by thanushika
March 2, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

වැඩ පෙන්නන්න පුළුවන් නම් මම සීමා දාගන්නෙ නෑ

වරංගනා කුඹලාතරආරච්චි කියන්නේ වේදිකාව මත සිය රංග කුසලතාව ඔපමට්ටම් කර ගනිමින් කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට සිහින දකින යොවුන් වියේ පසුවන දක්ෂ රංගන ශිලිපිනියක්. වේදිකාවෙන් සම්මාන පිට සම්මාන ලබන්නේ ඇය හොඳම නිළිය ලෙසින්. මේ ඒ ගැන වගේම ඇයගේ කලා ජිවිතේ ගැන කළ කතාබහි මේ.

වරංගනා ගැන විස්තර කළොත්?

ආදරේට කට්ටිය කියන්නේ ඉතිං වරා. මම ඉන්නේ හෝමාගම ප්‍රදේශයේ. සාමාන්‍ය පෙළ හැදෑරුවේ නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළට කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ පවුලේ ඉන්නේ අම්මා, නංගි සහ මල්ලි. මගේ තාත්තා දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. නමුත් එයා අද වනවිට ජීවතුන් අතර නෑ.

කොහොමද වේදිකා නාට්‍යයවලට නැඹුරු වුණේ

මුලින්ම වේදිකා නාට්‍ය පැත්තට නැඹුරු වුණේ සචිත්‍ර රාහුබද්ධ සර් නිසා. ඔහු නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කළා 2010 වර්ෂයේ. මම ඒ පාසල් නාට්‍ය කණ්ඩායමේ සමාජිකාවක්. එතැනින් තමයි නාට්‍ය කලාවට නැඹුරු වුණේ.

මුල්ම වේදිකා නාට්‍යය අත්දැකීම?

පාසල් නාට්‍ය කණ්ඩායම විසින් තරුණ බෞද්ධ සංගමයේ නාට්‍ය උලෙළට නිර්මාණය කළ ජයද්දීස කෙටි නාට්‍ය තමයි මුලින්ම රඟපෑවේ. පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ බස්නාහිර පළාත් නාට්‍ය උලෙළේ දේදුණු පෙරළිය නාට්‍යයේ හංසිගේ චරිතය.

මේ වෙද්දී ලබලා තියෙන වේදිකාවේ ජයග්‍රහණ මොනවද?

බස්නාහිර පළාත් නාට්‍ය උලෙළේ හොඳම නිළිය 2015 (දේදුණු පෙරළිය නාට්‍ය-හංසිගේ චරිතය) 2022 වර්ෂයේ 50 වෙනි රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය තෙවෙනි ස්ථානය. (Let’s marry නාට්‍ය චතුරංග පෙරේරා)

2023 වර්ෂයේ 43 වෙනි යෞවන සම්මාන උලෙළේ කෙටි නාට්‍ය අංශයේ රංගනය වෙනුවෙන් කුසලතා සම්මානය.(let’s marry නාට්‍ය චතුරංග පෙරේරා)

2022/23 වර්ෂවල වේදිකාවෙන් මහපොළවට හි හොඳම නිළිය (Ask the audience ග්‍රේෂන් රත්නායක)

වේදිකාවෙන් ඔබ එන්නේ පුංචි තිරයට, ඒ නිර්මාණ ගැනත් මතක් කළොත්?

ශිවගුරුනාදන් සර්ගේ ලෝකා නාට්‍යයේ ජින්ජර්ගේ චරිතය. අසංක සායක්කාරගේ සික්ස් පැක් නාට්‍යයේ ඔනදිගේ චරිතය. මේ වගේ නිර්මාණවල සහ තවත් ටෙලිනාට්‍යවල අනු චරිත රඟපාලා තියෙනවා. ඉදිරියට පැමිණෙන්නට තිබෙන මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ සිසි වන වුවන ටෙලි නාට්‍යයේ පාර්වතී නමින් ප්‍රධාන චරිතයකට පණ පොවනවා.

චරිතවලට සීමාවන් තියෙනවා ද?

නැහැ. මට වැදගත් වෙන්නේ පිටපතට අනුව මට ලැබෙන චරිතයට කොයි තරම් දුරට සාධාරණක් කරන්න පුලුවන්ද කියන එක. මගේ හැකියාව හොඳින්ම පෙන්වන්න පුළුවන් චරිතයක් තියෙනව නම් ඒකට මං සීමා දාගන්නේ නැහැ.

මේ වෙද්දී අධ්‍යාපන කටයුතු කොහොමද?

මේ වෙනකොට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය හදාරනවා.

ගෙදරින් කැමති වුණා ද නිලියක් වෙනවට

අපේ ගෙදර මට මතක ඇති කාලෙක ඉඳන් තිබුණේ ගීත, නාට්‍ය, නැටුම්වලින් පිරුණු වටපිටාවක්. ඒ නිසා ගෙදරින් කැමතියි මගේ තෝරාගැනීමට. එයාලා මට ගොඩක් උදව් කළා හැමදේටම. කොටින්ම කිව්වොත් එයාලා හොඳ තේරුම් ගැනීමක් තියෙන අය.

කටකතා ගොසිප් දකින්නෙ කොහොමද?

ගොසිප් කටකතා හැමතැනකම තියෙනවා. නමුත් මේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අංගයක්. මෙහෙමයි එක අතකට කටකතා ගොසිප් හොඳ ගණයකට ගන්නත් පුළුවන්. හැබැයි අද ගොඩක් අය ඒ දේ පාවිච්චි කරන්නේ කෙනෙකුට මඩ ගහන්න. පෞද්ගලික ජීවිත උලුප්පා දක්වන්න වගේ පටු දේවල්වලට. ඒ වගේ දෙයින් ලැබෙන ජන්ප්‍රියත්වය සහ ප්‍රශ්නකාරී වතාවරණයට මම පෞද්ගලිකගලිකව කැමති නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

අනාගත බලාපොරොත්තුව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීම සහ දක්ෂ, චරිතාංග රංගන ශිල්පිනියක් වීම. කෙසේවෙතත් මිනිසුන්ට සොඳුරු මතක හිටින නොමියෙන චරිතයක් වීම තමයි මගේ අරමුණ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division