Home » මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා

මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

‘අභිඥාන සකුන්තලා’ යනු මහා කවි කාලිදාසයන් විසින් රචිත නාට්‍ය තුනෙන් අවසන් නාට්‍යයයි.

සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ කාලිදාස නමින් කවියක් තිදෙනකු ගැන සඳහන් ය. ඒ තිදෙනා අතරින් මහාකවි යන ගෞරව අභිධානය යෙදෙන්නේ දෙවන චන්ද්‍රගුප්ත හෙවත් වික්‍රමාදිත්‍ය අධිරාජ සමයේ භාරතයේ විසූ කාලිදාසයන්ට ය. උපන් දිනය නිශ්චිත නැති නමුත් ඔහු ක්‍රි.ව. සිව්වැනි සියවසේ කිසියම් දිනෙක ඇරැඹී පස්වන සියවසේ කිසියම් දිනෙක අවසන් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහු දිවි ගෙවූයේ හිමාලය ආසන්නයේ වර්තමාන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ (අතීත කාලිංග දේශයේ) උජායින් නම් නුවර ය. ඇතැම් විද්වතකුට අනුව ඔහු කාශ්මීරයේ උපත ලබා සමෘද්ධිය පතා දකුණට සංක්‍රමණය වන්නට ඇත. කාලිදාස නම් කවියකු මෙරට කුමාරදාස නම් රජකුගේ රාජ සභාවේ කවියා ලෙස සිටියේ යැයි ඇතැම් තැනක සඳහන් වුව ද ඒ මොහුම යැයි නිශ්චිතව ම කිව නොහැකි ය.

කාලිදාස යනු ඕනෑම වකවානුවක හොඳම ඉන්දීය ලේඛකයා ලෙස බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් ය. එහෙත් ඇතැම් තැනක සඳහන් වනුයේ ඔහු සංස්කෘත බසින් නිර්මාණකරණයේ යෙදුණු විශිෂ්ටතම ලේඛකයා බවයි.

කෙසේවතුදු කාලිදාසයන් විසින් නිර්මාණය කර ඇත්තේ ‘මාලවිකා’ යන කෙටි නමින් හැඳින්වෙන ‘මාලවිකාඅග්නිමිත්‍රම්’, ‘උරුවසී’ යන කෙටි නමින් හැඳින්වෙන ‘වික්‍රමොර්වශියම්’ සහ ‘සකුන්තලා’ යන කෙටි නමින් හැඳින්වෙන ‘ අභිඥාන ශාකුන්තල’ යන නාට්‍ය තුන ද ‘කුමාර සම්භව’ හා ‘රඝු වංශ’ නම් වීර කාව්‍ය දෙක සහ ‘මේඝදූත’ නම් ප්‍රෙම කාව්‍යය පමණි. ඒ අතරින් ඔහු වඩාත් ම ඇගැයීමට බඳුන් වූයේ ‘අභිඥාන ශාකුන්තල’ නිසා ය.

නාට්‍ය ශාස්ත්‍ර ලෙස හඳුන්වන සංස්කෘත නාට්‍ය පිළිබඳ සම්භාව්‍ය න්‍යාය, සංස්කෘත නාට්‍යයක කතා වස්තුව ‘ප්‍රකට එකක් විය යුතුය‘ යන්න නීතියක් බවට පත් කරයි. ඒ අනුව සංස්කෘත නාට්‍ය කතුවරුන් පුරාණ, වෛදික ග්‍රන්ථ සහ සම්භාව්‍ය වීර කාව්‍ය වන මහා භාරතය සහ රාමායණය වැනි ග්‍රන්ථ ඇසුරින් නාට්‍ය නිර්මාණයේ යෙදුණු බව සඳහන් ය. කෙසේ වෙතත් නාට්‍යයක මූලික අරමුණ විනෝදාස්වාදයයි. මූලික කතා වස්තුව ප්‍රකට නිසා, නාට්‍ය ඉදිරිපත් කිරීම යම් ආකාරයකින් රසවත් හෝ සිත් ඇදගන්නාසුළු නොවේ නම්, ප්‍රේක්ෂකයන් ඒ වෙත ආකර්ෂණය නොවනු ඇත. එහෙයින් නාට්‍ය රචකයා ඒ පිළිබඳ ව දැඩි ලෙස සිය අවධානය යොමු කළ යුතු ව ඇත.

මේ නාට්‍යය ඒ අතින් ඉතා උසස් මට්ටමක පවතින බව විචාරක මතයයි. එය සත්‍යයක් බව මේ පෙළ කියවන සාමාන්‍ය පාඨකයකුට වුව වැටහෙනු ඇත.

මේ නාට්‍යය මහාභාරතාඛ්‍යානය නම් වීර කාව්‍යයේ එන කුඩා කතාවක් ඇසුරෙන් නිර්මිත ය. දුශ්‍යන්ත නම් වීර රජෙක් මෙහි ප්‍රධාන පුරුෂ චරිතය වන අතර ප්‍රධාන ස්ත්‍රී භූමිකාව සකුන්තලා නම් වංශවත් එහෙත් අනාථ තරුණියකි.

හිමාලය පාමුල දැඩි තපෝ වෘතයෙන් කල් ගෙවන කෞෂික හෙවත් විශ්වමිත්‍ර නම් තවුසා තමා ඉදිරියේ සරාගී රැඟුම් පාන මේනකා නම් දෙවඟන නිසා සිල් බිඳ ගනී. එහි ප්‍රතිඵලය සකුන්තලා ය. මේනකා දෙව්ලොවට යන අතර දුසිල්වත් විශ්ව මිත්‍ර අසපුවෙන් පලා යයි. කන්ව නම් වෙනත් තවුසකු විසින් ඇය හදාවඩා ගනු ලබන්නී ය. ඉතා රුවැති සහ ගුණැති සුකුමාල තරුණියක වන ඇය තවුස් අසපුවේ වෙසෙන තවුස් වෘත නොදරන තරුණියකි. සමාන ඇවතුම් පැවතුම් ඇති අනසුයා සහ ප්‍රියංවදා නම් මිතුරියෝ දෙදෙනෙක් වෙති.

කන්ව තවුසා ද ආරාමයේ අනෙකුත් වැඩිහිටියන් ද වන්දනා ගමනක් සඳහා පිටත්ව ගිය අවස්ථාවක, හස්තිනාපුරයේ රජු වන දුශ්‍යන්ත දඩ කෙළියේ යන්නේ අසපුව ආශ්‍රිත වනයට පැමිණේ. වෛඛානස නම් මුවකු මරන්නට දුශ්‍යන්ත දුනුදිය අදිත් ම තවුසෙක් පැමිණ ඒ මුවා ආරාමයේ සතකු බවත්, නොමැරිය යුතු බවත් පවසා ඔහුට බාධා කරයි. එය පිළිගන්නා රජු මුවන් නොමරන්නට තීරණය කරයි. පසුව රජු කන්ව මුනිවරයාගේ ආරාමයට පැමිණීමට තීරණය කරයි. අසපුවට බොහෝ දුරින් රථය නවත්වන රජු අසපුව වෙත යන්නේ සාමාන්‍ය වැසියකු සේ වෙස්වලාගෙන ය. ආරාම පරිශ්‍රයට ඇතුළු වන රජ සකුන්තලා දුටු ඇසිල්ලේ ම ඇයට ආකර්ෂණය වෙයි. රජ දකින සකුන්තලාට ද ඇති වනුයේ සමාන හැඟීමකි. දෙනො අතර ඇතිවන සංවාදවලින් පසු ඔහු ඇය ගාන්ධර්ව විවාහයෙන් විවාහ කර ගනී. වැඩි කල් නොගොස් ඔහුට සිය රාජ්‍යයේ කටයුතු සඳහා පිටත්ව යන්නට සිදු වේ. පිටත්ව යන රජු සිය සළකුණ සහිත මුද්ද ඇගේ ඇඟිල්ලේ පලඳවයි.

ඒ කිසියම් දවසක අවශ්‍ය වුවහොත් රාජ සභාවේ දී සිය ගාන්ධර්ව විවාහය තහවුරු කිරීම සඳහා ඇයට දෙන ලාංඡනයයි.

සිය පෙම්වත් සැමියා තමා මෙහි තනිකොට නික්ම යාම නිසා දැඩි සොවින් පසුවන සකුන්තලා කෙරෙන් පරිසරය පිළිබඳ අවධානය දුරු වෙයි. මේ අතර දුර්වාස නම් සිල්වත් නමුත් දුෂ්ට මුනිවරයෙක් කන්වගේ ආශ්‍රමයට පැමිණෙයි. කන්ව නැති නමුත් ඔහු විසින් දියණි තනතුරේ තබා හදා වඩා ගන්නා තරුණිය සිටින බව ඔහු දකියි. වියෝග සිතිවිල්ලේ අතරමංව සිටිනා ඒ තරුණිය හෙවත් සකුන්තලාට දුර්වාස ආ බවක් දැනෙන්නේ නැත. ඇය එසේ වන්නට හේතුව වටහා ගන්නා, කෝපයෙන් වෙව්ලන දුර්වාස සකුන්තලාට සාප කරයි. ‘තිගේ සැමියා යළි කිසි දිනෙක තී හඳුනා නොගනීවා’ යනු ඒ සාපයයි. එය අසන අනසුයා සහ ප්‍රියංවදා බෙහෙවින් තැතිගෙන ඒ සාපය ඉවත් කරන ලෙස දුර්වාසගෙන් බැගෑපත් ව ඉල්ලති. ඒ ඉල්ලීමට සවන් දෙන දුර්වාස ඍෂි තෙමේ කළ සාපය ආපසු ගත නොහැකි හෙයින් ‘එහෙත් කිසිදාක ඇය රජු විසින් දෙන ලද කිසියම් අභිඥානයක් ඉදිරිපත් කළ විට ඔහුට ඇය හඳුනාගත හැකි වේවා’යි සාපය ලිහිල් කරයි.

මේ අතර කන්ව තවුසා ඇතුළු පිරිස අසපුව වෙත පෙරළා පැමිණෙති. සිදු වූ සියල්ල ඔහුට දැන ගන්නට ලැබෙයි. සතුටට පත්වන කන්ව ඇයට ආශීර්වාද කොට දුශ්‍යන්ත රජ මැදුර වෙත යන්නට ඇයට පහසුව සලසා දෙයි.

මේ වනවිට ගැබිනියක වන සකුන්තලා ඉතා සංවේගයෙන් තමා මෙතෙක් විසූ පරිසරයෙන් සමුගෙන ගමනට පිටත් වෙයි. මේ නාට්‍යයේ හොඳම අවස්ථා ඇත්තේ ඇගේ ඒ සමුගැනීමේ බව විචාරකයෝ පෙන්වා දෙති.

ගමනේ දී ඇය ඇතුළු පිරිසට මාලනී නම් ගංගාව තරණය කරන්නට සිදු වේ. ගැබිනියක් වුවත් ඇය කෙළිලොල් ලෙස වතුරේ ගිලී නහයි. එවිට රජු පැළැඳ වූ මුද්ද ඇගේ ඇඟිල්ලෙන් ගැලවී සොයා ගත නොහැකි වෙයි. ඇය දුශ්‍යන්ත රජුගේ මාළිගයට පිවිසෙයි. එහෙත් රජුට සිය ගාන්ධර්ව විවාහය හෝ අලුත් බිරිය ගැන හෝ මතකයක් නැත. ඒ නිසා ඇය පිළිගැනීම ඔහු ප්‍රතික්ෂේප කරයි. සකුන්තලා විවාහක බැවින් ඇය විසිය යුත්තේ සිය සැමියා සමඟ බව ප්‍රකාශ කරන ඇගේ පරිවාර සෙනඟ ඇය එහි හැර පියා ආපසු ආරාමයට යති. ඇයට පුරෝහිත නිවෙසේ නවාතැන් ලැබේ. ඇය එහි සිටින විට අහසින් එන ස්ත්‍රී රුවක් ඇය රැගෙන යයි. ඒ ඇගේ මව වන මේනකා ය. රජු ද ඇතුළු සියල්ලෝ පුදුමයට පත්වෙති.

මේ අතර අස්ථානගත වූ මුද්ද සිය දැලට හසුවන මසකුගේ කුසේ තිබී ධීවරයකුට හමු වේ. මුද්ද රජුට අයත් බව හඳුනා ගන්නා ධීවරයා එය රාජ්‍ය නිලධාරීන් වෙත යොමු කරයි. නිලධාරීහු එය රජුට භාර දෙති. මුද්ද දුටු වහාම රජුට සකුන්තලා පිළිබඳ අතීත මතක සියල්ල සිහිපත් වේ. රජුට තමාගේ වරද වැටහෙයි. එහෙත් කළ හැකි කිසිවක් නොමැත.

මේ අතර රණශූරයකු වන දුශ්‍යන්තට දෙව්ලොව අධිපති ඉන්ද්‍රගෙන් කැඳවීමක් ලැබේ. ඒ දෙව්ලොවට පිවිසි අසුර හමුදාවක් පරාජය කරනු සඳහා ය. ඒ සටනට අවුරුදු කිහිපයක් ගතවෙයි. අසුරයන් පරාජය කරන දුශ්‍යන්තට ඉන්ද්‍රගෙන් වරප්‍රසාද හිමි වේ.

පෙරළා නර ලොවට එමින් සිටිය දී දුශ්‍යන්ත හේමකූට පබ්බත පියසේ මාරිච ඍෂිතුමන් බැහැ දකින්නට එහි සම්ප්‍රාප්ත වෙයි. එහි දී ඔහුට තමාගේ රූපයට හැම අතින්ම සමාන පැංචකු සිංහයකු සමඟ කෙලිදෙලෙන් පසුවනු දක්නට ලැබෙයි. ඒ තමාගේ පුත්‍රයා බව දුශ්‍යන්ත හඳුනා ගනී. පැංචාගේ නම භාරත් බවත් ඔහුගේ මව සකුන්තලා බවත් ඔහු දැන ගනියි. සැමියා, බිරිය සහ දරුවා එක් වීමෙන් සියල්ල සතුටින් නිමා වෙයි.

‘මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා’ නම් සිංහල කෘතිය මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි සහ පියදාස නිශ්ශංක දෙපළගේ පරිශ්‍රමයක ප්‍රතිඵලයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division