Home » වාහන උස්සන – මස් කරන මත්ලෝලීන් දෙදෙනා අල්ලන්න සීසීඩීය ගහපු ගැටේ

වාහන උස්සන – මස් කරන මත්ලෝලීන් දෙදෙනා අල්ලන්න සීසීඩීය ගහපු ගැටේ

by thanushika
March 9, 2024 12:30 am 0 comment

දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය හෙවත් සීසීඩීය රටපුරා සිදුවන අපරාධ මැඬලීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන කොට්ඨාසයකි. පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය වැටලීම්, මිනිස් ඝාතන ඇතුළු බොහෝ අපරාධ මෙන්ම නොයෙක් ආකාරයේ නීතියට පිටින් සිදු වන සිදුවීම්හි සුලමුල අනාවරණය කරගැනීමට දින, සති, මාස නොව වසර ගණන් එම කොට්ඨාසයේ නිලධරයෝ දිවා රෑ නොබලා වෙහෙසෙති. යුක්තිය මෙහෙයුම සමඟ කොළඹ අපරාධ කොට්ඨාස නිලධරයන්ද තව තවත් කාර්යබහුලව සිටී.

මේ අතර ගිය වසරේ අගෝස්තු මස 5 වැනිදා සිදුවූ මෝටර් රථයක් පැහැර ගැනීමේ අපරාධයේ සුලමුල ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාස ගණනාවක් පුරා වෙහෙසී අනාවරණය කර ගැනීමට පසුගිය පෙබරවාරි 28 වැනිදා සමත් වූයේ එම සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගනිමිනි.

කොළඹ ප්‍රධානතම කුලී රථ සේවා ආයතනයකට අනුයුක්තව කුලී ගමන් යන සුදු පැහැති වැගන්ආර් රථයක් කුලී ගමනක් යාම සඳහා ගෙන්වාගෙන එය බුලත්සිංහල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් තිබුණේ රථයේ හිමිකරුට යෝගට් කිරි බෝතලයකට කිසියම් විෂ ද්‍රව්‍යයක් දමා පානයට දී මත් කිරීමෙන් අනතුරුවය. එහි සුලමුල අනාවරණය කරගෙන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

මොහොමඩ් කමල්ඩීන් මොහොමඩ් ඉම්රාන් වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකි. දූදරුවන් සිවුදෙනෙකුගේ පියෙක් වන ඉම්රාන් කොලොන්නාවේ පදිංචිකරුවෙකි. ඔහු සිය දරු පවුල නඩත්තු කිරීමට පවත්නා ආර්ථික අපහසුතා මධ්‍ය යේ මහත් වෙහෙසක් ගත් අයෙකි.

ඉම්රාන්ගේ එකම ආදායම් මාර්ගය තම වැගන්ආර් රථය කොළඹ ප්‍රධානතම ‘කැබ්‘ සේවාවකට අනුයුක්තකොට එමඟින් කුලී ගමන් යාමයි. එම රථයද ලීසිං පදනම මත මිලට ගත් රථයකි.

ඒ 2023 වසරේ අගෝස්තු 05 වැනිදාය. අදාළ කුලී රථ සේවාව මඟින් ඔහුගේ වැගන්ආර් රථයට කුලී ගමනක් ලැබිණි. ඒ කඩවත ප්‍රදේශයෙනි. එදින පස්වරු 7ට පමණ කඩවත අධිවේගී මාර්ගයට ඇතුළු වීමේ දොරටුව අසලින් පුද්ගලයන් දෙදෙනෙකු රථයට ගොඩ වූහ. දෙදෙනාගෙන් කෙනෙකු ‘ප්‍රභූ පුද්ගලයකු‘ සේ වෙස්ගත් අයෙකි. අනෙකා ඔහුගේ ගෝලයෙක් මෙනි. ප්‍රභූ පුද්ගලයා රථයේ ඉදිරිපස අසුනට ගොඩවෙද්දී අනෙකා රිය අසුනට පිටුපස අසුනේ වාඩි ගත්තේය.

“අයියා අපට යන්න ඕනෙ හොරණට… අපේ නැන්දා කෙනෙක් ඉන්නවා… එයා බලලා එන්නයි යන්නේ…” ඔවුහු කීහ.

කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළු වූ රථය කහතුඩුව අන්තර් හුවමාරුවෙන් හොරණ – කොළඹ මාර්ගයට පිවිස හොරණ දෙසට ගමන් කළේය. පොකුණුවිටට පිවිසි රථය මාර්ගය යාබද සුපිරි වෙළෙඳසලක් අසල නතර කෙරිණි. රථයෙන් බැස ගිය ගෝලයා ලෙස පෙනී සිටි පුද්ගලයා යෝගට් කිරි බෝතල් තුනක් රැගෙන ආවේය. ඒ වන විට වේලාව රාත්‍රී අටට පමණ විය.

ඉන් එක් බෝතලයක් ඔහු රියැදුරු ඉම්රාන්ට පානය කිරීමට දුන්නේය. ඔහු උගුරක් පානය කළා පමණි.

“අනේ සර්… මේක තිත්ත රහයිනේ… මට ඇති සර්…” යැයි කී ඉම්රාන් ඉන් බීවේ උගුරක් පමණි.

නැවත තිදෙනා ගමන ඇරැඹිණි. රථය හොරණ පසුකොට බුලත්සිංහල දෙසට ගමන්කොට අමරගෙදර නමැති මාර්ගයට පිවිසුණේය. එම ප්‍රදේශය පාළු ඉසව්වකි. පිටුපස අසුනේ සිටි පුද්ගලයා එක්වරම රියැදුරු ඉම්රාන්ගේ ගෙලට පිහියක් තබා බලෙන් මෙන් යෝගට් කිරි බෝතලයේ ඉතිරි ප්‍රමාණයද පෙව්වේය. අනතුරුව ඉම්රාන්ට දෙදෙනාගෙන් නොසෑහෙන ගුටිබැට සංග්‍රහයක්ද ලැබිණි. ඉන් ඉම්රාන්ගේ හිසට තුවාල ද විය.

එතැන් සිට රිය අසුනට පැමිණියේ රථයේ ඉදිරිපස ගිය ප්‍රභූ වෙස්ගත් පුද්ගලයායි. එලෙස තවත් කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ගිය ඔවුන් ඉම්රාන් රථයෙන් එළියට ඇද දැම්මෝය. ඔහුගේ ජංගම දුරකතන දෙකද පොඩිපට්ටම් කර අසල කැලෑවකට විසි කර දැමු දෙදෙනා රථය රැගෙන පලා ගියෝය. ඊට අමතරව ඉම්රාන්ගේ මුදල් පසුම්බියද ඔවුන් දෙදෙනා පැහැරගන්නා ලදි.

ඒ වන විට රාත්‍රී 9ට පමණ විය. ඉම්රාන් අසල්වාසීන්ගේ සහායෙන් රෝහල්ගත වූයේ ප්‍රතිකාර සඳහායි. අනතුරුව ඔහු අයගම පොලිසියට මේ සිද්ධිය පැමිණිලි කළේය. එහෙත් අයගම පොලිසියේ නිලධාරින් කීවේ එම ප්‍රදේශය බුලත්සිංහල පොලිස් වසමට අයත් බවය.

විමර්ශන නිසි පරිදි සිදු නොවන හෙයින් ඉම්රාන් තම මෝටර් රථය පැහැරගෙන යාම පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේය. එම පැමිණිල්ල එවකට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් යොමු කෙරුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි. ඒ 2023 අගෝස්තු 15 වැනි දිනය. ඉම්රාන්ගේ රථය පැහැරගෙන ගොස් ඒ වන විට දින 10ක් ඉක්ම ගොසිනි.

ලැබුණු එම පැමිණිල්ල පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක එච්. ජී. එස්. ප්‍රියමන්තට එහි විමර්ශන භාර කෙරිණි.

උපපොලිස් පරීක්ෂක ප්‍රියමන්ත විමර්ශන සඳහා මේ සිද්ධියේ ‘කොන‘ක් සොයා ගැනීමට වෙහෙසුණි. ඔහු ඉම්රාන්ගෙන් බොහෝ තොරතුරු විමසීය.

“සර්… ඒ දෙන්නා වාහනේ ගන්න කතා කළ ෆෝන් අංකෙ නම් තියෙනවා මා ළඟ…“ ඉම්රාන් කීවේය.

එය විමර්ශනවලට පොටක් පාදා ගැනීමට හොඳ මඟකි. උපපොලිස් පරීක්ෂක ප්‍රියමන්ත එම දුරකථන අංකයේ විශ්ලේෂණ වාර්තාව ඔස්සේ ජංගම දුරකතන දෙකක ඉමි (Emi) අංක දෙකක් සොයා ගැනීමට සමත් විය. එම ඉමි අංකවලට යොමුකරන ලද සිම්පත් පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු එම ඉමි අංකවලට අදාළ ජංගම දුරකතන දෙක මිල දී ගත් වෙළෙඳසල් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.

එම දුරකතන දෙක මිලදී ගෙන තිබුණේ ගල්කිස්සේ ගාලු පාරේ පිහිටි උකස් බඩු මධ්‍යස්ථානයකින් සහ අත්තිඩියේ උකස් බඩු මධ්‍යස්ථානයකින් බව හෙළිදරව් කර ගැනිණි.

පොලිස් නිලධාරිහු ක්ෂණයෙන් එම උකස් මධ්‍යස්ථාන කරා ගොස් අදාළ ජංගම දුරකතන දෙක ලබාගත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීමට සීසීටීවී කැමරා පරීක්ෂාවක් කළෝය. එමඟින් දුරකතන මිලදී ගත් එක් පුද්ගලයකු හඳුනා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. ඔහු මුව ආවරණයක්ද පැලඳ සිටියේය.

එසේම ඉමි අංක ඔස්සේ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙකී දුරකතන දෙක මිලට ගත් දෙදෙනා ඒ සඳහා සිම්පත් දෙකක් නුගේගොඩ ගුවන් පාලම අසල වෙළෙඳසලකින් මිලට ගත් බවද අනාවරණය කර ගැනීමට සමත් විය. එම සිම්පත් මිලට ගෙන තිබුණේ වෙනත් අයගේ ජාතික හැඳුනුම්පත් ඡායා පිටපත් ඉදිරිපත් කරමිනි.

දුරකතන දෙකෙන් එකක් මිලට ගෙන තිබුණේ මෝටර් රථය පැහැර ගැනීමට පසු දිනය. අනෙක් දුරකතනය ඊට දින තුනකට පෙරදීය. එනම්, ඉකුස් වසරේ අගෝස්තු 2 වැනිදාය. සිම්පත්ද එදින මිලට ගෙන තිබිණි. එලෙස සියල්ල සීසීඩී නිලධාරින් සොයා ගත්තේ දින ගණනාවක සූක්ෂ්ම විමර්ශනයකිනි.

දුරකතන මිලට ගැනීමට සහ සිම්පත් මිලට ගැනීමටද යොමු වී තිබුණේ රථය පැහැර ගැනීමට ගෝලයා ලෙස ගිය පුද්ගලයාය. පුද්ගලයන් දෙදෙනාගේ තොරතුරු එලෙස හෙළි කර ගනිද්දී මිල දී ගත් සිම්පත් දෙකෙහි දුරකතන විශ්ලේෂණ වාර්තා පිරික්සද්දී 5 වැනිදා දහවල් එම සිම්පතකින් ඇමැතුමක් ගත් දුරකතන අංකයක් ගැන විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු විය.

එම දුරකතන අංකයද මෙරට ජනප්‍රිය කුලී රථ සේවාවකට අනුයුක්තය රථයක් ‘හයර්‘ කරන අයෙකුගේය. සීසීඩී නිලධාරින් එම පුද්ගලයා සොයා ගියේය. ඔහු එතෙක් කිසිවක් දැන සිටියේ නැත.

“සර්… ඔය අංකෙන් කෝල් කළ කෙනා එදා දවල් ටවුන්හෝල් එකෙන් මගේ කාර් එකට නැග්ගේ… මට කිව්වේ, එයාගේ තාත්තා ජාතික රෝහලේ ඉන්නේ… තාත්තට ලේ දෙන්න කෙනෙක් හොයාගෙන එන්න දඹුල්ලට යමු අයියේ කියලා…”

එදා එම රථයට නැඟ තිබුණේ ඉම්රාන්ගේ රථය පැහැර ගනිද්දී ගෝලයා ලෙස පෙනී සිටි පුද්ගලයායි. අනෙකා ත්‍රිරෝද රථයකට නැඟ අදාළ මෝටර් රථයේ පිටුපසින් ගොස් තිබිණි.

ටොයෝටා ග්‍රේස් වර්ගයේ එම කාර් රථය නුවර පාර ඔස්සේ අලව්ව පාලම දක්වා ගියේය. රථයේ ගමන් කළ පුද්ගලයා නිතරම දුම්වැටි මිලට ගැනීමටද රථය නතර කළේය.

“සර්… ඒ පුද්ගලයා අලව්වෙදි බැහැලා මට කිව්වා… අයියේ පොඩ්ඩක් ඉන්න… මං ඉස්සරහට ගිහින් එන්නම් කියලා… ඒ ගියා ගියාමයි සර්… මං කෝල් ගැහුවා ගැහුවා ආන්සර් කළේ නෑ… අන්තිමට මට හයර් එකේ සල්ලිත් නැතිවම කොළඹ එන්න වුණා… දැන් තමයි සර් මට තේරෙන්නෙ… එයා එදා මගේ වාහනේට ගේම දෙන්න හැදුවේ… මගෙන් වාහනේ බොහෝ විස්තර ඇහුවා… සිකුරිටි තත්ත්වයත් ඇහුවා… මං කිව්වා ජීපීඑස් එහෙමත් තියෙනවා කියලා… ඒක තමයි මිනිහා පස්සෙ මාරු වුණේ…” ඒ එම කුලී රථ රියැදුරා එදා මුහුණ පෑ සිද්ධිය පොලිසියට කී ආකාරයයි.

අලව්වෙන් බැසගත් පුද්ගලයා සහ ත්‍රිරෝද රථයේ ගිය ප්‍රභූ පුද්ගලයා සේ පෙනී සිටි පුද්ගලයා යන දෙදෙනා එදින සවස 7 පමණ වෙද්දී කඩවතට පැමිණ ඉම්රාන්ගේ මෝටර් රථයට කුලී ගමනක් යාම සඳහා නැඟ තිබුණේ ඉන් අනතුරුව බව සීසීඩී නිලධාරින් අනාවරණය කර ගත්තේය.

එසේ එම පුද්ගලයන් දෙදෙනාගේ තොරතුරු හෙළි වූවත් සීසීටීවී ඡායාරූපයේ සිටි පුද්ගලයා සහ අනෙක් පුද්ගලයාගේ නම්-ගම් කිසිවක් සොයාගැනීමට කිසිම හෝඩුවාවක් නැත.

එම ඡායාරූපය පොලිසියේ ඊට අදාළ වෙනත් කොට්ඨාසවලටද යොමු කෙරිණි.

“අපි ඒ ෆොටෝ එක අපේ මීඩියා සර් හරහා මාධ්‍යයට නිකුත් කළා… පත්තරවල පින්තූරෙයි නිව්ස් එකයි පළ වුණා. ඒක දැක්ක කෙනෙක්…“ ඒ විමර්ශන නිලධාරින් වැගන්ආර් රථය පැහැරගත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මාධ්‍යයේ සහාය ගත් ආකාරය හෙළි කරමිනි.

එම පුවත්පත් වාර්තාව දුටු පුද්ගලයෙක් මෝටර් රථය පැහැරගත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට දින හතරකට පමණ පෙරදී දුරකථන ඇමැතුමක් දී තිබුණේ ඉම්රාන්ගේ කුලී රථ සේවා ආයතනයටය.

වැල්ලම්පිටියේ පුද්ගලයෙක් වන ඔහු මෙකී සැකකරුවන් දෙදෙනා ගැන දැන සිටි අයෙකි. ඔහු ඉම්රාන්ගේ කුලී රථ සේවා ආයතනය ඇමැතීය.

“ඔයාලගේ ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැගන්ආර් එකක් ඉස්සුවා නේද? මං දැක්කා පේපර් නිව්ස්වල තියෙනවා… මට ඒ ඩ්‍රයිවර් කන්ටැක් කරලා දෙනවද? මං ඔය කියන දෙන්නා දන්නවා…”

කුලී රථ ආයතනය ඉම්රාන්ට එම පුද්ගලයා සම්බන්ධ කර දුන්නේය. ඉම්රාන් විසින් ඒ බව සීසීඩී නිලධාරින් දැනුවත් කළේය.

වැල්ලම්පිටියේ එම පුද්ගලයා සීසීඩී නිලධාරීන්ට තොරතුරු ලබා දුන්නේය, සැකකරුවන් දෙදෙනා සිටින ඉසව්ද පවසමිනි. ඒ හිඹුටානේ සල්මල් උයන, රාජසිංහ මාවතේ ස්ථානයක් ගැනය.

එම හෝඩුවාවත් සමඟ උපපොලිස් පරීක්ෂක ප්‍රියමන්ත ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක විය. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. නිලධාරි කණ්ඩායම රාජසිංහ මාවතේ පිහිටි වැල්ලම්පිටියේ පුද්ගලයා කී කාර්යාලයට ගොඩවැදුණේය. දෙදෙනාම එහි විය.

එලෙස නීතිවිරෝධී ක්‍රියා සිදු කරමින් සිටි දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. වැගන්ආර් රථය පැහැර ගනිද්දී ප්‍රභූ පුද්ගලයා ලෙස පෙනී සිටියේ මත්තෙගොඩ පදිංචි 37 හැවිරිදි ගයාන්ය. ගෝලයා ලෙස පෙනී සිටියේ කිරිවත්තුඩුවේ පදිංචි 29 හැවිරිදි ශෙහාන්ය. දෙදෙනාම විවාහකයන් වන අතර, පන්නිපිටියේ ප්‍රසිද්ධ පාසලක අාදී සිසුන්ය. ශෙහාන්ගේ වැඩිමල් සහෝදරයා සහ ගයාන් එකම පන්තියේ ඉගෙන ගත් අයවලුන්ය. දැඩි සේ කැසිනෝ සූදුවට ඇබ්බැහිව සිටින දෙදෙනා අත්අඩංගුවට ගනිද්දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 911ක්ද හමු විය.

“තමුන් මොකද මේ කළේ…“ පොලිස් නිලධාරින් විමසීය. දෙදෙනා නිරුත්තරය. එහෙත් පොලිසියෙන් ගැලවීමක් නැත.

“අපි එදා පොකුණුවිටදී ගත්තු යෝගට් කිරි බෝතල් තුනෙන් ඩ්‍රයිවර්ට දීපු එකට ඒ ෆුඩ් සිටියේ වොෂ් රූම් එකට ගිහින් විසක් දැම්මා සර්…” දෙදෙනාගෙන් එකෙක් කීය.

“කෝ දැන් වාහනේ…” දෙදෙනා මුහුණට මුහුණ බලති. ඒ අනුව ඔවුන් දෙපළගේ පාපෝච්චාරණයෙන් හෙළි වන්නේ මෙවැන්නකි.

එදා රාත්‍රී ඉම්රාන්ගේ වැගන්ආර් රථය පැහැරගත් දෙදෙනා මෝටර් රථය රැගෙන තලවතුගොඩට පැමිණියේය. පසුව වෙනත් අංක තහඩු යොදා රථය දින හතරක් පමණ පාවිච්චි කළෝය. පන්නිපිටියේ ගයාන්ගේ මිතුරෙක් සිටී. ඔහු 51 හැවිරිදි චන්ද්‍රසිරි හෙවත් චන්දනය. චන්දන වාහන අමතර කොටස් අලෙවිසලක් පවත්වාගෙන යන්නෙකි. පසුව සල්මල් උයනට චන්දන ගෙන්වාගත් දෙදෙනා එම රථය චන්දන ලවා ‘මස්‘ කළහ. අනතුරුව රථයේ කොටස් තැන් තැන්වලට විකුණා දැමූහ.

“කාර් එකේ කෑලි ටික කීයකට ද විකිණුවේ…“ පොලිස් නිලධාරියෙක් විමසීය.

“සර් අපිට හම්බ වුණේ ලක්ෂ අටයි…“ වාහනය පැහැරගත් සැකකරුවන් දෙදෙනා ගැන පොලිස් විමර්ශනවලදී වැඩිදුර අනාවරණය වන්නේ දෙදෙනා එක්ව කැලණියේ පුද්ගලයකුගේද වැගන්ආර් රථයක් රුපියල් ලක්ෂ හතළිස් ගණනකට විකුණා දෙන බවට පවසා එම රථය රැගෙන ගොස් විකිණීමෙන් පසු දෙදෙනා අතුරුදන් වෙමින් වංචාවක් කර ඇති බවයි.

“එතකොට තමුන්ලා තවත් වාහනයක් විකුණලා තියෙනවා නේද?” පොලිස් නිලධාරීයෙක් විමසීය.

“ඒක අපි සර් ග්‍රැන්ඩ්පාස් කෙනෙකුට ලක්ෂ හතළිස් ගාණකට විකුණුවා… දැන් ඒක පිළියන්දල කෙනෙක් ළඟ තියෙනවා කියලා ආරංචියි…”

දැඩිව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින දෙදෙනා කලින් කලට තැනින් තැනට මාරු වොමින් ‘මරිසි‘ ජීවිත ගත කරන දෙදෙනෙකි. එම දෙදෙනා කලක් බන්ධනාගාරගතව සිටියේය. ඒ ශෙහාන් අයිස් ග්‍රෑම් පහක් සමඟ මීගොඩ පොලිසියට හසුවීමෙන් සහ ගයාන් චෙක්පත් වංචාවකට හසුවීමෙනි. ගයාන් මෝටර් රථ වංචා ඔස්සේ නඩු රැසකට පැටලී සිටින අයෙක් බව පොලිසිය පවසයි.

දෙදෙනාම 2023 වසරේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී සමීප හිතවත්කමක් ගොඩනඟාගෙන තිබිණි. ඊට පෙරද දෙමිතුරන් වී තිබුණේ ශෙහාන්ගේ වැඩිමල් සහෝදරයාගේ එකම පන්තියේ ගයාන්ද ඉගෙන ගැනීම නිසාය. දෙදෙනාගේ දුරකතන පරීක්ෂාවේදී ඇතැමුන් ශාප කරමින් එවා ඇති ‘කෙටි පණිවිඩ‘ රාශියකි. ඒ දෙදෙනා නිවාස ඉදිකිරීම් සමාගමක් අරඹමින්ද බොහෝ වංචාවන් කර ඇති හෙයිනි. ඒ ඔස්සේ ලක්ෂ පනහ, හැට වංචා කර ඇති බවය.

වාහනය ‘මස්‘ කිරීම හේතුවෙන් චන්දන ද අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව අත්අඩංගුවට ගත් තිදෙනා මෝටර් රථය පැහැර ගැනීමට මහර අධිකරණයට ඉදිරිපත් කළ අතර, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අලුත්කඩේ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබාගෙන වැඩිදුර ප්‍රශ්න කරමින් සිටී.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක එච්. ජී. එස්. ප්‍රියමන්ත, සැරයන්වරුන් වන 61072 බණ්ඩාර, 73011 සමන්, කොස්තාපල්වරුන් වන 82223 රොෂාන්, 3122 උදයංග සහ කොස්තාපල් රියැදුරු 105583 නුවන් යන නිලධාරිහු එක් වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division