දෙමළ සිනමාවේ සුපිරි නළු විජේ ළඟදීම දේශපාලන පොර පිටියට පිවිසෙන්නට සූදානම් වන බව ආරංචියි. මේ අරමුණෙන් ඔහු මෙයට ටික දිනකට පෙර පක්ෂයක් ද පිහිටුවා ගෙන තිබුණා. එම පක්ෂය නම් කර ඇත්තේ ‘තමීෂා වේට්රි කසාගම්’ යනුවෙන්. එහි තේරුම ‘තමිල්නාඩු ජයග්‍රහණයේ පක්ෂය’ යන්න යි.
විජේ යනු දෙමළ සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු බව රහසක් නොවෙයි. ඔහු සිනමාව තුළ ලබා තිබෙන සාර්ථකත්වය දේශපාලනය තුළ ද අත්පත් කර ගැනීමට හැකිවනු ඇත් ද යන්න ගැන දැන් ඔහුගේ රසික රසිකාවියන් මහත් කුතුහලයෙන් යුතුව බලා සිටිනවා. කලකට පෙර දෙමළ සිනමාවෙන් දේශපාලනයට පිවිසි එම්. ජී. ආර්. (එම්. ජී. රාමචන්ද්‍රන්), ජයලලිතා වැනි අය දේශපාලනය තුළ ද ජය කෙහෙලි නංවන්නට සමත් වුණා.
මේ වසරේ අප්‍රේල්- මැයි මාසවල ඉන්දියාවේ මහාමැතිවරණය පැවැත්වීමට නියමිත යි. නමුත් විජේ පසුගිය දිනෙක පවසා තිබුණේ තම පක්ෂය මෙම මැතිවරණයට තරග නොකරන බව යි. තමිල්නාඩුවේ ප්‍රාන්ත සභා මැතිවරණය 2026 වසරේ පැවැත්වීමට නියමිත අතර විජේගේ පක්ෂය මුලින්ම තරග කරනු ඇත්තේ එම මැතිවරණයටයි. මෙවර මහාමැතිවරණයේ දී තම පක්ෂය වෙනත් කිසිදු පක්ෂයකට සහය නොදක්වන බවත් විජේ පවසා තිබුණා.
“දැනට භාරගෙන ඇති චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමට මම මුලින්ම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ කාලයම ජනතා සේවය වෙනුවෙන් කැප කරන්නයි හිතාගෙන ඉන්නේ. මා මෙය සලකන්නේ තමිල්නාඩුවේ ජනතාවට කෘතගුණ දැක්වීමේ ක්‍රමයක් හැටියට යි” විජේ සඳහන් කර තිබුණා.
විජේ දේශපාලනයට පිවිසෙන බව දැනගැනීමත් සමඟ ඔහුගේ රසික රසිකාවියන් සතුට සමරන්නට පටන් ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ වන විට ඔහු චිත්‍රපට 68ක රඟපා තිබෙනවා. ඔහුගේ අලුත්ම සිනමාපටය වන The Greatest of All Time චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වන විට සිදු වෙමින් ඇති අතර විජේ ඒ සඳහා සහභාගි වෙමින් සිටින බව සඳහන්. මෙය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් සිනමාපටයක් වන අතර විජේ එහි චරිත දෙකක් රඟපාන බවයි පැවසෙන්නේ. මෙම සිනමාපටය තිරගත වන දිනයක් ගැන තවම සඳහන් වන්නේ නැහැ.
විජේ නිල වශයෙන් දේශපාලනයට පිවිසෙන්නේ දැන් වුවත් කාලයක සිටම ඔහු තුළ එම අරමුණ පැවති බව පෙනෙන්නට තිබුණා. දශකයක පමණ කාලයක සිටම සිය රසික සමාජ හරහා ඔහු විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වුණා. නොමිලේ ආහාර බෙදා දීම, පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම, පුස්තකාල ආදිය ඉදි කිරීම, අවශ්‍ය අයට නීති ආධාර ලබා දීම වැනි සමාජ සේවා කටයුතු ඒ අතර තිබුණා.
දෙමළ සිනමාවේ තවත් සුපිරි නළුවකු වන කමල් හසන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවටත් ආරංචි පැතිරෙමින් තිබෙනවා. කලකට පෙර දේශපාලනයට පිවිසි කමල් ‘මක්කල් නීදි මයියාම්’ නමින් දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ගත්තා. එම පක්ෂය 2019 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කළත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.
තනිව තරග කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා මෙවර ඔහුගේ පක්ෂය තවත් පක්ෂයක් හෝ සන්ධානයක් සමඟ එක්ව තරග කිරීමට අදහස් කරන බවත් පැවසෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ මේ වන විට බලයේ සිටින ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය සමඟ ඔහු එක් විය හැකි බවටත් යම් යම් කටකතා පැතිරෙමින් තිබෙනවා. එම පක්ෂයේ නායකත්වය දරන්නේ දෙමළ සිනමාවේ තවත් වීරයකු වූ එම්. කරුණානිධිගේ පුත්‍රයා වන එම්. කේ. ස්ටාලින්.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට එරෙහිව මැතිවරණයේ දී තරග කිරීම සඳහා මේ වන විට පුළුල් සන්ධානයකුත් බිහිව තිබෙනවා. ඊට නායකත්වය දෙන්නේ සෝනියා ගාන්ධි, රහුල් ගාන්ධි වැනි නායකයන් අයත් වන කොංග්රස් පක්ෂයයි. කමල්ගේ පක්ෂයත් මෙම සන්ධානයට එක් වීමට ඉඩ ඇති බවකුත් සඳහන් වෙනවා. නමුත් තවමත් ඒ කිසිවක් පිළිබඳව නිශ්චිතව තීරණය වී නැහැ.
පසුගිය දිනෙක කමල් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණා. “මේ ගතවෙමින් තිබෙන්නේ පක්ෂ දේශපාලනය පසෙක ලා රට ගැන සිතන්නට සිදු වී ඇති කාලයක්. තමුන් ගැන නොසිතා රට ගැන සිතන ඕනෑම පාර්ශ්වයක් සමඟ එකතු වීමට මගේ පක්ෂය සූදානම්”.
කෙසේ හෝ වේවා, කමල්ගේ රසික රසිකාවියන් දැන් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මෙවර මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට කමල් සමත් වේවි ද යන්න ගැන යි.
කසුන් අරවින්ද