතා කරනවානේ. ‘ ධනුෂ්කගේ පවුලේ ඥාතියා වැඩදුරටත් එසේ කීවේය.

ධනුෂ්ක විදේශගතවීමෙන් පසු දර්ශනී දිලන්තිකා පොල්ගහවෙල ප්‍රදේශයේ සිය පවුලේ සාමාජිකයන් සමඟ පදිංචිව සිටි අතර, පසුගිය වසරේ ඔහු පැමිණ ඔවුන් කැටුව ගිය බව ඇගේ මව මාධ්‍යයට සඳහන් කරයි.

‘පහුගිය ජුනි මාසේ දුව කැනඩාවට ගියේ. එයාගේ මහත්තයා ඇවිත් දුවවයි දරුවෝ තුන්දෙනයි එක්කගෙන ගියා. හතරවැනි දරුවා ලැබුණේ එහේදියි. පොඩි බබාගේ උපන්දිනේ තිබුණේ මාර්තු 1 වැනිදා.‘ දර්ශනීගේ මව හැඬූ කඳුළින් යුතුව එසේ ප්‍රකාශ කළාය.

කැනඩාවත් ශ්‍රී ලංකාවත් එක් රැයකින් කැලඹීමට පත් කළ මේ දරුණු සමූහ ඝාතනය පිළිබඳ කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ද කම්පාවට පත් වූ අතර, අතිශය ප්‍රචණ්ඩකාරී මේ සිදුවීම සම්බන්ධව කැනඩාවේ රජය කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කර තිබේ.

මේ කුරිරු සමූහ ඝාතනය සිදු වූයේ මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය උදාවීමට පැය කිහිපයකට පෙරය.

පසුදින ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට කැනඩාවේ පැවති සියලු උත්සවලදී ඊට සහභාගී වූවන් මොහොතක නිහඬතාවක නිරත වෙමින් ධනුෂ්කගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබිණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division