Home » අරගලයේ කුමන්ත්‍රණය ගැන ගෝඨාභය හෙළි කරන සැඟවුණු රහස්

අරගලයේ කුමන්ත්‍රණය ගැන ගෝඨාභය හෙළි කරන සැඟවුණු රහස්

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර අනුග්‍රහයෙන් ‘රෙජීම් චේන්ජ්’ මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු වූ හැටි’ යන හැඳින්වීම සහිතව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් රචනා කරන ලද පොතේ නම වන්නේ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ යන්නයි. 2019 වසරේ නොවැම්බර් 18 වෙනිදා සිට 2022 ජූලි 14 දක්වා වසර දෙකක් සහ මාස නවයක කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටි හෙතෙම, එම කාලයේ සිය අත්දැකීම් මෙමඟින් විස්තර කරන්නේය. අරගලය නම් වූ සංසිද්ධිය හමුවේ තමනට ජනාධිපති තනතුර අත­්හැර යෑම සඳහා බලපෑ හේතු ද එහි සඳහන්ය.

එම ග්‍රන්ථයෙන් තෝරා ගත් කොටසක් මෙසේ පළ වේ.

ම කෝවිඩ් -19 වසංගතයේ පළමු රැල්ලට සාර්ථකව මුහුණ දුන් අතර, ඒ වෙනුවෙන් ජනතාවගේ පැත්තෙන් ලැබුණු පිළිගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ද මට හිමි විය. ඉන් පසුව 2021 දී, මම එන්නත් කිරීමේ මෙහෙයුම සාර්ථකව නිම කළෙමි. එමඟින් 2021 අවසානය වන විට රට තුළ සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමට හැකි විය. 2022 දෙවන කාර්තුවේ දී රට සාමාන්‍ය තත්ත්වයට සංක්‍රමණය කරවීමට මගේ විරුද්ධවාදීන් මට ඉඩ දුන්නේ නම්, ඔවුන්ට මගේ ආණ්ඩුව පෙරළීමට ඇති අවස්ථාව ගිලිහී යනු ඇත. යුද සමයේ දී පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පැවති ස්ථායිතාවය හා වර්ධනය ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමට හේතුවක් හැටියට දක්වමින් කලින් පරිච්ඡේදයක අපි උපුටා දැක්වූ 2021 දී නෝර්වීජියානු රජය සම්පාදනය කරවන ලද පෝන්ස් ඔෆ් පීස් නැමති වාර්තාවේ පවසා තිබු කාරණා මෙහි දී අපි නැවතත් සිහිපත් කළ යුතුය. මා බලයෙන් පහ කිරීමේ ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු 31 සිට දියත් වූයේ මේ නිසාය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ ඉල්ලීම 2022 අප්‍රේල් මාසයේ දී ද දිගින් දිගටම පැවතුණි. ඒ හඬ වැඩියෙන්ම නැඟුණේ වරෙක මට සහය දුන් පාර්ශ්ව අතරින්මය. මෙ වන විට නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දී ගත වී තිබුණේ දින කිහිපයක් පමණි. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවටත්, සර්ව පාක්ෂික ආණ්ඩුවකට පාර කැපීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවටත් පවසමින් මා වෙත ලිපියක් එවා තිබුණි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ද එවැනිම ආමන්ත්‍රණයක් ලැබුණු පසු මම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන බව ප්‍රකාශ කර සිටියෙමි. වෙනත් පාර්ශ්වවලින් ද අන්තර්වාර ආණ්ඩුවක් සඳහා යෝජනා අප වෙත ලැබුණි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ලංකා වාණිජ මණ්ඩලය සහ තරුණ බෞද්ධ සංගමය ඒකාබද්ධව රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනා මාලාවක් මහානායක හිමිවරුන් වෙත භාර දෙන ලදී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ අගමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම මෙම යෝජනාවට ඇතුළත් විය.

2022 මැයි 6 වන දින පැවති කැබිනට් රැස්වීමේ දී රටේ පවතින තත්ත්වය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය. 2022 මැයි 07 වැනි දින ත්‍රෛනිකායික මහානායක හිමිවරු රටේ පවතින අර්බුදය විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් අන්තර්කාලීන පාලනයක් ස්ථාපිත කළ යුතු බව නැවත අවධාරණය කළහ. 2022 මැයි 9 වන දින අර්බුදය සම්පූර්ණයෙන්ම නව තලයකට ගෙන ගිය ප්‍රතික්‍රියාවකට තුඩු දුන් සිදුවීමක් සිදු විය. නික්ම යන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සමු දීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැස්වීමක් පැවැත් වු අතර ඔවුන්ගෙන් ඇතැමෙක් ගාලු පාරේ අරලියගහ මන්දිරය ඉදිරියේ පිහිටුවා තිබූ මයිනා – ගෝ- ගම නමින් අපහාසාත්මක ලෙස නම් කොට තිබුණු විරෝධතාකරුවන්ගේ කුඩාරම් සමූහයකට පහර දුන්හ.

ඉන් අනතුරුව ඔවුන් ගාලු මුවදොරට පා ගමනින් ගොස් ගෝඨා – ගෝ – ගම කූඩාරම් නගරයට ද පහර දුන්හ. දශක ගණනාවක් පුරා, ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ආධාරකරුවන් අතර බොහෝ ගැටුම් හටගෙන ඇත. නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රීවරයාගේ ජීවිතය අවසන් කළ 1997 එජාප – එජනිස ගැටුම වැනි ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල වාහන පෙළපාළි අතර වෙඩි හුවමාරු සිදු වූ අවස්ථා පවා තිබිණි. නමුත් 2022 මැයි 9 වන දින රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම අලුත් මට්ටමක සිදුවීමක් විය. අදාළ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් රට පුරා සිටිය ද, අතීතයේ දේශපාලන පක්ෂ අතර ගැටුම් එම සිද්ධිය ඇති වු ප්‍රදේශයෙන් ඔබ්බට කිසි විටෙක පැතිර ගියේ නැත. දේශපාලන පක්ෂ අතර ගැටුම් බොහෝ විට මහ පාරේ ගුටිබැට හුවමාරුවක් ලෙස සිදු වී එතැනින් අවසන් විය. නමුත් 2022 මැයි 9 වන දින අරලියගහ මන්දිරය අසල සහ ගාලු මුවදොර ගැටුම්වලින් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ආපසු නිවෙස් බලා යමින් සිටි බස් රථවලට රට පුරා තැන් තැන්වල ප්‍රහාර එල්ල කරන ලදී. මැයි 9 වැනිදා රාත්‍රිය පුරාවට ශ්‍රීලපොපෙ ආධාරකරුවන්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ නිවෙස්වලට ක්‍රමානුකූලව ගිනි තබන ලද්දේ පෙර සැලසුමක් පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයටය. මෙම පළිගැනීම් ප්‍රහාරවල දී අරගලකරුවෝ විසින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 70කට අධික පිරිසකගේ දේපළවලට හානි කර ගිනි තැබූහ.

රට පුරා සිටින ශ්‍රීලපොපෙ ආධාරකරුවන්ගේ තවත් නිවාස 700 කට අධික සංඛ්‍යාවකට සහ දේපළවලට සංවිධානාත්මක මැර කල්ලි විසින් අලාභ හානි සිදු කළ අතර, මේ සිද්ධීන්වලින් පුද්ගලයන් 300 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම සිදුවීම්වලින් පුද්ගලයන් 10 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර නිට්ටඹුවේ දී මැර පිරිසක් විසින් පහර දී ඝාතනය කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ද ඊට ඇතුළත් ය. මිනීමරු කල්ලිය පැය කිහිපයක් යන තුරුම මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසියට ඉඩ දී තිබුණේ නැත.

රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිර යද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් විය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වී තිබියදීත් එදින රාත්‍රියේ ප්‍රචණ්ඩකාරී පිරිස් අරලියගහ මන්දිරය වැටලීය. ප්‍රචණ්ඩකාරීන් අරලියගහ මන්දිරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා හිටපු අගමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු විය. මැයි 10 වැනි දින අලුයම හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ අය අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට සන්නද්ධ හමුදා භට පිරිස් සමත් විය. මේ ප්‍රචණ්ඩත්වයේ පසු කම්පන දින කිහිපයක් පැවතුණි. විපක්ෂ දේශපාලනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර මන්ත්‍රීවරයාට බරපතළ තුවාල සිදු වී තිබුණි. ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඒ.වී. සරත් කුමාර ඔහුගේ නිවසට එල්ල වු ප්‍රහාරයකින් මිය ගියේය.

මේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු අගමැති ධූරය පත් කිරීමේ අවශ්‍යතාවක් මතු විය. එම නිසා මම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතා කර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මම සරත් ෆොන්සේකාට කතා කර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුට ආරාධනා කර සිටියෙමි. ඔහු මට කීවේ මම ඔහුව අගමැති හැටියට පත් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එතනින් එහාට කටයුතු ඉදිරියට ගෙන යමුය කියාය. ඔහුට පිරිනමනු ලැබූ තනතුර ඔහු එක්වර පිළිගත්තේ නැත.

ඒ වන විට තිබුණේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රටට පාලන අධිකාරියක් නොමැති තත්ත්වයක්ය. ඒ අතරතුර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මා හමුවීමට පැමිණ ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කර පසුව ජනාධිපති ධූරයෙන් මා ඉල්ලා අස්වන්නේ නම් පමණක් අගමැති ධූරය භාර ගැනීමට කැමති බව මට දන්වා සිටියේය. එම කොන්දේසිය පිළිගැනීමට මම සූදානම් නොවුයෙමි. මම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතා කර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුට ආරාධනා කළ විට කිසිදු පැකිළීමකින් තොරව ඔහු එම ධූරය භාර ගත්තේය. එම නිසා මම එතුමාට නව අගමැති ලෙස පත් කළෙමි.

2022 මැයි මස අවසන් සතිය වන විට ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය සඳහා මූල්‍ය හා නීති උපදේශකයන් ලෙස ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නමැති ආයතන බඳවා ගැනීමට රජය තීරණය කළේය. මම ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නව යුද හමුදාපතිවරයා ලෙස උසස් කළ අතර, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම තනතුරේම ස්ථීර කළෙමි. 2022 ජුනි 6 වන දින බ්ලුම්බර්ග් මාධ්‍ය ආයතනය සමඟ කළ පුළුල් සම්මුඛ සාකච්ඡාවක දී මම ප්‍රකාශ කළේ මට අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස යෑමට නොහැකි බැවින් මගේ ධූර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කිරීම මගේ අභිප්‍රාය බවයි. නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවද මම එම සාකච්ඡාවේදී පැවසුවෙමි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන කිරීම සහ යුද්ධයෙන් පසු ඇති වූ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට නායකත්වය දීම වැනි අතීතයේ කළ දායකත්වයට සමාන යමක් ජනාධිපති හැටියට කිරීම මගේ අභිප්‍රාය බව මම එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවෙමි.

2022 ජුනි 9 වන දින දැන් තවදුරටත් අමාත්‍යවරයකු නොවූ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වු අතර, පුරප්පාඩු වු අසුනට ව්‍යාපාරික ධම්මික පෙරේරා නම් කරන ලදී. පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමටත් පෙරාතුව, ඔහු බදු වංචා කළ බවට චෝදනා කරමින් සහ ඔහු ගෙවිය යුතු බදු ගෙවන ලෙසට බල කරමින් උද්ඝෝෂකයන් පිරිසක් ඔහුගේ නිවෙස අසලට රැස් විය. සංවිධානාත්මක අරගලකරුවන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බිය ගැන්වීමට උත්සාහ කළ ආකාරය එම සිදු වීමෙන් පෙන්නුම් කෙරේ. පසුව, පෙරේරා මන්ත්‍රීවරයා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස මම පත් කළෙමි.

2022 ජුලි මාසයේ මුල් දිනවල ඉන්ධන හිඟය උග්‍ර විය. පොදු ප්‍රවාහන සේවා කප්පාදු සිදු විය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ද දැඩි බලපෑමක් එල්ල විය. රජයේ සේවකයන් තම රාජකාරියට පැමිණීම සීමා කළ අතර පෞද්ගලික අංශය ද එවැනි සීමා ක්‍රියාක්මත කළේය. රෝහල්වල වෛද්‍ය සැපයුම් සහ ගිලන් රථ සේවාවලට ද බලපෑම් එල්ල විය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ ඉන්ධන නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය සාමාන්‍ය ධාරිතාවෙන් සියයට 5කට පමණක් සීමා වී ඇති බවය. ඩීසල් ලීටර් 40ක් ගැනීම සඳහා කෙටි දුර බස් රථ හිමියන්ට දින හතරක් පමණ ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ නමුත් ඔවුන්ට එම ඉන්ධනවලින් බස් රථය ධාවනය කළ හැකි වුයේ එක් දිනක් පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට ජනතාව තමන් විසින්ම ඇඳිරි නීතිය පනවාගෙන සිටින තත්ත්වයක් රට තුළ පවතින බවයි. මේ අනුව 2022 ජුලි මස මුල් සතියේ ඉන්ධන සම්බන්ධයෙන් පැවති තත්ත්වය 2022 මාර්තු අවසන් සතියේ විදුලිය සැපයුම සම්බන්ධයෙන් පැවති තත්ත්වයට බොහෝ දුරට සමාන විය.

2022 ජූලි 4 වන දින කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ. 2022 ජුලි 9 වැනි දින මහ පරිමාණ විරෝධතාවක් ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙම සන්දර්භය තුළය. ජුලි 8 හා 9 වන දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අසලට විරෝධතාකරුවන්ට ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ජුලි 8 වැනිදා රාත්‍රියේ බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජය පොලිස් ඇඳිරි නීතිය පැන වූ විට, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහජන උද්ඝෝෂණවලට පෙර පොලිස් ඇඳිරි නීතිය පැනවීම හෙළා දුටුවේ මෙම ක්‍රියාමාර්ගය පැහැදිලිවම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා විසම්මුතිය මැඬලීමේ අරමුණෙන් කරන ලද්දක් බව පවසමිනි. 2022 ජුලි 8 වන දින ආරක්ෂක හමුදා මූලස්ථානයේ සිට මෙහෙයුම් මැදිරිය ජනාධිපති මන්දිරයට ගෙන යන ලෙස මම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට උපදෙස් දුන්නෙමි. 2022 මැයි 9 වැනි දින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී හිටපු අගමැති ඇතුළු පිරිස ඉවත් කිරීමට හමුදා පිරිස් ගෙන්වා ගැනීමේදී අපට ඇති වූ අයහපත් අත්දැකීම් නිසා සියලු ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපති මන්දිරයට කැඳවා ගැනීමට මම මේ පියවර ගත්තෙමි. 2022 ජුලි 9 වන දින උදෑසන 8.00 ට බස්නාහිර පළාතේ සමහර ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ලදී.

2022 ජූලි 9 වන දින උදෑසන ආරක්ෂක ලේකම්, යුද, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කර තිබූ මෙහෙයුම් මැදිරියට පැමිණ සිටියහ. ආණ්ඩුවේ සැලසුම වුයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර කිරීම තුළින් විරෝධතාකරුවන් කොළඹට පැමිණීම වැළැක්වීමයි. නමුත් එවැනි මාර්ග බාධක කොතැනකවත් ස්ථාපිත කර නොතිබූ අතර, උද්ඝෝෂකයෝ කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරය වෙත පැමිණියහ.

පෙරවරු 10.30 ට පමණ මා වහාම ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව ආරක්ෂක ලේකම් හා හමුදා ප්‍රධානීන් මට කියා සිටියේය. ඒ වෙන විට උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරය වටලා පැයක්වත් ගත වී තිබුණේ නැත. ඊට පෙර දින, මගේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි අප හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දෑ සහිතව ගමන් මලු දෙකක් සූදානම් කොට තිබුණි. අප එම ගමන් මලු රැගෙන පහළට පැමිණ අපගේ වාහනවලට නඟින විට, උද්ඝෝෂකයන් ඉදිරි ගේට්ටුව කඩාගෙන ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු විය. මේ සියල්ල සිදුවන අතරතුර බැසිල් ද ජනාධිපති මන්දිරයේ සිටි අතර, ඔහු ද අපේ වාහනයට නැඟගත් පසු අපි ජනාධිපති මන්දිරයේ පසුපස ගේට්ටුවකින් අසල පිහිටි නාවික හමුදා කඳවුර තුළට ඇතුළු වූයෙමු. අපව සුරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට ගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ නාවික හමුදාපතිවරයා සැලසුම් කොට තිබුණි. මේ වන විට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය තුළට පිවිස තිබුණු බව නාවික හමුදා කඳවුරේ රූපවාහිනී තිරවලින් අපට දැක ගත හැකි විය.

නාවික හමුදාව විසින් වරායේ යාත්‍රා දෙකක් සීරුවෙන් තබා තිබූ අතර අපි ඉන් එකකට ගොඩ වූ පසු අනෙක් යාත්‍රාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට යැවීමෙන් මා ගමන් කරන්නේ කුමන යාත්‍රාවේද දැයි පිටස්තර කිසිවකුටත් දැන ගැනීමට නොහැකි ලෙස සැලසුම් යොදා තිබුණි. උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මට ලිපියක් ලියමින් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන මෙන් මගෙන් ඉල්ලා සිටියේය. එම ලිපියට ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් අත්සන් කර තිබුණි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණි. පක්ෂ නායකයන් ගන්නා ඕනෑම තීරණයකට ගරු කරන බව මම අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නෙමි. මම ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑමත් සමඟම බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර සහ ධම්මික පෙරේරා යන අමාත්‍යවරු ඔවුන්ගේ කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූහ.

ඉන්පසු එම දවස ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවෙස වන අරලියගහ මන්දිරය ද උද්ඝෝෂකයෝ ඉතා ඉක්මනින් අත්පත් කර ගත්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ද උද්ඝෝෂකයන් ගිනි තැබුහ. මම අවුරුදු දෙකකුත් මාස නවයක් වැනි කාලයක් ශ්‍රී ලංකාවේ ජනාධිපති වී සිටියෙමි. මේ කාලයෙන් අවුරුදු දෙකකුත් මාස පහක් මම ජීවත් වූයේ මගේ පෞද්ගලික නිවෙසේය. 2022 මාර්තු 31 වැනි දින රාත්‍රියේ මගේ පෞද්ගලික නිවෙස අවට පැවති උද්ඝෝෂණය නිසා මට වැඩි ආරක්ෂාව සඳහා ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑමට සිදු විය. නායකයන් වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන විට, මහජනතාව ද එයට සහාය දිය යුතුය. නැතහොත් සියල්ල ගමන් කරනුයේ ආපස්සටය. 2022 සිදුවීම්වලින් පසුව, තමන්ගේ ආරක්ෂාව කෙසේ වෙතත්, තම අසල්වාසීන්ගේ ආරක්ෂාව ගැන සිතාවත්, කිසිදු නායකයකු ජනාධිපති, අගමැති හෝ ඇමති වැනි ධූරයකට පත්වීමෙන් පසු තමන්ගේ පෞද්ගලික නිවාසවල දිගටම ජීවත් නොවනු ඇත.

කොළඹ වරායෙන් පිටත් වු අපි ත්‍රිකුණාමලයට ගොස් නාවික හමුදා කඳවුරේ රාත්‍රිය ගත කර පසු දා හෙලිකොප්ටරයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ දෙවැනි රාත්‍රිය ගුවන් හමුදා කඳවුරේ ගත කළෙමු. පසු ද රාත්‍රියේ අපි ගුවන් හමුදා ගුවන් යානයකින් මාලදිවයිනට පියාසර කර 2022 ජූලි 12 වන දින අලුයම 3.00 ට පමණ මාලේ අගනුවර වෙත ළඟා වූයෙමු. මාලේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි දූපතක හෝටලයක මට නවාතැන් දීමට මාලදිවයින් රජය කටයුතු කර තිබූ අතර අපි බෝට්ටුවෙන් එම හෝටලයට ළඟා වන විට උදෑසන වී තිබුණි. එතැනින් පෞද්ගලික ගුවන් යානයකින් අපි සිංගප්පුරුව බලා යෑමට සැලසුම් කර තිබුණත්, ඉන්දීය බලධාරීන් මෙම පෞද්ගලික ගුවන් යානයට මාලේ බලා යෑමට අවසර දී තිබුණේ නැත. එම නිසා වාණිජ ගුවන් යානයකින් සිංගප්පුරුවට යෑම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කර ගන්නා මෙන් මම උපදෙස් දුන්නෙමි. ඒ අනුව අපි සෞදි ගුවන් සේවයේ ගුවන් යානයකින් සිංගප්පූරුවට ගියෙමු.

මාලදිවයින් රජය මට හෝටලයේ සිට ගුවන් තොටුපළට යෑමටත් එතැන් සිට සිංගප්පූරුවට යෑමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි. මා සමඟ මගේ බිරිය සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ද ගමනට එක් වී සිටියහ. මාලදිවයිනේ සිටි අවස්ථාවේ දී මා රටින් පිට සිටින නිසා මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කළෙමි. සිංගප්පූරුවේ දී මා ඇතුළු පිරිස ගුවන් තොටුපළේ දී පිළිගෙන හෝටලයට රැගෙන යනු ලැබූ අතර එහිදී මා නවාතැන් ගන්නා තට්ටුව සුරක්ෂිත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි. සිංගප්පූරුවට පැමිණීමෙන් පසු දේශපාලන පක්ෂ නායකයන් මගෙන් කළ ඉල්ලීමට ගරු කරමින් ඉදිරි දින කිහිපයේ දී මම ජනාධිපති ධූරයෙන් ඉවත් වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නෙමි. ඒ වෙන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධූරය ලබා දීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණ සිටි නිසාය.

රට තුළ නීතිය හා සාමය යළි ස්ථාපිත කළේ නම් ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය ඉබේටම ලැබෙනු ඇත. කෙසේ වෙතත් 2022 ජූලි 13 වැනි දින පැවති දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමේ තීරණය කර තිබුණේ උද්ඝෝෂකයන් සතුටු කිරීම තුළින් පවතින තත්ත්වය සමනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවය. කෙසේ වෙතත් අගමැති වික්‍රමසිංහ ඉල්ලා අස් වූයේ නැත. ඔහු ඊට පෙර ප්‍රකාශ කර තිබුණේ නව රජයක් පිහිටුවන තුරු තමන් සිය ධූරයේ රැඳී සිටින බවයි. ජූලි 14 වැනිදා මම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යැව්වෙමි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division