Home » මාතර මත්ලෝලීන් අල්ලන්න CI නෝනා මෝටර් බයිසිකලෙන් මහ රෑ ගිය ගමන

මාතර මත්ලෝලීන් අල්ලන්න CI නෝනා මෝටර් බයිසිකලෙන් මහ රෑ ගිය ගමන

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

– පැය දෙකක වැටලීමෙන් මත්ලෝලීන් 09කට මාංචු
– මාතර ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය මේ මෙහෙයුම සිදු කරන්නේ මාතර නගරයේ
– ඇල්ලූ සැකකරුවන් මාතර පොලිසියට භාර දෙයි

මාතර දිසාවේ සිදු කරන යුක්තිය මෙයෙහුම් අතර මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ප්‍රමුඛ කාර්යයක් ඉටු කරමින් සිටින්නේ සැකකරුවන් රැසක් ද මේ වන වටි අත්අඩංගුවට ගනිමිනි. ගංජා, හෙරොයින්, අයිස්, මත්පෙති, ජාවාරමේ යෙදෙන්නන් සේම මත්ද්‍රව්‍ය අලෙවිය ඉලක්ක කර පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ ඉලක්ක බවට පත්ව ඇති අතර පසුගිය දිනක රාත්‍රියේ සිය රාජකාරි මෝටර් බයිසිකලයෙන් පැය දෙකක් තුළ සැකකරුවන් නව දෙනෙකු ද කොටු කර ගත්තාය.

පසුගිය දිනෙක රාත්‍රී කාලයේ මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත තම කාර්යාලයේ රාජකාරි වාර්තා කීපයක් සකස් කරමින් සිටියාය. ඇයගේ කාර්යාලයට පැමිණියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ රියැදුරු පොලිස් කොස්තාපල් 80473 වසන්තය.

“මැඩම්, දැන් නවයත් පහුවුණා… අර කිව්ව වැඩේට යන්න මම ආවෙ. කීයට ද යන්නේ?”

කරමින් සිටි කාර්ය නතර කළ වරුණි එකවර බැලුවේ තම අත් ඔරලෝසුව දෙසයි. ඒ සමඟින් ඇය අසුනින් නැඟිට්ටාය.

“අයියෝ අපි පරක්කුයි තමයි… ඉන්න මම මේ ගැන ඩිවිෂන් සර්ට කියලා ඉන්නම්…” යැයි කී ඇය ඊළඟට සිදු කළේ තමන් තව මොහොතකින් සිදු කරන මෙහෙයුම ගැන මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහට දන්වා ඔහුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමයි.

ඉන් අනතුරුව ඇය මෙහෙයුමට සූදානම් වූවාය. වහා තම නිල කාමරයෙන් එළියට පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඒ වන විටත් රාත්‍රී සේවය වෙනුවෙන් ඒකකයේ රැඳී සිටි තම නිලධාරීන් අමතා දැනුම් දුන්නේ තමා කැඳවූ විගස අවශ්‍ය ස්ථානයට පැමිණෙන්න සූදානමින් සිටිනා ලෙසයි. ඒ එක්කම පෙර සිදු කළ සැලසුම් අනුව කොස්තාපල් 79340 චන්ද්‍රකුමාර මෝටර් රථයකින් පෙර පරීක්ෂණ කටයුතු සඳහා පිටත් කර අවශ්‍ය ආම්පන්න සූදානම් කරගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය කොස්තාපල් රියැදුරු (80473) වසන්ත සමඟ යතුරුපැදියක නැඟී පිටත් වූවාය.

කොස්තාපල් වසන්ත ධාවනය කරන යතුරුපැදියේ පසුපස සිටිමින් වටපිට විපරම් කරමින් ‘බතූතා පාර’ ඔස්සේ අඳුරේ ගමන් කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය යතුරුපැදිය හදිසියේම නතර කරන්නට වූයේ ඒ වන විට දුම්රියක් මාර්ගය හරහා ගමන් කරමින් තිබූ නිසාය. ඒ අතර තම ‘උකුසු ඇස’ වටපිටාව වෙත යොමු කළ වරුණි මොහොතකින් තම කොස්තාපල් වසන්තට අණ දුන්නේ වහා යතුරුපැදිය නතර කරන ලෙසය. ඒ වන විටත් මාර්ගයේ අඳුරු තැනක සිටි පුද්ගලයකු වෙත දිව ගිය වරුණි වහා එම පුද්ගලයා පරීක්ෂා කළාය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ ක්‍රියා කලාපය ගැන දැන සිටි සැකකරු පලා යන්නට උත්සාහ නොකර නිසොල්මන්ව සිටියද ගොඩට දැමූ මාළුවකු මෙන් ගැහෙමින් සිටියේය.

“මම හිතුවා හරි මේ තියෙන්නෙ”

සැකකරු සඟවාගෙන සිටි කේරළ ගංජා සොයාගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඔහු අත්අඩංගුවට ගෙන තම ඒකකය වෙත වහා දැනුම් දුන්නේ කඩිනමින් පැමිණ සැකකරු රැගෙන යන ලෙසය. අත්අඩංගුවට ගත් සැකකරු 38 වියේ පසු වූ අයෙකි. ඔහු බතූතා පාරේ පදිංචි විවාහකයෙකු විය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ දැනුම් දීමට අනුව පැමිණි ජීප් රථය සැකකරු රැගෙන ගිය අතර ඇය සහ කොස්තාපල් වසන්ත යළි ගමන් කළේ ඉසදීන් නගරය දෙසටය.

ඉසදීන් නගරයේ සැක සහිත ස්ථානයක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ හැසිරීම පිළිබඳ සැක සිතී සිදු කළ පරීක්ෂාවේදී ගංජා ප්‍රමාණයක් සොයාගත් අතර ඇය ඔවුන්ද අත්අඩංගුවට ගත්තාය. ඔවුන් වයස අවුරුදු 40 සහ 45ක් වූ දෙදෙනෙකි. ඔවුහු නූපේවෙල පදිංචි අය වූහ. ඒ වන විට වේලාව රාත්‍රී 10.30 පමණ විය. ඔවුන් දෙදෙනා ද පෙර පරිදිම ජීප් රථය ගෙන්වා තම ඒකකයට පිටත් කිරීමට පියවර ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය නැවත ගමන් කළාය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය සහ කොස්තාපල් ඉන් පසු ගමන් කළේ ඇළවේල්ල පාර ඔස්සේය. එහිදී ඇළවේල්ල යකඩ පාලම අසලදී තවත් සැකකරුවන් හතර දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන් සතුව තිබී කේරළ ගංජා සොයාගත්තේ සඟවාගෙන සිටියදීය. වයස අවුරුදු 22ත් 23ත් අතර පසු වූ සැකකරුවන් හතර දෙනා හාමුගෙවත්ත පදිංචි අය වූහ. ඔවුන් ද ජීප් රථය ගෙන්වා ඒකකයට යැවූ වරුණි ඊළඟට ගමන් කළේ හිත්තැටිය දෙසටය. ඒ වන විට වේලාව රාත්‍රී එකොළහ පමණ විය. හිත්තැටිය මැද පාර ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියට සහ කොස්තාපල් වසන්තට අතරමඟදී තවත් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු දැකගත හැකි වූ අතර, වහා යතුරුපැදිය නවතා සිදු කළ පරීක්ෂාවේදී ඔවුන් සතුව ද කේරළ ගංජා තිබී සොයා ගන්නා ලදි. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් අවුරුදු 30 සහ 35 වයස්වල පසුවන හිත්තැටිය සහ තුඩාව ප්‍රදේශවල පදිංචි අය බවට හා ඉන් එක් අයෙක් විවාහකයෙකු බවට හඳුනා ගන්නා ලදි. එදින මෙහෙයුම අවසන් කරන විට රාත්‍රී 11.30 පමණ වී තිබුණේය.

ඒ අනුව පැය දෙකක් පුරා සිදු කළ ‘යතුරුපැදි මෙහෙයුම’ තුළින් සැකකරුවන් නව දෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා ප්‍රමාණයන් අධිකරණ කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිසියට භාර කෙරිණි. ඒ අනුව සැකකරුවන් පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග මාතර මූලස්ථාන පොලිසියට භාර කරන ලදි.

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division