මිනිස්සු හොඳටම දන්න ඒත් නොකරනම දේ තමයි “කෙළෙහි ගුණ “කියන්නෙ ජීවිතේ මොනම හෝ මොහොතක අපි වෙනුවෙන් මොනම හෝ උදව්වක් විතරක්ම නෙමෙයි වචනයකින් සිනහවකින් හෝ සංග්‍රහ කරපු කවර හෝ පුද්ගලයෙක් වෙනුවෙන් ඒ දේවල් මතක තියාගෙන ඒ වෙනුවෙන් පෙරළා කෘත ගුණ දක්වන එකට කෙළෙහි ගුණ සලකනවා කියල කටින් කිව්වට ඕක වචනයට සීමා නොකර ක්‍රියාත්මක කරන මිනිස්සු නම් එහෙම ලේසියෙන් හොයා ගන්න ලැබෙන්නෙ නැහැ,
අපි වෙනුවෙන් බොහෝ දේ කරපු හුඟක් මිනිස්සු අතින් මඟ හැරුණු දේවල් නිසා අපිට ඒ මිනිස්සු කරපු දේවල් ඉබේම අමතක වෙලා යන වෙලාවල් තමයි වැඩ.
සමහරුන්ට දවස් තුන්සිය හැටහතරක් උදව් කරලා එක දවසක් කරන්න බැරි වුණා කියන්නෙ ඉතින් ඉවරම තමයි.
හැබැයි,
අපි කාටවත්ම ජීවිත කාලය පුරාම එකම විදිහට අනිත් අය වෙනුවෙන් කැපවෙන්න බැහැ, එහෙම කරන්න ඕනෙත් නැහැ.
ජීවිතේ කියන අමාරු සංචාරය ඇතුළේ තම තමන්ගෙ කොටසවත් හරියට ඉවර කරගන්න බැරුව පසුතැවෙන මිනිස් ජීවිතවලට තමන්ට ඔබ්බෙන් අනිත් අය වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරගෙන උදව් කරන්න හිතෙනවා කියන්නෙම සුන්දර දෙයක්, ඒවගේ වෙලාවක මිනිස්සු අතින් සමහර දේවල් මඟ ඇරෙනවා කියන්නෙ ඉතා සාමාන්‍ය දෙයක් .
හැම අවුරුද්දකම ඔයාගෙ උපන්දිනේට තෑග්ගක් දීපු යාළුවට එක් අවුරුද්දක් ඒක අමතක වෙන්න පුළුවන්. ඉල්ලපු හැම වෙලාවකම සල්ලි දීපු කෙනෙක් එක සැරයක් නොදී ඉන්න පුළුවන්. නිතරම ඔයාගෙ හිත හදපු යාළුවෙක් අතින් වුණත් ඉඳලා හිටලා හිත රිදෙන වචනයක් කියවෙන්න පුළුවන්. හැමදාම ඔයා ගැන හොයා බලපු කෙනෙක්ට ඉඳලා හිටලා ඒක මඟ හැරෙන්නත් පුළුවන්. හැමදාම ෆෝන් එකට ආන්සර් කරපු කෙනෙක් අතින් එක දවසක් කෝල්ස් මිස් වෙන්න පුළුවන්.
හැමදාම උදව් කරපු කෙනෙක්ට දවසක් ඒක කරන්න බැරි වෙයි. හැමදාම උදේට ගුඩ් මෝනින් කියපු බොස් එක දවසක් උදේක ඔයාව දකින්නේ නැති වෙන්න පුළුවන්.
ඔයා ගොඩක් උදව් කරපු කෙනෙක් අතින් ඔයාට උදව් අවශ්‍ය වෙලාවක ඔයාව මඟ ඇරෙන්න පුළුවන්. ඒවා දැක්කම, ඒවා දැණුනම අපිට දුක හිතුණට තරහ ගියාට කලකිරුණට කරන්න දෙයක් නෑ. ඒ කාගෙවත් වැරද්දක්වත්, යුතුකම් මඟ හැරීමක් වත් නෙමෙයි, ඒක තමයි ස්වභාවය.
එහෙම වුණා කියලා, ජීවිත කාලෙම උදවු කරපු, ළඟින් හිටපු යාළුවෙක් නෑදෑයෙක් අතින් එක දවසක් අත්වැරදීමක් මඟ ඇරීමක් වුණ ගමන් අර කරපු ඔක්කොම ගුණ අමතක කරලා අගුණ කොටස ඔළුව උඩ තියාගෙන, එයා ඉස්සර ගෝලාකාරයි දැන් හතරැස් වෙලා, අරයා ඉස්සර එහෙමයි දැන් මෙහෙමයි ගගා ලෝකෙ වටා කුණු හල හල යන කුණු කරත්තයක් වෙන්න නම් හිතන්න වත් එපා .
අපි හැමෝම පුද්ගලිකව අපිට අයිති ජීවිත එක්ක කරන යුද්ධයක හිරවෙලා තනියම ජීවිත ගේම ගහන මිනිස්සු. ඒ අතර සිද්ධවෙන මඟ හැරීම් ඔළුවට වද්දගෙන මනස අවුල් කරගන්න එපා. ජීවිතයේ එක දවසක් හරි, ඔබට සිනහවකින් හෝ සංග්‍රහ කරපු මිනිස්සුන්ට අමනුස්සකම් නොකර, මනුස්සකමේ කෘතගුණ මතක සොඳුරු හිතවාදී මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න.
අපි කාටවත්ම ජීවිත කාලය පුරාම එකම විදිහට අනෙකා වෙනුවෙන් කැප වෙන්න බැහැ. එහෙම කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා මිනිසුන් ඔබ වෙනුවෙන් නොකරපු දේ නෙවෙයි කරපු දේවල් ටික විතරක් මතක තියාගන්න. හැමෝම ඉන්නේ ජීවිතේ කියන අමාරු තරගෙ ඇතුළේ. එහෙම ඉඳිද්දී මිනිස්සුන්ට අනිත් මිනිස්සු වෙනුවෙන් කරන දේවල් මඟ ඇරෙන එක සාමාන්‍යයි.
තමන් සතුටෙන් ඉන්න ගමන් අතිරික්ත කාලයක් තිබ්බොත් අනිත් කෙනෙක් වෙනුවෙන් යොදවනවා මිසක් කිසිම කෙනෙක් තමන්ගෙ වැඩ පාඩු කරගෙන අනිත් අය වෙනුවෙන් කැප වෙයි කියා හිතන එක කිසිසේත්ම ප්‍රායෝගික නැහැ.
හැමදාම සතුටෙන් ඉන්න ඕනෙ නම් ඔයා මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් ටික අමතක කරලා, ඔයාට මිනිස්සු කරපු හොඳ දේවල් ටික විතරක් පපුව මැද තියාගන්න.
සරලවම කිව්වොත්, කළ අගුණ ගැන කියව කියව නොයා කෙළෙහි ගුණ ගැන කියන මනුස්සයෙක් වෙන්න. ඒකෙන් සමාජ සම්බන්ධතා වගේම ඔබේ ස්වයං මානසික තෘප්තියත් උපරිමයෙන් රැකෙනවා. එතකොට, ජීවිතේ ඔයා දැන් දකිනවට වඩා ලස්සනට පෙනෙන්න ගනියි.
අනිශා ජයකොඩි