Home » ආදරෙයි කියන්න මාස හයක් බලන් හිටියා

ආදරෙයි කියන්න මාස හයක් බලන් හිටියා

by Mahesh Lakehouse
March 3, 2024 12:30 am 0 comment

– මම විශ්වාස කරනවා මගේ අම්මා වගේම එයත් මට අවශ්‍ය කෑම බීම හදලා දෙයි කියලා
– එයා මුලින්ම දන්නෙ නැහැ මම කාගේ කවුද කියන්න ඒත් පස්සේ දැනගත්තා
– එයා ඔස්ට්‍රේලියාවේ පදිංචිය ගන්න පුළුවන්කම තියෙද්දි සියල්ල අත් හැරලා ලංකාවට ආවා
– මම වෙනුවෙන් එයා ලංකාවට ආවා එදා මට සතුටු හිතුණා

පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ නිසාම ශ්‍රී ලංකා A කණ්ඩායමත් 19 පහළ ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කිරීමට වරම් ලැබූ ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නත් වාසනාවන්ත වුණා. කුඩා කාලයේම ක්‍රිකට් පිත්ත අතට ගත් ඔහු ක්‍රිකට් ජීවිතයට මූලාරම්භය ගන්නේ දක්ෂ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න නිසයි. ඒ ඔහුගේ ආදරණීය පියාණන්ය. 1996 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වැනිදා උපත ලැබු ඔහු නමින් දුවිඳු සචීන් තිලකරත්නයි. 1996 වර්ෂයේ මාර්තු 17 දා ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව සතු කර ගත් මොහොතේ ඔහු මවු කුස තුළ සිට ඒ අත්දැකීම් විඳගත් නිසා ම ඔහුට ක්‍රිකට් ක්‍රිඩාව ඕපපාතිකයක් නෙමෙයි. මේ කතාබහ අලුත් ජීවිතයකට ආරම්භය ගත් හෂාන් තිලකරත්නගේ පුතු දුවිඳු ගැනයි

හෂාන් තිලකරත්නගේ නිවුන් දරුවන්ගේ වැඩිමහල් පුතු ඔබයි. දුවිඳු පසුගියදා විවාහ දිවියට ආරම්භය ගත්තා නේද ..?

ඔව්. මගේ බිරිය වුණේ යොශානි බදුගේ. අපි පෙබරවාරි මාසේ දා විවාහ වුණා. අලුත් ජීවිතයක් ගත කරනවා. විවාහයෙන් දින කිහිපයකට පස්සේ මමත් යොශානිත් වෙනම නිවෙසක පදිංචි වුණා අපි දෙන්නගෙම වැ‍ෙවලට පහසු ප්‍රදේශයකින්. එයත් ජොබ් එකක් කරනවා. අපි හොඳින් සතුටින් ජීවත් වෙනවා.

ඔබේ ක්‍රිකට් ජීවිතේ වගේම පුද්ගලික ජීවිතේ වගකීම් සියල්ල දෙමාපියන් අතේ තිබ්බේ, තනියම වගකීම් දරන්න පුළුවන් ද දැන් .?

මගෙත් මල්ලිලා දෙන්නගෙත් සියලු දේ හරියට කරගන්න උදවු කරන්න අම්මත් තාත්තාත් මහන්සි ගත්තා. හැම දේම හොයලා බැලුවා. හරි මාර්ගය පෙන්නලා දුන්නා. නිසි වයස ආවා විවාහ වෙන්න. දැන් මගේ වයස 27ක්. ඒ නිසා පවුල් ජීවිතේ වගකීම් ගත්තා. විශ්වාස කරනවා මගෙත් යොශානිගෙත් ආදරේ. අවබෝධය එක්ක වගකීම් නිසියාකාරව දරමින් අම්මත් තාත්තත් ලස්සනට ජීවත් වෙනවා වගේ අපි දෙන්නටත් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කාලය කැප කරන්න ඕන. නිසියාකාරව අහාර පාන ගන්න ඕන. ඔබේ මව මෙන් බිරිය ඊට කැපවිම් කරයිද..?

මගේ කැමතිම දේ තමයි ක්‍රිකට් කියන්නේ. ඒක මගේ ජීවිතේ වගේ. ඒක යොශානි දන්නවා. ඇත්තටම කිවුවොත් එයා මගේ ක්‍රීඩා ජීවිතේ වෙනුවෙන් එයාගේ ජීවිතේ කැප කළ කෙනෙක්. එයා ඔස්ට්‍රේලියාවේ අවුරුදු පහක් ජීවත් වෙලා එහේ පදිංචිය ගන්න පුළුවන්කම තියෙද්දි මම වෙනුවෙන් සියල්ල අතත් හැරලා ලංකාවට ආවා. එයා එහේ හොඳ ජොබ් එකක් කළා. මම විශ්වාස කරනවා මගේ අම්මා වගේම එයත් මට අවශ්‍ය ආහාර පාන හදලා දෙයි කියලා. එයාගේ කෑම රසයි. මමත් ජිම් යනවා. කෑම බීම පාලනය කරනවා. සතියට දවස් හතරක් විතර පුහුණුවීම් කටයුතු කරනවා.

යොශානි කාලයක් ජීවත් වුණේ ඔස්ට්‍රේලියාවේ කිවුවා, කොහොමද ඒ ආදර කතාව පටන් ගන්නේ..?

මගේ යාළුවෙක්ගේ උපන් දින සාදයකට මම සම්බන්ධ වුණා. එ් 2015 අවුරුද්දේ. යොශානිත් එදා ඇවිත් හිටියා. ඒ යාළුවාගේ මාර්ගයෙන් එයාව හඳුනාගෙන අපි දෙන්නා කතාබහ කරලා තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. ආදරේ කරද්දී මගේ වයස 18ක්. ඒ නිසා ගෙදරට මුලින්ම කියන්න ගියේ නැහැ. අපි ටිකක් ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි දෙපාර්ශවයේම දෙමාපියන්ට කිවුවේ.

ඔබේ පියා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ ජනප්‍රිය ක්‍රීඩකයාගේ පුතා ඔබ බව යොශානි දැනගෙන හිටියද..?

එයා මුලින්ම දන්නෙ නැහැ මම කාගේ කවුද කියන්න. ඒත් පස්සේ එයා දැනගත්තා.

ආදරේ ප්‍රකාශ කරද්දී ඔබේ මවුපියන් අකමැති වෙයි කියලා හිතුණේ නැද්ද?

මම ආදරේ ප්‍රකාශ කරන්න මාස හයක විතර කාලයක් ගත්තා. මම ආදරේ ප්‍රකාශ කරද්දී යොශානි කිවුවා මම හිතලා බලලා කියන්නම් කියලා. එයා පහුවදා කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පස්සේ අපි දෙන්නා කතාබහ කරලා හරි කාලේ ආවම මම අපේ මවුපියන් ට කිවුවා. එයාලා හැමදාම අපේ නිදහසට, කැමැත්තට ඉඩ දුන් මවුපියන්. අම්මාවත් තාත්තාවත් අකමැති වුණේ නැහැ. මොකද අකමැති වෙන්න හේතුවක් නොතිබ්බ නිසා. එයාලා දන්නවා අපි වැරදි තීරණ ගන්නෙ නැහැ කියලා. යොශානිට ආදරේ ප්‍රකාශ කරද්දී නම් මම මුලින්ම දෙමාපියන් කැමති වෙයිද අකමැති වෙයිද කියන එක හිතුණේ නැහැ.

ඔබත් රවින්දු නිවුන් සහෝදරයින්, ක්‍රිකට් තරග සඳහා නවසීලන්තය බලා ගිය ඔහුත් ලංකාවට ආවා ඔබේ විවාහ මංගල්‍යයට සම්බන්ධ වෙන්න ..?

අපි දෙන්නා පුංචි කාලේ ඉඳලම එකට හැදුණු වැඩුණු දෙන්නෙක්. නිවුන් සහෝදරයින් විදිහට අපි හරි කිට්ටුයි. එයා තරගවලට නවසීලන්තයට ගිහින් හිටියත් ලංකාවට ආවා. මගේ වෙඩින් එක ඉවර වෙලා එයා නැවත ගියා. ආයේ එන්නේ එයා අප්‍රේල්වල. මගේ වෙඩින් එකට ආවේ මැච් දෙක තුනක් මිස් කරගෙන. මම වෙනුවෙන් එයා ලංකාවට ආවා. එදා මට සතුටු හිතුණා. එයත් මගේ විවාහය ගැන හරියට සතුටු වුණා. එයත් ඉක්මනින් විවාහ දිවියට ඇතුළත් වෙයි.

දුවිඳු කිහිප වතාවක්ම ජාතික ක්‍රිකට් කණ්ඩායම ට ඇතුළත් වුණත් ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කර ගත්තේ නැහැ. ඒ ගැනත් කියමු..?

ස්කොඩ් එකට ඇතුළත් වුණත් ආබාධයට ලක් වුණ නිසා ක්‍රීඩා කරන්න බැරි වුණා. 2022 වර්ෂයේ තමයි මම හොඳටම දක්ෂතා පෙන්නූ අවුරුද්ද. නමුත් ආබාධ තත්ත්වය නිසා කණ්ඩායමෙන් අයින් වුණා. නැවත අවස්ථාවක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. පසුගියදා සුපර් ලීග් ඉවර වුණා. දැන් මම ක්‍රීඩා කරන්නේ BRC ක්ලබ් එකට. ලැබෙන හැම තරගයක්ම සාර්ථකව කරන්න උත්සාහ කරනවා. අවුරුදු ගාණක් මහන්සි වෙලා ලකුණු අතරට, ඇවිත් අමාරුවෙන් ලැබුණු අවස්ථාව නැති වුණාම මම දුක් වුණා . ඒත් මනසින් වැටිලා තේරුමක් නැහැ. ආයෙමත් ප්‍රෆෝම් කරන්න තමයි උත්සාහ කරන්නේ

මවුපියන් ක්‍රිකට් ආයතනය නියෝජනය කිරීම උවිඳු අසාධාරණයට ලක් වීමට එක හේතුවක් කිවුවොත්..?

එහෙම හිතුණ අවස්ථා තියෙනවා. මට අවස්ථාව ලැබුණේ අම්මයි තාත්තයි ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නිසා නෙමෙයි. මට අවස්ථාව ලැබුණේ මගේ හැකියාවට. එයාලා කවදාවත් කාගෙන්වත් ඉල්ලලා නැහැ අපිට අවස්ථාව දෙන්න කියලා. අපි දක්ෂතා පවත්වාගෙන යන්න ඕන. එහෙමයි කියන්නේ. ඒක ඇත්ත. ඒ නිසා මමත් මල්ලිලාත් දක්ෂතා දක්වන්න කැප වෙනවා. අසාධාරණයක් වුණත් හිතන්නේ නැහැ. කවදා හරි අවස්ථාව හිමිවෙයි දක්ෂ නම්. ආයෙමත් අවස්ථාවක් හිමි වුණොත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

උවිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න කැමති වෙන්නෙ පියා ක්‍රීඩා ජීවිතේ ජනප්‍රිය තරුවක් නිසාද ..?

මම ක්‍රිඩාවට කැමැති ජනප්‍රිය වෙන්න හෝ සල්ලි හොයන්න නෙමෙයි මගේ හිතේ තියෙන ආසාවට. මට මතකයි මගේ තාත්තගේ තාත්තා, සීයා, මාවත් මල්ලිවත් අරන් ග්‍රවුන් එක්කගෙන යනවා. එයා තමයි මගේ මුලින්ම කෝච්. මට වයස පහක් හයක් විතර ඇති, අපිට බෝල් කරන්න බැට් කරන්න පුරුදු කළේ සීයා. එතැනින් තමයි මට ක්‍රිකට් ගැන ආසාව ඇති වෙන්නෙ. පුංචි කාලේ ඉඳලා අම්මා එක්ක අපි තාත්තා සෙල්ලම් කරන මැච් බලන්න ගිහින් තියෙනවා. ඒ දේ එක්ක තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියලා හිතුවේ.

ක්‍රිකට් ජීවිතේ කාවද අනුගමනය කරන්නේ..?

මම ෆලෝ කරන්නෙ මගේ තාත්තව. හෂාන් තිලකරත්න කියන ක්‍රීඩකයාව තමයි මම ෆලෝ කරන්නේ. අදටත් මම හරි ආසයි තාත්තා සෙල්ලම් කරපු මැච් බලන්න. පරණ මැච් හොය හොයා ඒවා බලනවා. තාත්තා සෙල්ලම් කරන විදිහ බලනවා. ඒවායින් අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා.

උවිඳු කතාබහ අවසන් කරන්න කලින් මොනවද කියන්න තියෙන්නේ ..?

ක්‍රීඩකයෙකුට විනය තමයි වැදගත් වෙන්නෙ සියල්ල පවත්වාගෙන යන්න. ඒ විනය තාත්තා අම්මගෙන් අපිට ආ දෙයක්. තාත්තා නිතරම කිවුවේ විනය ඇතුව ඒ කාලේ අපි හැදුණේ කියලා. ඒ නිසා තමයි තාත්තා හා සම වයසේ ක්‍රීඩකයින් ඒ තරම් දක්ෂතා අතරේ හිටියේ. නි‍ෙවසේදි විනය ඇති දරුවෙක් විදිහට බිහි කළාට ඇති දැඩි කළාට මවුපියන්ට ස්තුතියි කියන්න ඕන. ඒ වගේම ආසාවෙන් ඉන්නවා ආයෙමත් ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්නත්. ලස්සනට පවුල් ජීවිතේ ගෙවන්න තමයි මගෙ බලාපොරොත්තුව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division