Home » ජනතාව වෙනුවෙන් සටන් කළ ඒ සිංහයා ඔබගේ පියාය

ජනතාව වෙනුවෙන් සටන් කළ ඒ සිංහයා ඔබගේ පියාය

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ක්‍රෝෂියාවේ, සර්බියානු යුවළක දාව, 1856 උපන් නිකොලා ටෙස්ලා, විදතය සම්බන්ධයෙන් සෑහෙන හැදෑරීමක් කළේය. ටෙස්ලා 1884 දී ඔහු එක්සත් ජනපදයට යන්නේය. ඔහු මුලින් සේවය කළ ආයතනයේ හිමිකරු චාර්ල්ස් බැචලර්ය. එක්සත් ජනපදය බලා රැකියාවට යන ටෙස්ලා වෙත රෙකමන්ඩේෂන් ලෙටර් එකක් පැරණි සමාගම් හිමිකරුවා දෙන්නේය. මෙහෙ නම්, ඔහොම ලියුම් සඳහා ෆෝමැඩ් එකක් තිබේ. හැම තැනකටම යන්නේ ඒ ලියුමය. කතරගම පූජා වට්ටිය සේ, අර ලියුමේ ආකෘතිය, වටේටම කැරකෙන්නේය.

චරිත සහතික ද එහෙමය. ඒ චරිත සහතික දෙස බැලූ කල්හි ‘යුක්තිය මෙහෙයුම’ ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ හෝ මාලදිවයිනේ විය යුතුය. එතරම්ම චරිතය හොඳය. ඒ ජාතියේ ලියුම් මෙහෙ දුන්නාට, එහෙම සහතික, අන් රටවල දෙන්නේ නැත. අලුත් රැකියාව සඳහා යන ටෙස්ලාගේ අරමුණ තෝමස් අල්වා එඩිසන්ගේ ආයතනයේ සේවය කිරීම හෙයින්, රෙකමදාරුව ලැබුණේ එඩිසන් අමතාය. ඒ ලිපියේ තිබුණේ වාක්‍ය තුනකි. “මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය” ”ලියුම අනුව ටෙස්ලාට රැකියාව ලැබුණි.

පාලක – පාලිත සම්බන්ධය වැඩිදුර ගියේ නැත. එඩිසන්ගේ කපටිකම් සඳහා වැඩිකලක් නොරැවටුණු ටෙස්ලා, එඩිසන්ගේ නිර්මාණ අබිබවා වැඩ කටයුතු කරන්නට පටන් ගත්තේය.

ටෙස්ලාගේ අරමුණ වූයේ, නොමිලේ ජනතාවට විදුලිය ලබාදීමය. ඒ සඳහා ඔහු සකසන ලද ක්‍රමය තුළ සන්නිවේදනය සහ විදත් සන්නායනය සඳහා කම්බි අවශ්‍ය වූයේ නැත. එම අත්හදා බැලීම සාර්ථක වන ලකුණු පහළ වෙන්නට පටන් ගත්තේය. ආරංචිය ඇසු සැණින්, කලබලයට පත්වූයේ වයර් නිෂ්පාදකයෝය. හෝටල් කාමරයක සිටියදී ටෙස්ලා මිය ගියේය. ඒ මරණයේ වගකිව යුත්තෝ වුවෝ, වයර් කොම්පැණිකාරයෝය.

මේ තීරුවේ අරමුණ ටෙස්ලා කවුදැයි පැහැදිලි කිරීම නොවේ. රටේ හැම අයෙක්ම පාහේ එඩිසන් දන්නේ නමුදු එඩිසන්ගේ අහලකවත් තැබිය නොහැකි ටෙස්ලා ගැන දන්නේ නැත.

සමාගම් සිය පාඩු සඳහා මරණ වරෙන්තු ලියන ආකාරය ලෝකයේ හැම මුල්ලකම අත්දැකිය හැක්කේය. තිස් හය වෙනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ට ලියුම ලැබුණු දිනයේ උදෑසන, ඇල්පිටිය දිවිතුරුගමදී වෙඩි තැබීමක් සිදු විය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා, පාතාල ලෝකයට කිසිදු සම්බන්ධයක් නැත්තේය. දූෂණ චෝදනා ආදී කිසිවක් ද නැත. එහෙම අයෙක් ගෙදරට ඇවිත් මරා දැමීම ව්‍යාපාරික හස්තයක් මඟින් සිදු වූ බව දැන් තිබෙන තොරතුරු අනුව කිව හැකිය.

හේ තමන් අල්ලස් ආදියට යට නොවන්නේ සේම, තමා වටා සිටින පිරිසට ද ඒ සඳහා ඉඩ නුදුන්නේය. සංචාරක හෝටල් ආදියේ සිට තේ ෆැක්ටරි, සමහර කර්මාන්ත ශාලා නිතර වට කරමින්, ජොබ් එක බොක්කෙන්ම කළේය. නඩු ආදිය සඳහා සවිමත් සාක්ෂි ගෙන දුෂිත ආකාරයෙන් ආහාර නිපදවන, පිළියෙල කරන ස්ථාන සඳහා බැට දුන්නේය. මේ නිසා ව්‍යාපාර ගණනාවක් සිර වෙන්නට පටන් ගත්තේය. අවසාන තීරණය වූයේ කරදරකාරයා ඉවත් කිරීමය.

2001 මාර්තු 24 වෙනිදා උදෑසන, රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න ඝාතනය වූයේ එවන් ව්‍යාපාරික හස්තයක් මඟිනි. කල් ඉකුත්වීමට ළඟ බඩු, අඩු මිලට ගෙන්වා, රටේ ජනතාවට කෑමට දෙන ව්‍යාපාරිකයෙක් සඳහා හේ නොබියව නීතිය ක්‍රියාත්මක කළේය. සිය සගයාගේ මළ ගමට රේගුවෙන් සහභාගී වූයේ හතර පස් දෙනෙක් පමණය. “වැඩිය නටන්න ගියහම ඔහොම වෙනවා” යැයි කියමින්, අනෙක් සගයෝ මළගමටවත් නොයන තත්ත්වයක් මතු වූයේ, අර තුන් හතර දෙනා හැර, සියලු දෙනා සිටියේ ‘ව්‍යාපාරිකයාගේ පොකට්’ එක දෙස බලාගෙන නිසාය. ඝාතනය සඳහා සියල්ල ලක ලැහැස්ති කර තිබුණේ ද තවත් රේගු අධිකාරිවරයෙකි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ විගණන අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටි ලලිත් අඹන්වල වෙත ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වන්නේ. 2002 මැයි 20 වෙනිදාය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම හේතුවෙන් ඔහු සමඟ ටෙන්ඩර්කරු උරණ වන්නේය. ඇසිඩ් ප්‍රහාරය එල්ල වන්නේ ඒ වෙනුවෙන් පළිගැනීමටය. ඇසිඩ් ප්‍රහාරයෙන් එක් ඇසක් අහිමිව, අනෙක් ඇස ළාවට පෙනෙන තත්ත්වයක් තබා ගනිමින්, එතුමාණෝ දිවි බේරා ගත්හ.

බාල ව්‍යාපාර සඳහා මේ ආකාරයට රාජ්‍ය සේවකයෝ මරා දැමීම තව දුරටත් කෙරෙන්නේ නම්, රාජ්‍ය සේවය සඳහා අල්ලස් ගැනීම නිත්‍යානුකූල කළ යුත්තේය. ජරාව කන චරිතය යහතින් ඉද්දී, සිය රාජකාරිය නූලට ඉටු කරන උත්තුංග නිලධාරියාගේ ‘අවසාන ජවනිකාව’ උණ්ඩයකින් නිමා වන්නේ නම්, මින් මත්තේ, වැඩේ යාන්තමට සිදු කරනා පිරිසක් මිස, සාධාරණ නිලධාරීන් රාජ්‍ය සේවයේ ඉතිරි නොවනු ඇත.

ඝාතකයන් සොයා පරීක්ෂණ සිදු වන්නා සේම, මෙවන් ඝාතන සිදු නොවනා තැනට වග බලා ගැනීමක් ද අවශ්‍යය. සාධාරණ නිලධාරියා විෂයයෙහි ඇති තර්ජන කල්තියා හඳුනා ගැනීමේ යන්ත්‍රණයක් සකස් කරන්නේ නම්, මෙයින් මත්තට ‘වැඩේ කරගෙන යෑමට’ එයම ඔවුනට රැකවරණයක් වෙනවා ඇත. තම දරුවන්ගේ බත්පත සරි කරදීම සඳහා අල්ලස් නොගත්, රොෂාන් කුමාර, අප සියලු දෙනාගේ ආහාරය සඳහා වංගු ගැසීමට ඉඩ නුදුන්නේය. අපගේ ආමාශය වස විසෙන් තොර කලාපයක් කිරීම වෙනුවෙන් සිය ජීවිතය මුදා හළ එතුමාණෝ නිවනින්ම සැනසෙත්වා…!

ඒ ප්‍රාර්ථනයෙන් පමණක් නැවතීමට මේ තීරුව නොකැමැතිය. රොෂාන් කුමාර නම් සැබෑ මහජන සේවකයා බිහි කළ අම්මා සහ ඔහු දයාබර බිරිය සහ දරු තිදෙනා සඳහා මෙතැන් සිට කිසිදු බරක් මේ රට දිය යුත්තේ නැත. ඔහුට යළි පණදීමට නොහැකි හෙයින් ඔහුගේ පණ වූ පවුල අපේ වියදමින් රැකිය යුත්තේය. ඒ සඳහා මාසයක් ගානේ ආණ්ඩුවේ කන්තෝරු ගානේ හිඟා කන මට්ටමේ, පුණ්‍යාධාරයක් නොව, ජීවිත කාලය පුරාවටම ගෙදරටම ලැබෙන ආකාරයේ සහනයක් කෘතගුණයක් ලෙස අපි ලබාදිය යුත්තෙමු.

එහෙම සැලකිල්ලක් ඔහුගේ දිවි පිදීමට අප දක්වන කල්හි, නීතිය අකුරට ක්‍රියාත්මක කර වෙඩි කෑවේ වුව ද, තම පවුලට යහතින් දිවි ගෙවිය හැකි බව රාජ්‍ය සේවකයා වටහා ගන්නේය.

රොෂාන් කුමාර මහතා ඝාතනය වන්නේ ඔහුගේ බාල පුතුගේ පළමු පාසල් දිනයේය. ඒ පුංචි පුතණුවන් වෙත තම පියා පිළිබඳව සමාජය දක්වන කෘතගුණය මේ ආකාරයෙන් සිළුමිණ පිරිනමන්නෙමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division